ගායනයෙන් රංගනයට ආ, රීනී ද සිල්වා | දිනමිණ

ගායනයෙන් රංගනයට ආ, රීනී ද සිල්වා

ආචාර්ය ධර්මසේන පතිරාජයන් වැන්නකුගේ සිනමාපටයක් ඔස්සේ සිනමාවට සම්ප්‍රාප්තවන්නට ලැබීම නවකයකුට ලැබෙන ඉතා අගනා අවස්ථාවකි. එය රංගන පාසල් සියයකට ගියත් නොලැබෙන්නකි. එවන් වූ වාසනාවක් ලැබූ තැනැත්තියක ලෙස රීනී ද සිල්වා හඳුන්වා දිය හැක. මේ දිනවලදී තිරගතවන පතිරාජයන්ගේ නවතම සිනමාපටය වන ස්වරූප සිනමාපටයේ ග්‍රේටා නමැති ප්‍රධාන නිළි චරිතය ඇය මවන්නීය. රීනී රංගනයටද නවකයෙකි. එමෙන්ම ස්වරූප ඇගේ පළමු සිනමාපටය මෙන්ම පළමු රංගන අත්දැකීමයි. රංගන ගමනේ ප්‍රවේශය එලෙස සිදුවීම රීනීගේ වාසනාවට සිදුවූවක් බව කිවහැකිය.

* රීනී, ඔබට ස්වරූප චිත්‍රපටයේ ග්‍රේඩාව හිමිවූ අන්දම ගැන මතක් කළොත්?

මගෙ යාළුවකුගෙ මාර්ගයෙන් නදීක ගුරුගේ සර්ව හඳුනාගන්න ලැබුණා. පතිරාජ සර් එතකොටත් වයලින් ප්ලේකරන්න පුළුවන් තරුණියකව හොයමින් ඉඳලා තියෙනවා. නදීක මහත්මයත් ඒ බව දැනගෙන එම චරිතයට කෙනෙකුව හොයාදෙන්න උනන්දුවෙන් පසුවෙලා. ඒ පණිවුඩය දැනගෙනහි මාව ගුරුගේ සර්ට යහළුවා හඳුන්වා දුන්නෙ.

* ඒ කියන්නෙ ඔබට හොඳට වයලීන් ප්ලේ කරන්න පුළුවන්.

හොඳටම නෙවෙයි. මට සැලකියයුතු මට්ටමකින් වයලීනය ප්ලේ කරතහැකි. නමුත් සාමාන්‍ය පෙළ කරන කාලයේ පටන් ඉගෙනුමට උනන්දුවක් දැක්වූවා මිසක වයලීන් ප්ලේ කරන්නට බැරිවුණා.

* නමුත් ඔබ ගිටාරය වයමින් පැරැණි ගීත ගයා වීඩියෝ වගයක් අන්තර්ජාලයට මුදාහැර තිබුණා නේද?

ඔව්. මට ගිටාරයත් වයන්නට හැකියාව තියෙනවා. ඉතින් ගායනයද පුළුවන් නිසා ගීත ගයමින් අන්තර්ජාලයට මගේ වීඩියෝ එක්කළා. එමඟින් ගොඩක් දෙනා මාව හඳුනා ගත්තා.

* හරි දැන් අප ආයෙත් ස්වරූප සිනමාපටයට එමු. ඔබව චිත්‍රපටය සඳහා තෝරාගත් අන්දම ගැනයි ඔබ කතාකරමින් සිටියේ?

නදීක මහත්මයාගෙ මාර්ගයෙන් පතිරාජ සර්ව හඳුනා ගත්තා. ඒ මුණගැසීම ඔස්සේ මට ස්ක්‍රීන් ටෙස්ට් එකකට එන්න කිව්වා. එහිදියි මාව මේ චරිතයට තෝරා ගත්තෙ. හැබැයි මං එදා දෙයක් පතිරාජ සර්ට කිව්වා.

* ඒ මොකක්ද?

"අනේ සර් මං රංගනය හදාරලා නම් නැහැ" කියලා. සර් හිනාවෙලා කිව්වා මට අවශ්‍ය චරිතය අවශ්‍ය විදිහට මං රූපයට නගාගන්නම්කො කියලා.

* එදාම ඔබට පිටපතක් ලැබෙනවා නේද?

ඔව්. මං එය පළමුපාරට කියෙව්වාම මට චිත්‍රපටය ගැන හරිහැටි වැටහීමක් ආවෙ නැහැ. නමුත් තව දෙවතාවක් කියෙව්වට පසුව චරිතය ඇඟට දැනුණා. එම තිරනාටකයට පාදක වුණ කැන්තාගේ නවකතාවත් මා කියෙවුවා. මාසයක් විතර චරිතය වෙනුවෙන් ලැහැස්ති වුණා. ඊට පසුවයි රඟපෑවෙ.

* ස්වරූප දර්ශනතලයේ ගතකළ පළමු දවස ඔබට මතකද?

ඒ දවසනම් කවදාවත්ම අමතක වෙන්නෙ නැහැ. පළවෙනි සීන් එකට එනකොට ටිකක් වෙව්ලලා දෙබස් එහෙම අමතක වුණා. පසුව හරිගියා.

* ආචාර්ය පතිරාජයන් කොහොමද ඔබගෙ රංගන හැකියාව මතුකොට ගත්තෙ?

ඒ ගැනනම්කිව යුතුමයි. මං අර කිව්වෙ පළමු දර්ශනයෙදි මට දෙබස් වැරදුණා කියලා. එහෙම වුණාට සර් මට බැන්නෙ නැහැ. ආදරයෙන් වෙන්න ඕනදේ කියලා දුන්නා. මං ඒ ආකාරයටම දිගටම රඟපෑවා. මෙවන් සිනමා පටයකින් මට රංගනයට ප්‍රවිශ්ට වන්නට ලැබීම එක්තරා අතකින් වාසනාවක්. සර්ගෙ චිත්‍රපටවලට එන්න බොහෝ ප්‍රවීණයන් පවා ආසාවෙන් පසුවනවා. එහෙම තත්ත්වයක් මත මේ චරිතයට මා තෝරාගත්ත එක ගැන මං සර්ට තුති පුදනවා.

* ඔබ ඉගෙන ගත් පාසලත් මතක් කළොත්.

නුවර යහපත් එඬේරාගේ කන්‍යාරාමය.

* එතකොට ඔබේ ගම නුවරද?

ඔව්.

* පවුලේ විස්තර.

මමයි, අක්කයි, අම්මයි, තාත්තයි.

* ඔබ මේවන විට විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. ඒ ගැන පැවසුවෙහොත්?

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ හතරවැනි වසරෙ තමයි මා ඉගෙනුම ලබන්නෙ. කවදාහරි ඒ අංශයෙන් රැකියාවක් කරන්නට බලාපොරොත්තු වනවා.

* ස්වරූප චිත්‍රපටයෙන් පසුව ඔබට රංගනය සඳහා ආරාධනා ලැබුණද?

තවම නැහැ. කොහොම වුණත් මොන නිර්මාණයට කතා කළත් චරිතය හොඳනම් පමණයි රඟපාන්නෙ. මෙගා නාට්‍යවලට වගේම මියුසික් වීඩියෝවලට රඟපෑමෙන් දායකවන්නේ නැහැ.

* ඒ කියන්නෙ රීනී කියන්නෙ ප්‍රතිපත්තිගරුක නිළියක්?

ඔව්. අනිවාර්යයෙන්ම.

 

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න