ගරිල්ලා සෙල්වම් ධර්මයුද්ධයට | දිනමිණ

ගරිල්ලා සෙල්වම් ධර්මයුද්ධයට

අසංක බණ්ඩාර
චේනක වික්‍රමආරච්චි

අපේ පුහුණුව අවසන් දවසේ කර්නල් රාම්, උද්වේගවත් කථාවක් කරමින් අපිට කිව්වේ, උඹලා පිටිපස්ස බලන්න එපා - උඹලට තියෙන්නේ ඉස්සරහ බලන එක විතරයි, කියලයි. එදා ඒ කථාවෙන් අපිව දිරිමත් කලාට අද ඒ දේ ගැන මම පුද්ගලිකවම ගොඩක් පසු තැවෙන්නේ, දේශපාලන අවශ්‍යතාවක් වෙනුවෙන් ගිනි අවිය පළිහක් කරගන්න වුණ එකටයි.

“උඹලා පිටිපස්ස බලන්න එපා - උඹලට තියෙන්නේ ඉස්සරහ බලන එක විතරයි,” එහෙම තමයි අපිට සංවිධානයෙන් උපදෙස් දීල තිබුණේ. ඒ විදිහට අවදි වුණු කනපති පුල්ලේ සෙල්වම්ගේ හඩ, ඉතා දුක්බර වගේම යම් අධිෂ්ඨානශීලි බවකුත් පෙන්නුම් කළා. වයස අවුරුදු 14 දී එල්. ටී. ටී. ඊ සංවිධානයට එකතුවුනු සෙල්වම් අද ඉලිප්පේඩි මුන්මාරි ගම්මානයේ පවුල් 600කට පමණ ශුද්ධ වූ බයිබලයේ මාර්ගය පෙන්වන්නාවූ පියතුමෙක්. වියළි කාලගුණයත් එක්ක නැගෙනහිර ජනතාව මුහුණදීල තියෙන දුෂ්කරතා ගැන හොයන්න කියල අපේ කණ්ඩායම, තොප්පිගල මාර්ගයේ කිලෝමීටර් කිහිපයක් ඉදිරියට ඇවිත් කිරාන් පාලම පහුකරනවත් සමග හමුවුණු තිකිළිවෙඩ්ඩි - ඉලිප්පේඩි මුන්මාරි ගම්මානයෙදියි සෙල්වම් පියතුමා අපිට මුණ ගැහෙන්නේ. සංචාරකයෙකුට සුන්දර ගමනක් වුණත්, ඉලිප්පේඩි මුන්මාරි ගම්මානයේ මිනිස්සුන්ට නම් දහසක් බලාපොරොත්තු දල්වා ගන්නවත් හිතට හරිහමං හයියක් නැත්තේ කිරාන් පාලම ප්‍රමාණවත් අයුරින් සකස් කොට නැති හින්ද කියලයි ගම්මුන් කියන්නේ. ප්‍රදේශයට වසර කිහිපයකින් වර්ෂාව නොලැබුනාට වැස්ස ගමන් කිරාන් පාලමෙන් කිසිවකුටත් එගොඩ වීමට හෝ මෙගොඩවීමට හැකියාවක් නැහැ. කිරාන් පාලම ආසන්න තැනිතලා ප්‍රදේශය පහත් බිමක් නිසා කිරාන් පාලම කිලෝමීටරයක් පමණ දීර්ඝ කළහොත් පමණක් දෛනික ගමනාගමන කටයුතු සරි කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති. කෙසේ වෙතත් ගම්මුන් පෙන්වා දෙන්නේ, මැතිවරණය කාලයට වසන්තය ළඟා කරදීමට පොරොන්දු ලබාදුන් දේශපාලකයන්ට තමන්ව අමතකව ඇති බවයි.

