කෘෂිකර්මාන්තය අලුත් වෙයි | දිනමිණ

කෘෂිකර්මාන්තය අලුත් වෙයි

රිස්වි සහීඩ් කළ­ම­නා­කාර අධ්‍යක්‍ෂ හේලීස් ඇග්‍රි­ක­ල්චර් හෝල්ඩින්ස් ලිමි­ටඩ්

වර්තමානය වන විට අප ජීවත් වන පෘථිවිය බිලියන 7.3ක ජනගහනයකට නිවහන වී තිබෙන අතර, 2030 වන විට මේ අගය බිලියන 8.5ක් සහ 2050 වන විට බිලියන 9.7ක් විය හැකි බව පුරෝකථනය කර ඇත. වැඩි වන ජනගහනය සමඟ අපි මුහුණ දෙන ප්‍රමුඛතම අභියෝගය වන්නේ මේ අතිවිශාල ජනතාවකගේ ආහාර අවශ්‍යතාව සපුරාලීමය. මේ සඳහා කෘෂිකර්මාන්තය වඩාත් තිරසර හා පරිසර හිතකාමී පිළිවෙත් අනුගමනය කරමින් ආහාර නිෂ්පාදනය වේගවත් කිරීම අතිශය වැදගත් වේ. ජනගහනයේ වර්ධනයත් සමඟ නිවාස සහ වෙනත් අවශ්‍යතා සඳහා ඉඩම් පරිහරණය වැඩි වන බැවින් කෘෂිකර්මාන්තය සඳහා යොදා ගත හැකි ඉඩම් ප්‍රමාණය ඉදිරි දශකයන්හි දී ශීඝ්‍රයෙන් අඩු වීම මේ ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධානම අභියෝගයයි.

ඉහත අභියෝගයන්ට මුහුණ දීම සඳහා උපායමාර්ග සැලසුම් කිරීමේ දී ශ්‍රී ලංකාව මුහුණ දෙන තවත් ප්‍රධාන ගැටලු දෙකක් ඇත. ඒවා නම් ශීඝ්‍රයෙන් සිදුවෙමින් පවතින අනවරත කාලගුණික වෙනස්කම් නිසා නිෂ්පාදනයේ ඇති වන අවදානම් තත්ත්වය හා දැනට කෘෂිකාර්මික ආයෝජනවලින් ආන්තික ප්‍රතිලාභ පමණක් ලැබීමයි. මෙකී තත්ත්වයන් නිසා කෘෂිකර්මාන්තය වෙළෙඳ පොළ අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාවට වඩාත් පහසු වී ඇත.

 

තාක්ෂණය මත පදනම් වූ

කෘෂිකර්මාන්තයක් වෙත යොමු වීම

හේලීස් සමාගම කෘෂි ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්තයා ලෙස ජාතික කෘෂිකාර්මික අභියෝග ජය ගැනීමට රජය හා අනෙකුත් පාර්ශ්ව සමඟ වඩාත් සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්ය. හේලීස් සමාගමේ අප, වඩාත් සාර්ථක ව්‍යාපාරික ක්‍රමවේද තුළින් දිගුකාලීන ආහාර සුරක්‍ෂිත භාවය ළඟාකර ගැනීමට හැකි උපායමාර්ග දැනටමත් හඳුන්වා දී ඇති අතර, ශ්‍රී ලාංකීය ජනතාවටත් අප සමාගමේ කොටස් හිමිකරුවන්ටත් ඉහළ ප්‍රතිලාභ ලබාදීමට සමත්ව සිටිමු. වෙළෙඳ පොළ අවශ්‍යතා සමඟ සමගාමී වන තිරසර වාණිජ කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් සමාගම පෙරමුණ ගෙන සිටී.

