රට නැඟුමට සමුපකාරය | දිනමිණ

රට නැඟුමට සමුපකාරය

සමස්ත ලංකා සමුපකාර ‍සේවකයන්ගේ
ස්වාධීන වෘත්තීය සමිතියේ සභාපති අනුර තෙන්නකෝන්

සාමාජිකයා සතු අයිතිය, පාලනය, ප්‍රතිලාභ න්‍යායන් මූලික කරගෙන සමුපකාර ව්‍යාපාරය ආරම්භ විය. 19 වැනි සියවසේ යුරෝපයේ ඇරැඹි සමුපකාර ව්‍යාපාරය බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ විසිවැනි සියවසේ මුල් දශකයේදීය. එදා සිට මේ දක්වා විවිධ හැලහැප්පීම්වලට භාජනය වෙමින් විටෙක පසුබසිමින්, විටෙක නැගී සිටිමින් ක්‍රියාත්මක වූ සමුපකාර ව්‍යාපාරය අද වනවිටද විවිධ ගැටලු අභියෝග හමුවේ නොසැලී ක්‍රියාත්මක වන ව්‍යාපාරයකි.

ලෝකයේ විවිධ රටවල සමුපකාර ව්‍යාපාරය විවිධ හැඩතලවලින් ක්‍රියාත්මක වේ. ඉදිකිරීම් ක්ෂේත්‍රය, වරාය සේවා, මගී ප්‍රවාහන සේවා, විශාල හෝටල් හා සංචාරක සේවා, සෞඛ්‍ය සේවා, විශාල ගොවිපළ ආදී ජන ජීවිතයේ සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි සමුපකාර ව්‍යාපාර පවත්වාගෙන යනු දැකිය හැකිය.

ශ්‍රී ලංකාව තුළද සමුපකාර ව්‍යාපාරය නව හැඩයන් ගනිමින් ක්‍රියාත්මක කිරීමට ඇති ඉඩකඩ ඉතා විශාලය. එහෙත් සුබසාධන ආර්ථික ක්‍රියාවලියක උදව්කරු ලෙස සමුපකාර ව්‍යාපාරය පවත්වාගෙන යාම එහි මන්දගාමිත්වයට හේතුවී ඇත. එල්ලන තරාදිය, කඩ බක්කිය, සහනාධාර බෙදාහැරීම වැනි සංකල්පවලින් ඉවත්ව අමුද්‍රව්‍ය නිමිද්‍රව්‍ය බවට පත්කරන තාක්ෂණික ව්‍යාපාර බවට සමුපකාරය පරිවර්තනය විය යුතුව ඇත. අයිතිය, පාලනය, ප්‍රතිලාභ යන සංකල්පය මත විවිධ වූ ආර්ථික ක්‍රියාවලියට හා තිරසර සංවර්ධනයට සමුපකාරය දායක කරගත හැකි අතර, ඒ තුළින් සමුපකාර ජනසමාජයක් වෙත පිය නැගිය හැකිය. මේ සඳහා සමුපකාර සාමාජිකයාගේද, ව්‍යාපාරයේ යෙදෙන්නන්ගේද, රජයේද ආකල්පයන් වෙනසක් සිදුවිය යුතුය.

සමුපකාරය රටේ සංවර්ධන කාර්යයට සෘජුවම දායක කර ගත හැකි ආයතනයකි. මේ ර‍ෙට් ජනගහනයෙන් මිලියන පහක් පමණ මොනයම් හෝ සමුපකාර සමිතියක සාමාජිකයකු වෙති. විශාල ප්‍රමාණයක් එකම ව්‍යාපාරයක් යටතේ සාමාජිකත්වය ලබන මේ රටේ දැවැන්තම ව්‍යාපාරයද සමුපකාර ව්‍යාපාරයයි. එබැවින් රටේ තිරසර සංවර්ධනය සඳහා සමුපකාර ව්‍යාපාරයේ දිසානතිය හා වත්කම් කළමනාකරණය කළ යුතුව ඇත. සමුපකාර ව්‍යාපාරයේ ප්‍රධානම ව්‍යාපාර කටයුතු අංශ කීපයක් ඔස්සේ අද වනවිට ක්‍රියාත්මක වේ.

