බැදපු අර්තාපල් හැමදාම කන්න හොඳ නෑ | දිනමිණ

බැදපු අර්තාපල් හැමදාම කන්න හොඳ නෑ

බැදපු අර්තාපල් (French Fries) යනු ලෝකයේ බොහෝ රටවල ප්‍රධානතම ක්ෂණික ආහාරයකි. ගැඹුරු තෙලේ අර්තාපල් බැද මේවා සකසන නිසා, අධික කැලරි ප්‍රමාණයක් එහි අන්තර්ගත වේ. එම නිසා, මේවා දීර්ඝ කාලයක් ආහාරයට ගැනීමෙන් පසු ස්ථුලතාවට පත් වීමේ හැකියාව වැඩි බව වෛද්‍යවරු පෙන්වා දෙති.

වොෂිංටන් සරසවියේ දියවැඩියා සහ ස්ථුලතා මධ්‍යස්ථානය මඟින් කරන ලද පර්යේෂණයකට අනුව, බැදපු අර්තාපල් ආහාරයට ගැනීමෙන්, සිරුරේ බර පාලනය කර ගැනීමට නොහැකිවී, විකෘතිතා ඇති විය හැකි බව පෙන්වා දී ඇත. එමෙන් ම,අමෙරිකාවේ හදවත් රෝග සංවිධානය මඟින්, අර්තාපල් ආහාරයට ගත්විට රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වන බව ද පෙන්වා දී තිබේ.

 එමඟින්, අධික රුධිර පීඩනය, හදවත් රෝග වැනි තත්ත්ව මෙන් ම, දියවැඩියා රෝගය ඇති විය හැකි ය. විදේශ රටවල අවන්හල්වල සකසන ෆ්‍රෙන්ච් ෆ්‍රයීස්වල, මේදය ග්‍රෑම් 24 ක් සහ කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 65 ක් අන්තර්ගත වේ. මේවා දිගුකාලීනව ප්‍රධාන ආහාරයක් ලෙස ආහාරයට ගැනීමෙන්, පිළිකා තත්ත්ව ඇති විය හැකි බව ද මේ පර්යේෂකයෝ පෙන්වා දෙති.

සාමාන්‍යයන් පුද්ගලයකු දිනකට ගත යුත්තේ ලුණු තේ හැන්දකටත් වඩා අඩු( මිලි ග්‍රෑම් 1500- මිලි ග්‍රෑම් 2000) ප්‍රමාණයකි. එහෙත් බදින ලද අර්තාපල්, රස කර ගැනීම සඳහා ලුණු අධික ප්‍රමාණයක් යොදයි. අවන්හල්වල සකසන අර්තාපල් පෙතිවල සෝඩියම් මිලි ග්‍රෑම් 600ක් පමණ අඩංගු වේ. මේවා ආහාරයට ගැනීමෙන්, සිරුරට ඔරොත්තු නොදෙන ලුණු ප්‍රමාණයක් සිරුරට එක්වී උත්තේජනය වීමෙන්, පසුකාලීනව අක්මා රෝග, වකුගඩු රෝග වුව ද වැලඳිය හැකි බව වෛද්‍ය පර්යේෂණ මඟින් සොයාගෙන ඇත.

ජීව වෛද්‍ය සහ ඖෂධ පර්යේෂණ ආයතනය මඟින් කළ දීර්ඝකාලීන පර්යේෂණවලින් අනතුරුව, ගැබිණි මවුවරුන්ට අර්තාපල් ආහාරයට ගැනීම සීමා කර ඇත. අධික උෂ්ණත්වයකින් යුතුව බදින අර්තාපල් පෙති ආහාරයට ගැනීමෙන්, කළලයේ යම් යම් විකෘතිතා ඇති වීම එයට හේතුව ය. එම නිසා, උපදින දරුවන්ගේ කායික සහ මානසික විකෘති තත්ත්ව ඇති විය හැකි ය. බැදපු අර්තාපල්, පමණ ඉක්මවා දිනපතා ම ආහාරයට ගැනීම නුසුදුසු වන්නේ මෙවැනි බොහෝ හේතු නිසා ය.

 

අන්තර්ජාලය ඇසුරිනි
මදාරා මුදලිගේ 

නව අදහස දක්වන්න