තොප්පිගල ගම්මානය ඇතුළට වන්නට දුෂ්කර මාවතක් ඔස්සේ පිවිසුණු අපට දැකගත හැකි වූ කුඩාරම් ප්‍රමාණයේ නිවස්නවල කිසිවකුත් දක්නට නොලැබුණු නිසා අප නතර වුණේ, සෙල්වම් පූජකතුමාගේ පල්ලිය ඉදිරිපිට ඇති මයිලගස් සෙවණෙයි. කිසිදා ඇස නොගැටුණු අප ආදර ගෞරවයෙන් පිළිගත් සෙල්වම්, හිදගන්නට අසුන් පැනවූයේ හිතේ තිබුණු දහසක්දෑ පවසන්නට අවස්ථාවක් ලබා ගන්න අටියෙනැයි හැගීගියේ ඔහුගේ අව්‍යාජ පාපෝච්චාරණය නිසාවෙනි.

“මහත්තයෝ, මෙහෙ ඉන්න අසරණ මිනිස්සු එදිනෙදා ජීවනෝපාය කර ගන්නේ බොහොම අමාරුවෙන්, ගම්මුන් ගොඩක්ම ජීවත් වෙන්නේ ධීවර රස්සාවෙන්, ඒක කරන්නත් එළුවන්කුලම්, කොරාවේලිකුලම්, තීවෙලිකුලම් හරි උප්පාරු කලපුවට යන්නෙත් කිලෝමීටර දෙක තුනක් පයින්ම ඇවිදගෙන. බීමට වතුර ගන්නත් මේ පොලොවේ වතුර නැති හින්දා කිලෝ මීටර දෙක හමාරක්ම පයින් ගිහින් තීවෙලිකුලම් ළිඳෙන් වතුර ගේනවා.” ඉලිප්පේඩි මුන්මාරි ගම්මානයේ ජනතාව ධීවර රස්සාවට අමතරව ගව පාලනය වගේම එළුවන් ඇති කළත් ඒ සත්තුන්ට කන්නවත් හරිහමන් තණ බිමක් නැහැ. උදෑසනම අවදිවූ ගම්මුන් සිය ජීවනෝපායන් සරි කර ගැනීම සදහා නිවසින් පිටවනවාත් සමගම දරු දැරියන් ද කිලෝමීටර හත අටක් දුර ගෙවා පාසල් යන නිසා දහවල් කාලයේ කිසිවෙකුත් නිවෙස්නයන්හී දක්නට නොලැබෙන බව අපට පැහැදිලි කාරණයක් වුනා.

මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල මායිම්ව පිහිටා තිබෙන තොප්පිගල මුහුදු මට්ටමේ සිට මීටර් 534 ක උසකින් යුක්තයි. තොප්පිගල කඳු පන්තියට තොප්පිගල ලින්දගල, හෙන්ගල, වැස්සිබැන්දගල, කලවාගල, කොක්ගල, වල්මණ්ඩියගල, ඇතාගල, නරකමුල්ලගල, හතරවක්කුලම, කඳු පංතිය ගැනෙයි. ඊට අයත් භූමි භාගය වර්ග කිලෝමීටර් 800 කින් සමන්විත ය. මඩකලපුව පොළොන්නරු දිස්ත්‍රික්ක මායිමේ මාදුරුඔය ජාතික වනෝද්‍යානයට යාබදව තොප්පිගල පිහිටියේ ය. එහි විසිර සිටි ජනතාව එක්ලක්ෂ විසිපන්දහසක් පමණ විය.

මානුෂීය මෙහෙයුමේ තීරණාත්මක සන්ධිස්ථානයක් වූ තොප්පිගල මුදා ගැනීමේ සටන ආරම්භ වූයේ 2007 වසරේ අප්‍රේල් මස 25 වැනිදා. මේජර් ජනරාල් පරාක්‍රම පන්නිපිටියගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණු තොප්පිගල මුදාගැනීමේ මෙහෙයුම 2007 වසරේ ජූලි මස 12 වැනිදා අවසන් වුණා. එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් දශකයකට අධික කාලයක් පුරා තොප්පිගල ඇතුලූ ප්‍රදේශය තම අනසක යටතට පවරාගෙන තිබුණා.

වර්තමානයේ ගැටලු රැසකට මුහුණ දීල ඉන්න සෙල්වම් පියතුමා, ඔහුගේ කථාව පටන් ගත්තේ ඉතාමත් ඛේදනීය ඉතිහාසයක නටඹුන් අතර සිරවූවෙකු ලෙසිණි.