ග්‍රාමීය බැංකු ක්‍රියාවලිය, පාරිභෝගික ක්‍රියාවලිය හා වෙනත් සේවා කටයුතු ක්‍රියාවලීන් ඒ අතර ප්‍රමුඛ වේ. මෙම අංශ ක්‍රියාත්මක කරන්නේ සමුපකාර සේවකයාය. සමුපකාර සේවකයාගේ නිසි වගකීමත්, එම වගකීමට ඉටුවිය යුතු යුතුකමත්, මේ සියල්ල සඳහා නිසි වටිනාකමක් ලැබේද යන්නත් ගැටලුවකි. තෘප්තිමත් සේවක පිරිසක් ක්‍රියාත්මක නොවන ආයතන පසුබෑමට ලක්වීම වැළැක්විය නොහැක්කකි. අප රටේ සමුපකාර සේවා නියුක්තිය සමස්ත සේවා නියුක්තියෙන් සියයක් දොළහක් පමණ වේ. තිරසර සංවර්ධනයේදී නිෂ්පාදනය ඉතා වැදගත් සාධකයකි.

අප රටේ ග්‍රාමීයව දැකිය හැකි ප්‍රධනතම ලක්ෂණය වන්නේ අමුද්‍රව්‍ය මත අලෙවි ක්‍රියාවලියක් මිස නිෂ්පාදන ක්‍රියාවලියට ග්‍රාමීය ජනතාව නැඹුරු නොවීමය. එයට අවශ්‍ය තාක්ෂණයද, දැනුම, මූල්‍ය ශක්තිය, වෙළෙඳ පොළ, ඔවුන් සතු නොවීමද එයට හේතුවිය හැකිය. සමුපකාර ව්‍යාපාරයට මෙහි මැදිහත්කරු ලෙස අමුද්‍රව්‍ය නිමිද්‍රව්‍ය බවට පත්කරන ප්‍රධාන සංවිධානය ලෙසින් පත්විය හැකිය. මේ පිළිබඳව රජයේ අවධානය පුළුල් ලෙස යොමුවිය යුතුව තිබේ.

උදාහරණයක් ලෙස කෑගල්ල, කළුතර, මහනුවර වැනි ප්‍රදේශවල කරාබුනැටි, ගම්මිරිස් වැනි කුළුබඩු සඳහා අනන්‍යතාවයක් පවතී. මෙම ද්‍රව්‍ය ගොවීන් විසින් නිසි වටිනාකමක් නොලබා වෙළෙඳ පොළට මුදාහරී. එහෙත් මෙම ද්‍රව්‍යවලින් නිෂ්පාදන ක්‍රියාවලියට එක්වීම තුළ ගොවියාටද, සමුපකාර ව්‍යාපාරයක් ලෙස සාමාජිකයාටද ප්‍රතිලාභ රැසක් හිමිකර දිය හැක. පාසල් දරුවන් සඳහා පොත් බෑග්, සපත්තු, ලිපිද්‍රව්‍ය ඒ ඒ ප්‍රදේශවල සමුපකාර ව්‍යාපාරය මඟින් නිෂ්පාදනය වන්නේ නම් ඒ තුළින් සකලවිධ ජනතාවටම ආර්ථික පහසුවක්ද හිමිවනු ඇත. මෙහිදී ආනයනය මත යැපෙන ආර්ථිකයට තිත තැබිය යුතු වේ. එවිට තිරසර සංවර්ධනය ග්‍රාමීයවම ඇරඹිය හැක.

