විශ්වාසභංගය විවාදයට ගෙන පැරදවීමට එජා­පෙ තීරණය කරයි | දිනමිණ

විශ්වාසභංගය විවාදයට ගෙන පැරදවීමට එජා­පෙ තීරණය කරයි

ශිරෝමි අබයසිංහ

විශ්වාසභංග යෝජනාවේ ජන්ද විමසීමට පෙර අගමැතිධුරයෙන් ඉල්ලා අස් වන ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කළ ඉල්ලිම ඉවත දමමින් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (4) පරාජය කිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කෙළේය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන හවුල්කාර පක්ෂ නායකයින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කළ සාකච්ජාවකින් පසු මෙම තීරණය ගනු ලැබුණි.

අගමැතිවරයා තනතුරින් ඉවත් විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බව ශ්‍රිලනිප උප සභාපති අැමැති නිමල් සිරිපාල ද සිල්වා අැමැති මණ්ඩල රැස්විමේදී ප්‍රකාශ කැර තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අැමැති මණ්ඩල රැස්වීම පැවැත්විණි.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලු ඇමැතිවරුන් ඊයේ කැබිනට් රැස්වීමට පැමිණ සිටියහ. අැමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ කරුණු දැක්විම සම්බන්ධයෙන් අගමැතිවරයා පිළිතුරක් ලබා දී‍ නොමැති අතර එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අැමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අදහසට එකඟතාවය පළ කර නොමැත.රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අගමැතිධූ‍රයේ සිටිය යුතු බවට එජාපෙ තීරණය බව පක්ෂ නායකයින් එහිදි පැහැදිළිව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සියළුම ඇමැතිවරුන්ගේ සහාය නොලැබුණත් විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළ හැකි බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අැමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

නව අදහස දක්වන්න