“1996 වර්ෂය වෙද්දි මට අවුරුදු 14ක් , අපේ පවුලේ අම්මයි, තාත්තයි, අක්කලා 04 දෙනයි මමයි බොහොම සතුටින් ඉන්න කාලයේ තමයි එල්. ටී. ටී. ඊ ත්‍රස්තවාදීන්ගේ සහ රජයේ හමුදාවල සටන් දරුණු අතට හැරුණේ.

ඒ දවස්වල සෑම පවුලකින්ම එක් අයෙක් බදවාගන්න බවට ප්‍රදේශය පුරා විශාල රාවයක් තිබුණූ නිසා අක්කලා පස් දෙනා බේරාගන්න තියෙන උවමනාව හින්දා මම අකමැත්තෙන් වුනත් සංවිධානයට බැදුණා.

ඉන් පස්සේ මම තාරාවිකුලම් එල්. ටී. ටී. ඊ කදවුරට ගිහින්, මාස 03ක අවි පුහුණූවකින් පස්සේ ජයන්තන් හෙවත් කර්නල් රාම් යටතේ ඔහුගේ බළකාට අනියුක්තව සේවය ආරම්භ කළා.

අපේ පුහුණුව අවසන් දවසේ කර්නල් රාම්, උද්වේගවත් කථාවක් කරමින් අපිට කිව්වේ, උඹලා පිටිපස්ස බලන්න එපා - උඹලට තියෙන්නේ ඉස්සරහ බලන එක විතරයි, කියලයි.

එදා ඒ කථාවෙන් අපිව දිරිමත් කලාට අද ඒ දේ ගැන මම පුද්ගලිකවම ගොඩක් පසු තැවෙන්නේ, දේශපාලන අවශ්‍යතාවක් වෙනුවෙන් ගිනි අවිය පළිහක් කරගන්න වුණ එකටයි.

ඒ කථාවේ ප්‍රතිපලයක් විදියට ගොඩක් මිනිසුන්ට දේපල, විතරක් නෙවෙයි අපේම රටේ මිනිසුන්ගේ ප්‍රාර්ථනා, බලාපොරාත්තු වගේම භෞතික වශයෙන් වැදගත් වන සියල්ලම එක වෙඩි උණ්ඩයකට යට කරන්න සිද්ධ වුනා.

කොහොමින් කොහොම හරි තාරාවිකුලම් එල්. ටී. ටී. ඊ කදවුරෙන් පිටත් වුණු අපේ කණ්ඩායම යුද්ධය අවසන් වෙනකම්ම කිලෝ මීටර් කොච්චර ද කියන්න බැරි තරම්ම පයින් ගිහින් සටන් කළා.

මට මතක හැටියට නැගෙනහිර පළාතේ විතරක් නෙවෙයි අවස්ථා කිහිපයකදීම යාපනය, කිලිනොච්චි, මුලතිව්, පේසාලේ සහ පුදුකුඩිඉරිප්පු වගේ ප්‍රදේශවලටත් අපි ගියේ පයින්මයි.

හැබැයි ඒ හැම වෙලාවකම අපට සිද්ධ වුණේ දවසින් දවස අපේ කණ්ඩායමේ සාමාජිකයින් අහිමි කර ගන්න එක විතරයි.

ඒත් ඒ කිසිම සිද්ධියක් ලොකුවට දැනුන් නැත්තේ, අඩුවන සෑම සාමාජිකයෙකුටම තවත් කෙනෙක් එකතු කරන්න සංවිධානය බැදී සිටිය නිසා.

ඒ කාලයේ අපි දියත්කළ මෙහෙයුම් කිහිපයක් සාර්ථක කරන්න ගන්න හැකියාව ලැබුණා. ඒ අතරින් මගේ මතකයට එන්නේ බුත්තල දී බස් රථයකට එල්ල කළ ප්‍රහාරය, ඒ සිද්ධිය මතක් කරන්න බැහැ, ඒක අතිශයින් ඛේදජනකයි.” පියතුමා කීවේ කඳුළු පිරි දෙනෙතිනි.

