විශ්වාසය සුරැකීම දියුණුවේ රහසයි | දිනමිණ

විශ්වාසය සුරැකීම දියුණුවේ රහසයි

මදාරා මුද­ලිගේ  

පුද්ගලයාගේ නිර්මාණශීලී ඇස සහ චින්තනය සම්මිශ්‍රණය වීමෙන් ගනු ලබන ඡායාරූපය ප්‍රබල ලෙස ගැඟීම් ප්‍රකාශ කරන මාධ්‍යයක් බවට පත්ව ඇත. තවද ප්‍රබල ලෙස මිනිස් විත්ත සන්තානයේ රැඳී තිබෙන හැඟීම් අන්‍යයන්ට දැනවීමට ඡායාරූප ශිල්පියකු සතුව ප්‍රතිභාපූර්ණ කෞශල්‍යයක් තිබීම ද වඩාත් වැදගත්ය.

ඡායාරූපකරණය සඳහා යෙදෙන ඉංග්‍රීසි පදය ‘photography’ photographie නම් ප්‍රංශ වචනය ඇසුරෙන් නිර්මාණය වූවකි. එම ප්‍රංශ වචනය ග්‍රීක වචන ත්‍රිත්වයක් ඇසුරෙන් නිර්මාණය වූවක් වන අතර, ඒවා එක්ව ගත් කළ ‘ආලෝකය මගින් ඇඳීම’ යන අර්ථය දෙයි. සාම්ප්‍රදායිකව ඡායාරූපකරණයේ ප්‍රතිඵලය ‘ඡායාරූප’ ලෙස හැඳින්වෙන අතර, පොදු ව්‍යවහාරයේ මෙය කෙටියෙන් ‘ෆොටෝ’ යනුවෙන් හැඳින්වේ. වර්තමානයේ ඩිජිටල් ඡායාරූපකරණයට ඡායාරූප ශිල්පීන්ගේ නිර්මාණශීලීත්වය ද කැටිකොට ගනිමින් ඈත අතීතයේ සිට පැවතගෙන එන ඡායාරූප කලාවට විප්ලවීය වෙනසක් සිදු වී ඇත. එසේ නම් මේ ස්වකීය අන්‍යතාව ගොඩනඟා ගනිමින් ඡායාරූපාගාර (studio) පවත්වාගෙන යන ඡායාරූපශිල්පීන් කිහිප දෙනකුගේ ව්‍යාපාරයන්හි ස්වභාවයන් පිළිබඳය.

‘මම පොඩි කාලේ ඉඳන්ම ෆෝටෝග්‍රැෆිවලට ගොඩාක් කැමතියි. මගේ ළඟ පොඩි කාලේ ඉඳන්ම කැමරා සෙටප් තිබුණා. ඒ වගේම මම මගේ යහළුවන්ගේ ෆෝටෝස් අරගෙන පළපුරුද්දකුත් තිබුණා. ඒ කාලේ මම විනෝදාංශයක් විදිහට තමයි ෆොටෝ අර ගත්තේ. ඒ හින්දා මම මගේම කියලා ස්ටුඩියෝ එක කම්පැනි එකක් විඳිහට ලියාපදිංචි කරලා පටන් ගත්තා 2005 අවුරුද්දේ. අපේ ප්‍රධානතම ව්‍යාපාරය තමයි ස්ටුඩියෝ විමුක්ති, විමුක්ති හෝල්ඩින්ස් යටතේ කැමරා රෙන්ට් එකට ලබා දීම, ශ්‍රී ලංකාවේ පළමු වැනි පෙළේ ඉවෙන්ට් කවර් කරන්නෙත් අපිමයි, ඒ වගේම විවිධ චැනල්වල ඡායාරූපකරණයන්ටත් අපි සහභාගී වෙනවා. ඊට අමතරව වෙඩින්ස්වල audio, video යනා දී දෑ සිදු කරනවා. වෙඩින් ෆෝටෝග්‍රැෆිත් අපි සිදු කරනවා. අපේ ස්ටුඩියෝ එකේ හොඳ ස්ටාෆ් එකක් ඉන්නවා. ඒ වගේම අපි ළඟ ගැජට් වර්ග බොහෝමයක් තියනවා. අපේ ස්ටුඩියෝ තමයි රජයට සම්බන්ධ විශේෂ උත්සව අවස්ථා, කොරියන් බිස්නස්, ලන්ඩන්වල ප්‍රසිද්ධ සමාගමක විශේෂ අවස්ථාවල official photos බොහෝමයක් අර ගන්නේ. ඒ හින්දා අපිට ජාත්‍යන්තර තලයේ ඡායාරූප ගැනීමේ දී විශේෂ පළපුරුද්දක් වගේම හොඳ අත්දැකීම් තියනවා.

