නිවාස දස ලක්ෂ­යක වහළ විදුලි බලා­ගාර බවට ! | දිනමිණ

නිවාස දස ලක්ෂ­යක වහළ විදුලි බලා­ගාර බවට !

ජයසිරි මුණසිංහ

නිවාස දස ලක්ෂයක වහළ විදුලි බලාගාර බවට පත්කිරීමේ “සූර්යබල සංග්‍රාමය” ආරම්භ කොට ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.

දැඩි නියඟය නිසා ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය දිනෙන් දින අඩුවෙමින් පැවැතියද, නොරොච්චෝලේ තාප බලාගාර තුනෙන් එකක් අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදුකළද විදුලිය විසන්ධි කිරීමක් හෝ විදුලි බිලෙහි වැඩිවීමක් සිදුකරන්නේ නැතැයිද ඇමැතිවරයා පවසයි.

ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය මහජන උපයෝගීතා අංශ දියුණුව ප්‍රධාන රටේ සෑම ක්‍රියාකාරකමකටම අත්‍යවශ්‍ය වන විදුලිබල හා බලශක්ති අංශයේ අනාගත දැක්ම පැහැදිලි කරමින් රංජිත් සියඹලාපිටිය මහතා මේ බව අවධාරණය කළේය.

මේ එම හඬයි.

l විදුලිබල ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා වන රජයේ නව වැඩපිළිවෙළ විමසීමට පෙර මේ ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කළ හැකිද?

ඔව්! අපේ රටේ ඒකපුද්ගල බලශක්ති පරිභෝජනය කි.වො. පැය 495 ක්. මේ ඉල්ලුම තවත් වැඩි වෙන්නට පුළුවන්. අපේ විදුලිබල උත්පාදනය ප්‍රධාන වශයෙන් ජල විදුලිය, තාප බලයෙන්, විකල්ප බලශක්ති ප්‍රභව ඔස්සේ සිදුකරනවා. මේ වනවිට විදුලිය නිපදවීමේ ක්‍රියාවලියේ අභියෝගයක් මතුවී තිබෙනවා.

l දැඩි නියඟය, ගංවතුර හානි ආදී ස්වභාවික ආපදා ජල විදුලිය නිපදවීමට දැඩි බාධාවක් වී තිබෙනවා නේද?

අනිවාර්යෙන්ම ඔව්!

නියඟ, ගංවතුර වැනි දේශගුණික විපර්යාසයන් මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ප්‍රමාණවත් ආයෝජන නොකිරීම බලශක්ති අංශයේ අවදානම් තත්ත්වයක් ඇතිවීමට හේතුවී තිබෙනවා. අපි රටක් ලෙස ඉදිරි වසර 3 – 5 කාලය තුළ සියයට 5 ඉක්ම වූ ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරනවා. මේ නිසා රටේ බලශක්ති ඉල්ලුම තවදුරටත් වැඩිවෙන්න පුළුවන්. අපි රටක් ලෙස මේ දිනෙන් දින ඉහළ යන බලශක්ති ඉල්ලුම සපයන්න ඕනෑ. එහිදී ජල විදුලිය නිපදවීමට බාධා, තාප විදුලිය නිපදවීමට අධික මිලක්, වැයවීම වැනි අභියෝගවලට මුහුණදීමට සිදුවෙනවා. මේ සියලු බාධා අතර ඒවාට මුහුණ දෙමින් බලශක්ති ඉල්ලුම සපුරාලීමයි අපේ කාර්යභාරය. වගකීම.

මේ අභියෝගකාරී තත්ත්වයෙන් මිදීමට කිසිවකුටත් නොදන්වා විදුලිය විසන්ධි කිරීම් සිදුකරනවා යැයි හැඟීමක් රටේ ජනතා සිත්වල තිබෙනවා. ඒ හැඟීම් ඇතිවීමට හේතුව අමුතුවෙන් කිව යුතු නැහැ! l ඇත්තටම නොදන්වා විදුලිය විසන්ධි කිරීමක් කරනවාද?

කෙසේවත්ම නැහැ! අපි ඉතා වගකීමෙන් කියනවා නොදන්වා විදුලිය විසන්ධි කිරීමක්, කැපීමක් සිදුකරන්නේ නැහැ. ජනතාව අඳුරේ තැබීමට අපි පියවර ගන්නේ නැහැ. අපේ විදුලිබල සම්ප්‍රේෂණ පද්ධතියේ තිබෙන හදිසි අලුත්වැඩියා කිරීම්වලට මුහුණදෙනවා. එසේ සිදුකරනවිට විදුලිය සක්‍රීයව ඒ දේ කරන්න බැහැ. ඒ නිසා ඉතා අත්‍යවශ්‍ය අලුත්වැඩියා කිරීම්වලදී නම් විදුලිය විසන්ධි කරනවා. ඒ ලයිට් කැපීමක් අරමුණින් කරන දෙයක් නොවෙයි.

l ජාතික විදුලිබල අවශ්‍යතාවය ජයගන්නට අප කුමක් කළ යුතුද?

