ජේ.සී. වැලි­අ­මුණ වාර්තාව ගැන ශ්‍රීලංකන් මෙසේ පවසයි | දිනමිණ

ජේ.සී. වැලි­අ­මුණ වාර්තාව ගැන ශ්‍රීලංකන් මෙසේ පවසයි

 

 

මෑත කාලීනව ජේ.සී. වැලිඅමුණ වාර්තාව සම්බන්ධයෙන් පළවූ විවිධ පුවත්පත් වාර්තා හා අදහස් සැලකිල්ලට ගනිමින්, ශ්‍රීලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඒ සම්බන්ධයෙන් ගන්නා ලද පියවර පිළිබඳ පැහැදිලි කිරීමට අදහස් කරන්නෙමු.

2015 පෙබරවාරි මාසයේ දී එවකට වරාය, නාවික හා ගුවන් සේවා ඇමැතිවරයා ලෙස කටයුතු කළ අර්ජුන රණතුංග මහතා විසින් නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු විමර්ශන මණ්ඩලයක් පත් කරන ලදී. එහි අරමුණ වූයේ පහත දැක්වෙන කරුණු සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කොට බැලූ බැල්මට පෙනෙන සාක්ෂි තිබේදැයි තහවුරු කර ගැනීමය.

(අ) 2015 පෙබරවාරි මාසයේ දී වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීමට පෙර කටයුතු කළ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෂ්ඨ කළමනාකාරීත්වය විසින් සිය බලය අයුතු ලෙස භාවිතා කර ඇතිද යන වග

(ආ) ගුවන් යානා මිලදී ගැනීමේදී / කල්බදු පදනම යටතේ ලබාගැනීමේ දී අක්‍රමිකතා සිදුවී ඇති ද යන වග

(ඇ) රුපියල් මිලියන 25ට වඩා වැඩි වටිනාකමකින් යුතු භාණ්ඩ හා සේවා සම්බන්ධ ප්‍රසම්පාදන කටයුතුවල දී නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කර ඇති ද යන වග

(ඈ) ගුවන් සේවයේ නිසි ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපාන බාහිර මැදිහත්වීම් සිදුවී ඇති ද යන වග

2015 ජූලි මස පැවැති අග්‍රාමත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු ආර්ථික කටයුතු සම්බන්ධ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවෙහි රැස්වීමකදී, ගුවන් සේවා අමාත්‍යාශය විසින් මේ වාර්තාව සම්බන්ධයෙන් නීතිපතිතුමාගේ මතය විමසා ඇති බවත් එම වාර්තාවෙහි අඩංගු විවිධ සිද්ධීන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා මූල්‍ය අපරාධ පරීක්ෂණ අංශය වෙත යොමු කර ඇති බවත් පැහැදිලි කරන ලදී. එම රැස්වීමේදීම, මේ වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගන්නා ලද පියවර සම්බන්ධයෙන් වාර්තාවක් සපයන ලෙස ශ්‍රීලංකන් ගුවන් සමාගමෙහි සභාපතිවරයා වෙත නිර්දේශ කරන ලදී.

එම අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ නිර්දේශ අනුව, අධ්‍යක්ෂ මණ්ඩලයේ ත්‍රිපුද්ගල කමිටුවක් විසින් ජේ.සී. වැලිඅමුණ වාර්තාවේ සඳහන් වූ කරුණු සම්බන්ධයෙන් ගන්නා ලද පියවර සම්බන්ධ, තොරතුරු අඩංගු සවිස්තර වාර්තාවක් සැපයීමට කටයුතු කරන ලදී. මේ සවිස්තර වාර්තාව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා හා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ, ගුවන්සේවා අමාත්‍යාශ ලේකම් ඩී. ස්වර්ණපාල, මුදල් අමාත්‍යාංශයේ සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ උපදේශක ආර්. පාස්කරලිංගම් යන මහත්වරුන්ට ද ලබාදීමට කටයුතු කරන ලදී. 2017 සැප්තැම්බර් මාසයේ දී මේ සම්බන්ධයෙන් වූ සමාගමෙහි සියලු පිළිතුරු අඩංගු ලිපිගොනුවක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා වෙත ලබාදීමට කටයුතු කරන ලදී. එමෙන්ම මේ සම්බන්ධයෙන් යාවත්කාලීන කිරීමක් 2018 ජනවාරි මසදී රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා වෙත ද ලබාදීමට කටයුතු කරන ලදී.

ඉහත අධ්‍යක්ෂ මණ්ඩලයේ ත්‍රිපුද්ගල කමිටුව විසින් පරීක්ෂණ සිදු කරන අතරේදීම සමාගමේ සමහර සේවකයන් බරපතළ වංචා හා දුෂණ විමර්ශන ජනාධිපති කොමිසම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මුල්‍ය අපරාධ පරීක්ෂණ අංශය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත ප්‍රකාශ හා ලේඛන ලබාදීම සඳහා කැඳවා ඇති බව ද සඳහන් කළ යුතුය. මේ බාහිර පරීක්ෂණ වර්තමානයේදීත් සිදුකරනු ලබන අතර, ඒවා අධ්‍යක්ෂ මණ්ඩලයේ සීමාවෙන් පරිබාහිර වේ.

2016 ජූලි මාසයේ දී රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා වැලිඅමුණ වාර්තාවෙහි සඳහන් මූල්‍යමය ගනුදෙනු හා කරුණු සම්බන්ධයෙන් නීතිමය විගණනයක් සිදුකිරීම සම්බන්ධයෙන් සොයා බලන ලද නමුත්, ඒ සඳහා වැයවන අධික වියදම හේතුවෙන් ඇමැතිවරයා විසින් මේ තීරණය අත්හරින ලදී.

එබැවින්, බහුතර ප්‍රචාරයන්හි කෙසේ සඳහන් වූවද, ශ්‍රීලංකන් ගුවන් සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ජේ.සී. වැලිඅමුණ වාර්තාවෙහි අභ්‍යන්තර හා විනය ගැටලු සම්බන්ධයෙන් හැකි සියලු පියවරයන් ගෙන ඇති බව සඳහන් කළ යුතුය.

නව අදහස දක්වන්න