අපේ සෑම ඡායාරූප අංගයකටම පැකේජ සකස් කරලා තියනවා. ඒ හැම එකක්ම flexible ඕනෑම කෙනකුට තමන්ගේ අවශ්‍යතාව අනුව තමන්ගේ පැකේජය වෙනස් කර ගන්න පුළුවන්. අපි හිතමු ලොකු පැකේජයක් තෝරා ගත්ත කෙනකුට ඒක අවසානය දක්වාම දරන්න අමාරුයි කියලා. එහෙම කෙනකුට පුළුවන් තමන්ගේ කාර්ය පොඩි පැකේජයකින් අවසන් කර ගන්න. ඒ වාගේ සහනදායී අවස්ථා අපි අපේ සේවාදායකයන්ට අපි ලබා දෙන හින්දා ඔවුන් අපියි අතර හොඳ විශ්වාසයක් ගොඩනැඟිලා තියනවා. තමන්ගේ කාර්යය අවසන් වෙනකම්ම තමන් කැමති විඳහකට පැකේජ වෙනස් කර ගන්න අවස්ථාව ලබා දීලා තියනවා.

මේ ස්ටුඩියෝ ක්ෂේත්‍රය අද ගොඩාක් තරගකාරීවෙලා තියනවා. ඒ කොහොම වුණත් online ගිහිල්ලා බැලුවොත් ඕන කෙනෙක්ට බලන්න පුළුවන් 2005 වසරේ පටන් ගත්ත අපේ ස්ටුඩියෝවට කිසිම complain එකක් අද වෙනකම් ඇවිල්ලා නැති බව. අපිට මොනතරම් වැඩ ආවත් අපි දවසකට තෝරා ගෙන කරන්නේ වෙඩින් දෙකක් විතරයි. සමහර වෙලාවට අපිට අපේ ළඟම හිතවතුන්ගේ වෙඩින් පවා මිස් වෙනවා. ඒත් සමහර ආයතන දවසකට වෙඩින් 10ක් විතර කරනවා. ඒත් ඒ ගොල්ලන්ටම ඒවා manage කර ගන්න බෑ. සමහර ස්ටුඩියෝ ෆැක්ටරි වගේ. අපිට මේක බිස්නස් එකක් වුණාට වෙඩින් එකක් කියන්නේ බ්‍රයිඩ් කෙනෙක්ගේ ජීවිතයේ සුවිශේෂ අවස්ථාවක්. ඒ හින්දා අපේ උපරිම කැපවීම යොදවලා සේවාදායකයාගේ කර්යයට සාධාරණයක් ඉටු කරන්න අපි දැන ගන්න ඕනේ. අපි වෙඩින් එකක් කරනකොට අපි backup camara, backup battery අනිවාර්යයෙන්ම අරගෙන යනවා. අපේ වැඩවලට ඕන කරන ගැජට් extra අරගෙන යනවා. ඒ වගේම අපි වැඩිපුර සේවකයොත් යෙදවනවා. හදිසියේ මොනවා හරි ගැටලුවක් ආවොත් ඒ කෙනෙක්ව යොදවනවා. කොහොම වුණත් අපි අපිට ලබා දෙන මුදලට අපේ උපරිම සේවය ලබා දෙනවා. එහෙම කරද් දී සමහර වේලාවට අපිට finance පැත්තෙන් අපිට අඩුවක් සිද්ධ වෙනවා. ඒ වුණත් අපි කවදාකවත් lost වෙලා නෑ. මම මගේ ස්ටාෆ් එකටත් කියලා තියෙන්නේ ඕගොල්ලෝ මෙහෙ වැඩ කරද් දී සේවය ලබා දෙන අය තමන්ගේම පවුලේ කෙනෙක් කියලා හිතලා උපරිම සේවය ලබා දෙන්න කියලයි. එතකොට අතපසුවීම් වෙනවා ගොඩාක් අඩුයි. ඒ වාගේම ක්ෂේත්‍රයේ බොහෝ කාලයක් රැඳෙන්න පුළුවන් වෙන්නෙත් එතකොටයි.’ එලෙස තම අදහස් ප්‍රකාශ කළේ කොළඔ සහ ජාඇළ මධ්‍යස්ථාන පිහිටා ඇති studio vimukthi හි හිමිකරු අනුරාධ ඩයස්ය. ඡාත්‍යන්තර මට්ටමින් ඡායාරූප කලාවට නවමු වෙනස්කම් සිදු කළ මේ ආයතනය වර්තමානය වන විට තම ස්ථාවරත්වය පවත්වාගෙන යන්නේ විශ්වාසවන්ත වූ සේවාවක් තම සේවාදායකයන්ට සැපයීමෙනි.