අපි අනිවාර්යෙන්ම බලශක්ති අංශයේ කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය ඇති කරගත යුතුයි. නව තාක්ෂණය, විකල්ප බලශක්ති ප්‍රභව සහ නව මූල්‍ය ක්‍රමවේද ඔස්සේ විදුලි උත්පාදන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතුයි.

l විකල්ප බලශක්ති ක්‍රම වැඩි වශයෙන් භාවිතයට ගන්නා තැනට රට මෙහෙයවිය යුතුයි නේද?

ඔව්!

අනිවාර්යෙන්ම ඔව්! ඒ සඳහා තමයි අපි වැඩි අවධානයක් සූර්යබල විදුලි උත්පාදනය කෙරෙහි යොමු කරන්නේ. අපි අපේ රටේ නිවාස දස ලක්ෂයක වහළ සූර්ය බලය නිපදවන බලාගාර බවට පත්කරන්න සූදානම්.

මේ වැඩපිළිවෙළ වේගයෙන් රට පුරා ව්‍යාප්ත කිරීමයි අරමුණ. අපි පන්සල්, පල්ලි, කෝවිල් හා ආගමික සිද්ධස්ථානවලට මේ පද්ධති ලබාදෙමින් ඉන්නේ.

l රාජ්‍ය අංශ ආයතන මීට දායක කරගන්න සූදානම් නැද්ද?

ඒ සඳහා අපි පියවර ගනිමින් ඉන්නේ. දැනටමත් රාජ්‍ය ආයතන ගණනාවක සූර්ය බල නිෂ්පාදන පද්ධති සවි කළා. මම එක් උදාහරණයක් කියන්නම්, වරකාපොල, තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිතුමා මට කිව්වා පාසලේ විදුලිබිල රුපියල් 70000ක් ඉක්මවන බව. මම ඒ මොහොතේම ඒ පාසලට සූර්යබල විදුලි උත්පාදන පද්ධතියක් සවිකිරීමට සහාය ලබාදෙන්න තීන්දු කළා. ඒ මඟින් විදුලිබිල අඩුකරගන්න පුළුවන්. මේ ආකාරයට සෑම රාජ්‍ය ආයතනයකම පෞද්ගලිකව නිවෙස්වලට පවා මේ පද්ධති අපි ඉදිරියේදී හඳුන්වා දෙනවා.

l විදුලිබිල වැඩි කිරීමක් සිදුවීමට ඉඩ තබන්නේ නැද්ද?

ඔව්!

අපි ලයිට් බිල වැඩි කරන්නේ නැහැ. අපේ රටේ ගෘහස්ථ විදුලිකරණය සියයට 99ක්. අපේ පාරිභෝගික ජනතාව මිලියන 5.8 ක්. සාමාන්‍යයෙන් ඒකක මිලියන 35 ක් දිනකට පරිභෝජනය කරනවා. අපි විදුලිබල මණ්ඩලයේ පද්ධති හානි අවම කිරීම තුළින් වාගේම කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම් තුළින් පාඩුව පියවා ගන්නවා. ඒ බර පාරිභෝගික ජනතාවට පටවන්න සූදානම් නැහැ. අපි පාරිභෝගිකයින්ට ලබාදෙන විදුලි බලයේ ගුණත්වය වැඩි දියුණු කිරීම, අඩු පිරිවැය විදුලි සැපයුම්කරු වීම, විදුලිබල උත්පාදන ධාරිතාවය වැඩි කිරීම වැනි දේ ඉටුකරමින් විදුලිබල මණ්ඩලයේ මූල්‍ය ස්ථාවරය ඇති කරන්නයි සූදානම් වෙන්නේ.

l ඊට අමතරව තවත් විකල්ප බලශක්තිවලට ප්‍රවේශ වෙන්නේ නැද්ද?

ඔව්!

ස්වභාවික වායු මිලට ගැනීම සඳහා ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමට සහ කොළඹ වරායේ හෝ කෙරවලපිටිය ප්‍රදේශයේ ද්‍රවිකෘත ස්වභාවික වායු පර්යන්ත පිහිටුවීමට ඇමැති මණ්ඩලයේ අනුමැති ය ලැබුණා.

කෙරවලපිටියේ මෙ‍.වො.300 ද්‍රවිකෘත ස්වභාවික වායු බලාගාරයක් තැනීම, හම්බන්තොට මෙ.වො.170 ද්විත්ව ඉන්ධන බලාගාරයක් සැලසුම් කර තිබෙනවා.

අපි මෙ.වො.50 ධාරිතාවයකින් යුතු ජංගම විදුලිජනක යන්ත්‍ර මෙ.වො.25 ධාරිතාවයෙන් යුත් HFO බලාගාර හදන්න සූදානම්. මේ ඔක්කෝටම වඩා තමන් විසින් විදුලිය උත්පාදනය කිරීම දිරිගන්වන සූර්යබල සංග්‍රාමය ආරම්භ කළා.

l විදුලිය අරපිරිමැස්මෙන් ප්‍රයෝජනයට ගැනීමට ජනතාව දැනුවත් කළ යුතුයි නේද?

අනිවාර්යෙන්ම ඒ දේ කළ යුතුමයි. අපි පාසල් ළමුන්ට ඒ පාඩම කියා දෙනවා. ඒ හරහා සෑම නිවසකම විදුලිය ඉතිරි කරගැනීමට ආකල්පමය වෙනසක් ඇති කළ හැකියි. 

 

නව අදහස දක්වන්න