ලෝක කුසලානයෙන් පරාජිත ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පශ්චාත් පරීක්ෂණය | දිනමිණ

ලෝක කුසලානයෙන් පරාජිත ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පශ්චාත් පරීක්ෂණය

ප්‍රින්ස් ගුණසේකර

 

ලෝක ක්‍රිකට් ශූරතාවලියේදී ශ්‍රී ලංකා පිලේ අසාර්ථකත්වය පිළිබඳ වගකීම සියලු දෙනා භාරගත යුතුව ඇතැයි පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසයි. මේ අතර කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මෙල් මහතා පවසන්නේ ශ්‍රී ලංකා පිල මාස දෙකක සංචාරයේදී සමස්තයක් ලෙස යහපත් ලෙස ක්‍රීඩා කළ බවයි. ලෝක කුසලාන තරග සංචාරය ඉතාම හොඳින් ක්‍රීඩා කළ බව තමන් ප්‍රකාශ නොකළද යම් දුරකට සාර්ථක බව නායක දිමුත් කරුණාරත්නගේ අදහසවී තිබේ.

ලෝක ක්‍රිකට් ශූරතාවලියේදී මූලික වටයෙන් ඉවතට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඊයේ පෙරවරුවේ පැමිණි අතර අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳ කරුණු පැහැදිලි කෙරෙන මාධ්‍ය හමුවකට පුහුණුකරු, කළමනාකරු හා නායකයා සහභාගී වූහ.

“මගේ පුහුණු කොන්ත්‍රාත් කාලය තවත් මාස 16ක් තිබෙනවා. කවුරු මොන දේ පැවැසුවත් මා එම කොන්ත්‍රාත් කාලය නිමාවනතුරු ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරනවා. මේ සංචාරයෙන් අප ඉගෙන ගතයුතු පාඩම් රාශියක් තිබෙනවා. ක්‍රීඩා පිටිය මැදදී ක්‍රීඩකයන්ට යම් යම් තීරණ ගැනීමට නිදහසදී තිබෙනවා. ඇතැම් ක්‍රීඩකයන්ගෙන් බලාපොරොත්තුවූ දේ නොවුනාම කණ්ඩායමේ අසාර්ථකත්වයක් ඇති වෙනවා. නමුත් අප තීරණවලට එළැඹෙන්නේ සුබවාදී ලෙසයි. ඇතැම් තීරණ හරියද්දී ඇතැම් ඒවා අසාර්ථක වෙනවා” පුහුණුකරු හතුරුසිංහ පැවැසීය.

“අපට දැන් දිගුකාලීන හා කෙටි කාලීන සැලසුම් දෙකක් තිබෙනවා. දිගු කාලීන සැලසුම වන්නේ ඊළග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉදිරියට ගැනීම. ක්‍රීඩකයන් කිහිපදෙනකුට ඊළඟ ලෝක කුසලානය දක්වා වයස බලපාන්නේ නෑ. ළඟ එන සංචාරවලට සූදානම්වීම අපේ කෙටි කාලීන සැලසුම‍යි. දැන් අපේ මුල් පිතිකරුවන් 6 හොඳ තත්ත්වයක සිටිනවා. දැනට පිටත සිටින දික්වැල්ල හා ෂෙහාන් ජයසූරිය දක්ෂතා පෙන්වා තිබෙනවා. දිනේෂ් චන්දිමාල්ට තැනක් දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය දැන් අප හමුවේ තිබෙනවා. ඔහු දක්ෂ පිතිකරුවෙක්. අපට දඟ පන්දු යවන්නන් පිළිබඳ ගැටලුවක් තිබෙනවා. සඳකැන් හා අකිල හිටියත් කණ්ඩායම තෝරන අවස්ථාවේ වැන්ඩර්සී හා ජීවන් මෙන්ඩිස් දක්ෂතා අතර සිටියා. නමුත් එංගලන්තයේදී ඔවුන් දක්ෂතා අතරට පැමිණියේ නෑ” මෙල් මහතා සඳහන් කළේය.

හෙතෙම වැඩිදුරටත් පැවැසූවේ කුසල් මෙන්ඩිස් ඉදිරියේදීත් ක්‍රීඩා කළ යුතු බවය. “කුසල්ට තවම වයස 23යි. ටෙස්ට් ශතක 5ක් ගහලා තියෙනවා. ඉහළ දක්ෂතා තිබුණත් ඔහු පසුපස අවාසනාව ලුහුබැද එනවා. මගේ අදහස අනුව පිතිකරුවන්ට අංක ලබාදිය යුතු නෑ. මුල් පිතිකරුවන් හයදෙනා ඕනෑම තැනක ක්‍රීඩා කරන්න සූදානම් විය යුතුයි. මැද පෙළ අසාර්ථක වීමට හේතුව ධනාත්මකව ක්‍රීඩා නොකිරීමයි. අවුට් වෙයි කියලා බයේ ක්‍රිකට් ගහන්න බෑ. දක්ෂතා ඇති ක්‍රීඩකයන් ආකල්ප අතින් වෙනස් විය යුතුයි. දක්ෂතා වලින් අප ඉදිරියෙන් සිටිනවා. මානසික තත්ත්වය ගැටලුවක් බවට පත්වෙලා” කළමනාකරු අසන්ත ද මෙල් මහතා පැවැසීය.

“මේක මගේ නායකත්වයේ මුල්ම තරගාවලියයි. දේශීය එක්දින තරගවල මා නායකත්වය දරා තිබෙනවා. නායකයා ලෙස අනෙකුත් අත්දැකීම් ඇති ක්‍රීඩකයන්ගේ අදහස් ලබා ගැනීමට මා හැමවිටම ක්‍රියා කළා. ඇන්ජලෝ හා මාලිංග මට විශාල ලෙස සහයෝගය දැක්වූවා. ඔවුන්ගේ අත්දැකීම් උපරිම ප්‍රයෝජනයක් වුණා. මා කියන්නේ නෑ අප හොඳටම කළා කියා. නමුත් යම් දුරකට සාර්ථකයි” නායක දිමුත් කරුණාරත්න පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලෝක ක්‍රිකට් ශූරතාවලියේ මූලික වටයේදී තරග 9කට සහභාගීවී තරග 3ක් ජයගෙන තරග 4ක් පරාජයවී තරග දෙකක් විසදුමකින් තොරව නිමාකොට සහභාගීවූ කණ්ඩායම් 10න් 6වැනි ස්ථානයට පත්විය. ශ්‍රී ලංකා පිල මේ මස අවසන් සතියේ බංග්ලාදේශය සමග එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගීවන අතර නවසීලන්ත ක්‍රිකට් පිල ලබන මස 3වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව තහවුරු කොට තිබේ. නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරග දෙකක් හා විස්සයි 20 තරග තුනක් පැවැත්වීමට නියමිතය.

 

අදහස් 1ක් ඇත

We all expected them to win matches and get into the final round. All 10 teams had the same expectation. Why Sri Lankan Cricket Fans give them courage to improve their performances. I don't agree with some critics badly run down the team. They won the match with England. No one expected that. Why not give that credit to them. Why always expect only to win? Give them your love and courage to come back. They are our team.

නව අදහස දක්වන්න