මෑතකාලීන ඉතිහාසය දෙස බැලීමේ දී කෘෂි තාක්ෂණයේ සිදුව ඇති විප්ලවීය දියුණුව අතිශයින්ම ආකර්ෂණීය වන අතරම එම තාක්ෂණයන් පෙන්නුම් කර ඇති ප්‍රතිඵලයන් ද මේ තාක්ෂණයන් වෙත එළැඹීමට අපව දිරිගන්වයි. විශේෂයෙන්ම ගෘහස්ත කෘෂි තාක්ෂණය යටතට එන නිර්පාංශු කෘෂිකර්මාන්තය (hydroponic), ජල තලයක සිදු කරන කෘෂි කර්මාන්තය ( aquaponic ) සහ වා තලයේ සිදුකරන කෘෂිකර්මාන්තය (aeroponic) යන ක්‍රමවේදයන් වර්තමාන කෘෂි තාක්ෂණයන් පෙන්නුම් කරන කදිම නිදසුන්ය. මේ සෑම අවස්ථාවකදීම කෘෂිකර්මාන්තය සඳහා පංශු භාවිතයක් සිදු නොවන අතර මේ නවීනතම කෘෂි තාක්ෂණයන් හේලීස් කෘෂි සමූහය විසින් සාර්ථකව යොදා ගනිමින් ඉහළ ඵලදායීත්වයක් ලබා ඇති බව පවසන්නේ මහත් අභිමානයකිනි.

කෘෂිකර්මාන්තය වෙත නව තාක්ෂණය හඳුන්වා දෙන්නට නිරන්තරව උත්සාහ ගන්නා හේලීස් කෘෂි ව්‍යාපාරයේ අප කෘෂි තාක්ෂණය යොදා ගනිමින් අපනයනය අරමුණු කරගත් ජලජ පැළෑටි වගා කිරීමේ පරීක්ෂණාත්මක වැඩපිළිවෙළක් වෙත යොමු වී සිටී. වඩාත් වැදගත් කරුණ වන්නේ අප හුදෙක් කෘෂි නවෝත්පාදනයන් වර්තමාන කෘෂිකර්මාන්තයට ආදේශකයක් ලෙස යොදා ගන්නවාට වඩා රටපුරා කෘෂිකර්මාන්තයේ යෙදී සිටින ගොවි ජනතාව සහ කෘෂිකර්මාන්තයට සම්බන්ධ වී සිටින පිරිස් සමඟ අපගේ කෘෂි තාක්ෂණය, නවෝත්පාදන භෝග සහ නිෂ්පාදන විවිධාංගීකරණයන් අපගේ ව්‍යාපාරික අරමුණු ද සැලකිල්ලට ගනිමින් බෙදා හැරීමයි. මේ තත්ත්වය සඳහා හොඳම නිදසුන් වන්නේ ප්‍රජා සහභාගීත්වය ඇතිව අප විසින් උතුරු සහ උතුරු මැද පළාත් ආශ්‍රිතව අරඹා ඇති මුහුදු පැළෑටි සහ මුරුංගා වගා ව්‍යාපෘතියයි.

මේ ක්‍රමවේදය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව වැඩි වශයෙන් කෘෂිකර්මාන්තය ආශ්‍රිත රාජ්‍ය හා පුද්ගලික හවුල් ව්‍යාපෘති ආරම්භ කිරීමට උනන්දු විය යුතු අතර, හෙලීස් කෘෂි අංශයේ අප දැනටමත් ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනය සමඟ එක්ව කටයුතු කරමින් පොහොර නිෂ්පාදනයේ දී අත්කර ගත් ප්‍රතිඵල මීට මනරම් නිදසුන් සපයයි.