‘මම මගේම කියලා ස්ටුඩියෝ එකක් ආරම්භ කළේ 2009 අවුරුද්දේ තමයි. මට ඡායාරූපකරණයේ අවුරුදු 17ක අත්දැකීම් තියෙනවා. මේ වෙනකොට මම වෘත්තීය මට්ටමේ ඡයාරූප ශිල්පියකු ලෙස මගේම කියලා ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. වෙඩින් ෆෝටෝග්‍රැෆි තමයි වැඩිපුරම මම කරන්නේ. මම හිතන විදිහට මුල් කාලයට වඩා දැන් මිනිස්සු ස්ටුඩියෝස්වලින් ඈත්වෙලා තියනවා. ඉස්සර නම් දරුවකුගේ විශේෂ අවස්ථාවල ඡායාරූප, පවුලේ ඡායාරූප ගන්නට ළඟම තියෙන ස්ටුඩියෝ එකට යනවා. අද වෙනකොට ඒ සියල්ල වෙනස් වෙලා. ඩිජිටල් කැමරාවයි, ජංගම දුරකථනයෙහි තියෙන කැමරාවයි හින්දා, ඕනෑම කෙනකුට ලෙහෙසියෙන්ම ඡායාරූපයක් ගන්න පුළුවන්. ඩිජිටල්කරණයත් එක්ක ස්ටුඩියෝ එකකට අවශ්‍ය ශ්‍රමිකයන් අඩුවෙලා ගිහින් තියනවා. ඒ වාගේම නවීන තාක්ෂණයත් එක්ක ස්ටුඩියෝවල මිනිස්සු update වෙන්නත් ඕන. නැත්නම් පැවැත්මක් නැහැ. ශ්‍රී ලංකාවේ තිබුණු අවුරුදු 50 කටත් වඩා පරණ ඩොනල්ස්, ජොනතන් වගේ ස්ටුඩියෝ ක්‍රමක්ක්‍රමයෙන් වැසී යන්නත් හේතු වුණේ නවීන තාක්ෂණය පැමිණීම තමයි. නවීන ලෝකයට පැමිණෙන අලුත් දෑවලට මිනිස්සු නිතැතින්ම පෙළඹෙනවා, ඒත් එක්කම ව්‍යාපාරත් වෙනස් විය යුතුයි.