“මෙහෙම ඉන්න අතර සංවිධානයේ ඉහළින් මට මල්ටි බැරල් ප්‍රහාරයන් සම්බන්ධ විශේෂ පුහුණුවක් ලබාදුන්නා, ඒ අනුව යද්දි එක්වරම දොළොස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක ප්‍රධානියා වීමේ අවස්ථාව මට හිමිවුණා.

එවකට නැගෙනහිර පළාත භාරව හිටියේ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණාඅම්මාන්. එයාගේ දෙවැනියා රාමේෂ්, රාමේෂ් යටතේ තමයි අපේ ප්‍රධානියා වන කර්නල් රාම් හිටියේ.

කර්නල් රාම් මනුෂ්‍යත්වය අතින් හොද කෙනෙක් වගේම දැඩි පුද්ගලයෙක්, ඔහු නිතරම අපව දිරිමත් කළා ඔහුගේ තිබුණු හැකියාවන් හොඳ දෙයක් වෙනුවෙන් යෙදුව නම් අපේ ප්‍රදේශය ගොඩක් දියුණු වෙන්න තිබුණා කියන එක තමා මගේ හැගීම.

අපි යුද්ධයට මැදිවෙලා ඉන්න කාලේ තමයි අපේ අම්මා මිය ගිහින් තියෙන්නේ, අම්මා නැති වුණ වග මම දන්නේ යුද්ධය අවසන් වෙලා පුනරුත්ථාපන කදවුරෙන් එළියට අවාහමයි.

සෙට්ටිකුලම් පුනරුත්ථාපන කඳවුරේ අපි ඉන්න කාලේ යුද හමුදාවේ මැදිහත් වීම මත අපේ අනාගත ජිවනෝපායන් සරිකර ගැනීම සදහා විවිධ පුහුණුවීම් සහ විවිධ ක්‍රියාකාරකම් සදහා අපව යොමු කළා.

ඒ විදිහට පුහුණුවීම් ලබමින් ඉන්න අතර අපේ කඳවුරට වැල්ලවත්තේ ඉදන් ෆාදර් කෙනෙක් ආවා.

ඔහු නමින් සෙල්වනායගම්,

අතීතයේ වුණු යම් යම් සිද්ධීන් නිසා කඳවුරේ හිටිය ගොඩ දෙනෙක් කලකිරීමෙන් හිටියේ. ඒකට හේතුව අතීතයේ අපට හිමිකර දුන්නු සිදුවීම් නිසා මැරි මැරී හිටියේ.

මොකද කියනව නම් යුද්ධය අවසානයේ අපට හිමිවූයේ පලායෑම, සුසුම් ලෑම හෝ මරණයේ වේදනාව පමණයි.

විනාශවී ගිය අතීත නටබුන් අතරින් පිබිදුණු මම තීරණය කලා අනාගත පරපුරේ අභිවෘද්ධිය වෙනුවෙන් යම් දෙයක් කිරීමට නම් ආගම සහ දර්ශනය ආශ්‍රයෙන් යම් සහනයක් ලබා ගත හැකිය යන්න.

අවසානයේ මම තීරණයකට එළඹුණා. ඔහුගේ අනුගාමිකයෙකු වන්න. අවසානයේ එහි ප්‍රතිපලයක් විදිහටයි මම අද ප්‍රදේශවාසීන්ගේ ආධ්‍යාත්මික සුඛ විහරණය වෙනුවෙන් පෙනී ඉන්නේ.

මට හැමෝගෙන්ම එක ඉල්ලීමක් කරන්න අවශ්‍යයයි. කවදාවත් කිසි කෙනෙක් යම් දෙයක් පිළිබඳ කියූ සැණින් එය පිළිගන්න එපා, ඒ දෑ පිළිබඳව මනා සෝදිසියකින් පසු මනා අවබෝධයකින් කටයුතු කරන්න. ඒ මොකද කියනවා නම් අප අනවබෝධයෙන් සිදු කරන යම් යම් ක්‍රියාවල ප්‍රථිපල රටක්, ජාතියක් වගේම ආගමකට වුණත් ඛේදනීය අවසානයක් වන නිසා.”

නව අදහස දක්වන්න