මේ ක්‍රියාවලිය තුළ සෑම පාර්ශ්වකරුවකුම නියම කර ගත් පොදු ඉලක්කයක් වෙත එකඟතාවකින් ගමන් කළ යුතු වෙයි. මෙහි දී ඉඩම් පරිහරණය මූලික තැනක් ගන්නා බැවින් රජය මේ සඳහා මූලිකත්වය ගත යුතුවේ. ඉඩම්වල අයිතිය රජයට පැවරෙන බැවින් මෙය හුදෙක්ම රජයේ වගකීමක් ලෙස සලකා රජය වෙත සමස්ත බර පැටවීමට වඩා මෙහි දී යම් මැදිහත් වීමක් පුද්ගලික අංශයට ද කළ හැකි බව හේලීස් හි අපගේ විශ්වාසයයි. නිදහස් වෙළෙඳ කලාප ඇති කිරීම, මිශ්‍ර ව්‍යාපෘති හෝටල් ගොඩනැඟිලි සඳහා ඉඩම් වෙන් කරනා සේම මෙබඳු කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා ද ඉඩම් වෙන් කිරීමේ හැකියාවක් පවතී.

බිම් මට්ටමින් කෂිකර්මාන්තයේ දී තාක්ෂණය වැඩි වශයෙන් භාවිත කිරීමෙන් ඵලදායීතාව ඉහළ නංවා ගත හැකි අතර, කම්බයින් හාවස්ටර්ස්, ස්වයංක්‍රීය බීජ වැපිරීමේ යන්ත්‍ර සහ කෘෂිකාර්මික ඩ්‍රෝන යන්ත්‍ර භාවිත කිරීමෙන් භෝග නිෂ්පාදනය, භෝග වර්ධනය නිරීක්ෂණය කිරීම සහ පස නිරීක්ෂණ කිරීම සිදු කර ගත හැක. මෙබඳු තාක්ෂණික මෙවලම් භාවිතයෙන් භූමිය සහ භෝග ඵලදායීව පවත්වා ගෙන යෑමට ගොවි ජනතාවට හැකි වෙයි.

කෘෂිකර්මාන්තයේ දී කාලගුණය සඳහා ඉහළ වැදගත්කමක් හිමිවන බැවින් කාලගුණය ගැන නිවැරැදි අනාවැකි පැවැසිය හැකි තාක්ෂණයන් භාවිතයට ගැනීමත්, වෙළෙඳ පොළේ ඉල්ලුම් සැපයුම් බලවේගයන්ට අනුව කෘෂි භෝගයන් වෙළෙඳ පොළට නිකුත් කිරීමේ සන්නිවේදන තාක්ෂණයන් වෙත අප නොපමාව ගමන් කළ යුතුවේ.

කෘෂිකාර්මික වටිනාකම් දාමයේ දී අස්වැන්න ගබඩා කිරීම සහ සැකසුමට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. එබැවින් වඩාත් නූතන ගබඩා සහ භෝග සැකසුම් තාක්ෂණයන් වෙත යොමු වීම අතිශයින්ම කාලෝචිත වේ. අපනයන කෘෂිකර්මාන්තයෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නට නම් ශ්‍රී ලංකාවේ ආයතන වැඩි වශයෙන් කෘෂිකර්මාන්තයට නැඹුරු වී මෙරට නිෂ්පාදන වැඩි වශයෙන් අපනයනය කළ යුතු වෙයි.

ශ්‍රී ලාංකීය ආර්ථිකය මේ වන විට අභියෝග ගණනාවකට මුහුණ දී සිටියත් සියලු පාර්ශ්වයන් එකම දැක්මකින් යුතුව එකම ඉලක්කයක් වෙත ගමන් කළ හොත් අපගේ ආර්ථික ගැටලු බොහොමයක් නිරාකරණය කර ගත හැකි වනු ඇත.

 

මේ තත්ත්වය කෘෂි කර්මාන්තයට ද පොදු වන අතර, වැඩි වශයෙන් තාක්ෂණය භාවිත කරන තිරසර වාණිජ කෘෂිකර්මාන්තයක් වෙත යොමු වීමෙන් මේ ක්ෂේත්‍රයේ අනාගත අභියෝග බොහොමයක් අපට පහසුවෙන් ජය ගැනීමට හැකි බව දශක කිහිපයක කෘෂි ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇසුරින් මට නිසැකවම කිව හැක. 

නව අදහස දක්වන්න