සාමාන්‍යයෙන් මගේ ස්ටුඩියෝ එකෙන් වෙඩින් ෆෝටෝග්‍රැෆිවලට අමතරව graduation picturs, family portrait වගේ දේවල් තමයි, ඒ වාගේම ඡායාරූප ශිල්පියකුගේ අවශ්‍යතාව මත සිදු කරන ඕනෑම කාර්යයක් කලින් මුදලක් ගෙවීමෙන් සිදු කර ගන්න පුළුවන්. ඡායාරූප ශිල්පය කියන්නේ මිල අධික විෂයක්, ඇත්තටම ස්ටුඩියෝ එකක් ආරම්භ කරනවා කියන්නේ ලක්ෂ 25-30ක ආයෝජනයක්. හොඳ කැමරාවක් අවම වශයෙන් ලක්ෂ 5-6 විතර වෙනවා. ලයිට්වලට, අනෙකුත් ගැජට්වලටත් එක්ක බැලුවහම අධික මිලක් වැය වන ක්ෂේත්‍රයක් තමයි මේක. වෘත්තීය ඡායාරූපශිල්පියෙක් වුණාම විශේෂයෙන්ම තමන් ගන්න ඡායාරූපයේ colity එක ගැන හිතන්න ඕනේ.

මේ ක්ෂේත්‍රයේ තියෙන ලොකුම ගැටලුව තමයි ප්‍රමිතියක් නැතිකම, පාස්පෝට් ඔෆිස් එක ළඟ සමහර ස්ථානවල 4, 4 ෆෝටෝ 08 ම රු 150 ට දෙනවා. වෙනත් ස්ථානවල ඒ ෆොටෝ 08 ම රු 350 ට දෙනවා. මිනිස්සු බලනවා තැන් දෙකක මිල ගණන් දෙකක් මොක ද කියලා. ඒත් හොඳින් බැලුවොත් පේනවා ඒ පින්තූරවල ස්වරූපයන්ගේ තිබෙන ප්‍රමිතිය. සමහර ස්ටුඩියෝස්වල බාල වර්ගයේ මිල අඩු chemical තමයි පාවිච්චි කරන්නේ. ඒ වාගේම උසස් තත්ත්වයේ ප්‍රින්ට් කඩදාසි භාවිතයට ගන්නෙත් නෑ. අඩු මිලකට මොනවාහරි පින්තූරයක් දෙන්න තමයි උත්සාහ කරන්නේ සමහර ස්ටුඩියෝවල පිරිස, ඒ වාගේම දැන් පිටරටවලින් ගෙන්වන කැමරාවලට ලොකු tax එකක් ගහනවා, ඒ හින්දා තමයි අද වන විට ඡායාරූපවලට සැලකිය යුතු මිලක් තීරණය කරන්න වෙලා තියෙන්නේ.

ඡායාරූප ශිල්පය කියන්නේ තාක්ෂණයයි, කලාවයි සම්මිශ්‍රණය වුණු විෂයක්. මේක ආදායම් මාර්ගයක් විතරයි කියලා කවමදාකවත් හිතන්න හොඳ නෑ. ශ්‍රී ලංකාවේ හරි විදේශයක හරි තිබෙන රජයේ හෝ පෞද්ගලික, පිළිගත් ආයතනයකින් ඡායාරූප ශිප්පය පිළිබඳ හදාරලා මේ ක්ෂේත්‍රයට පැමිණෙනව නම් තමයි ගොඩාක් හොඳ.

තමන්ගේ ලාභය පිළිබඳ පමණක් නොසිතා, නිවැරැදිව, නීතිගරුකව කරනවානම් මේ ඡායාරූප ක්ෂේත්‍රයේ හොඳ පැවැත්මක් හදා ගන්න පුළුවන්. දැන් ඉන්න අය ‍ යන්තම් ෆොටෝ දෙක තුනක් අරගෙන සියල්ල දත් අය වගේ 10, 10 කඩ කෑල්ලක් අරගෙන කැමරා, සෙටප් දාගෙන පටන් අරගන්නවා ස්ටුඩියෝ එකක්. ඇත්තටම මේක නිර්මාණාත්මක කලාවක්. යම් කිසි ඡායාරූප ශිල්පියකුගෙන් වැරැදි දෙයක් වුණොත් ඒක මේ ක්ෂේත්‍රයටම හොඳ නෑ.’ මේ අයුරින් තම අදහස් ප්‍රකාශ කළේ foto station හි හිමිකරු, එමෙන්ම රාජ්‍ය ඡායාරූප උපදේශක මණ්ඩලයේ සමාජීකයකු වන හර්ෂ මධුරංගය. ප්‍රමිතිකරණය පිළිබඳ මූලික අවදානම යොමු කරමින් ඡායාරූප ශිල්පයේ හරයාත්මක බව ආරක්ෂා කරමින් තම වෘත්තීය කර ගෙන යන ඔහු තම ඡායාරූපාගාරය අදායම් මාර්ගයක් පමණක් යන්නට නොසිතා නිර්මාණාත්මක කලාවක් බව මනාව අවබෝධ කර ගෙන ඇත.

‘මම උසස් පෙළ අවසන් කරපු හැටියෙම තමයි කවදාහරි දවසක ඡායාරූප ශිල්පියෙක් වෙනවා කියලා හිතුවේ. ඊට පස්සේ මම යහළුවන් එක්ක එකතු වෙලා ඡායාරූපකරණය පිළිබඳ අවුරුදු දෙක තුනක් අධ්‍යයනය කළා.

ඊට පස්සේ ස්ටුඩියෝ එකක අවුරුදු 3, 4ක් වැඩ කරලා පළපුරුද්ද හදා ගත්තා. මගේම කියලා ස්ටුඩියෝ එකක් ආරම්භ කරලා දැන් අවුරුදු 10 කටත් වඩා වැඩියි. වැඩ වැඩි වෙලාවලට අමතර පිරිස් අර ගන්නවා, නැත්නම් මමයි, මගේ බිරිඳයි දෙන්න තමයි ස්ටුඩියෝ එක කරගෙන යන්නේ. දැනට අපි කරන්නේ වෙඩින්ස් විතරයි. ඒ දේවල් කරන්නේ පැකේජ ක්‍රමයට තමයි. මම නම් කියන්නේ හොඳට දැනගෙන, උගත් දැනුමයි, පළපුරුද්දයි, නිර්මාණශීලීත්වයයි තියනවානම් දියුණු වෙන්න පුළුවන්.’ studio sahan හි හිමිකරු සහන් ෆනෑන්ඩු තම අදහස් ඉදිරිපත් ක‍ළේය.

වත්මනයේ වෙසෙන ඡායාරූපශිල්පීන් තමන්ට ආවේණික වූ කලාත්මක පෞරුෂය මඟින් ඡායාරූපකරණයට පිවිසී ස්ටුඩියෝකරණය මඟින් ස්ථාවර මට්ටමේ ව්‍යාපාරිකයන් බවට පත්ව ඇත. එහෙත් තම ලාබය පමණක් නොසිතා කරන්නන් වාලේ මොනවා හෝ දෙයක් නොකරමින් තම ඡායාරූපයන්හි ගුණාත්මක බවට මුල්තැන දීම ඉතාමත් වැදගත්ය‍.

ඒ බව මනාව සාක්ෂාත් කරන ප්‍රකාශයක් අනුරාධ ඩයස් විසින් ප්‍රකාශ කළේ මෙලෙසය. ‘අපිට මේක බිස්නස් එකක් වුණාට. වෙඩින් එකක් කියන්නේ බ්‍රයිඩ් කෙනෙක්ගේ ජීවිතයේ සුවිශේෂ අවස්ථාවක්. ඒ හින්දා අපේ උපරිම කැපවීම යොදවලා සේවාදායකයාගේ කාර්යට උපරිම සාධාරණයක් ඉටු කරන්න අපි දැන ගන්න ඕනේ.’

 

නව අදහස දක්වන්න