සමුපකාරය යනු කුමක්ද? යන්න පිළිබඳව විවිධ නිර්වචන ඇත. ජාත්‍යන්තර සමුපකාර සංවිධානය 1995 වසරේදී මැන්චෙස්ටර් නුවර පැවැත්වූ ජාත්‍යන්තර සමුපකාර සම්මේලනයේදී “සමුපකාරය යනු හවුල් අයිතියක් ඇතිව, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහිත වූ ව්‍යාපාරයක් මඟින් තම පොදු ආර්ථික, සමාජ හා සංස්කෘතික අවශ්‍යතා හා බලාපොරොත්තු ඉටුකර ගැනීම පිණිස ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක වූ පුද්ගල සංවිධානයක්” ලෙස හඳුන්වා ඇත. මේ තුළ හවුල් අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, ව්‍යවසායකත්වය, පොදු ආර්ථික සමාජ හා සංස්කෘතික අවශ්‍යතා සහ බලාපොරොත්තු, ස්වේච්ඡාව, පුද්ගල සංවිධානයක්වීම ආදී ලක්ෂණ දැකිය හැකි බවද එහිදී පෙන්වා දී ඇත.

එමෙන්ම ජාත්‍යන්තර සමුපකාර සංවිධානය මඟින් 1995 දී සෑම සමුපකාර සංවිධානයක්ම පිළිගත යුතු යැයි අදහස් කරන සාරධර්ම හයක් හඳුන්වා දී ඇත. ආත්මාධාරය, ස්වයං වගකීම, සමානාත්මතාව, සාධාරණත්වය, සහයෝගීතාවය සහ ප්‍රජාතන්ත්‍රවාදී බව එම සාරධර්ම ලෙස දක්වා තිබේ. එමෙන්ම ආචාරධර්ම ලෙස අවංකභාවය, විවෘතභාවය, සමාජ වගකීම හා අන්‍යයන් රැකබලා ගැනීම දක්වා ඇත. මේ සියලු කටයුතු මෙහෙයවිය යුතු සමුපකාර ප්‍රතිපත්ති හතකි. විවෘත හා ස්වේච්ඡා සහභාගිත්වය, ප්‍රජාතන්ත්‍රවාදී සාමාජික පාලනය, සාමාජික ආර්ථික සහභාගිත්වය, ස්වෛරීභාවය හා ස්වාධීනත්වය, අධ්‍යාපනය, පුහුණුව හා තොරතුරු, සමුපකාර අතර සහයෝගීතාව, ප්‍රජාව කෙරෙහි සැලකිලිමත්වීම එම සමුපකාර ප්‍රතිපත්ති අතර වේ.

‍මෙවැනි හර පද්ධතියකින් හෙබි සමුපකාර ව්‍යාපාරය එම කරුණු පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කරන්නේද යන්න සැබවින්ම ගැටලුවකි. දේශපාලන අධිකාරිය එවැනි ප්‍රතිපත්ති, අරමුණු හා සාරධර්ම ඉක්මවා ඔවුන්ගේ පටු අභිමතාර්ථ වෙනුවෙන් ක්‍රියාකාරී වන බව දැකිය හැකි අවස්ථා රාශියකි. වර්තමානයේදී සමුපකාර සාමාජිකයාගේ ඡන්දයද දේශපාලන ඡන්දයක් බවට ඔවුන් පත්කරගෙන තිබේ.

ශ්‍රී ලංකාව තුළ සමුපකාර ව්‍යාපාරය ප්‍රධාන අවධීන් කීපයක් පසුකර ඇත. 1906 දී දුම්බර තෙල්දෙනිය ග්‍රාමයෙන් ආරම්භ වූ ප්‍රථම සමුපකාර සමිතියෙනුත්, 1911 අංක 07 දරන ආඥාපනත පැනවීමෙනුත්, 19 වැනි සියවසේ රොබට් ස්මිත්ගේ සමුපකාර චින්තනය අනුව 1844 දී එංගලන්තයේ රොච්ඩේල් පුරෝගාමීන්ගේ ප්‍රායෝගික මැදිහත්වීමෙන් ආරම්භ වූ සමුපකාරය ශ්‍රී ලංකාවේ ඉහත ආකාරයෙන් ක්‍රියාත්මක විය.

1911 – 1941 දක්වා ණය දෙන සමුපකාර සමිති යුගය, 1942 – 1946 පාරිභෝගික සමුපකාර සමිති වර්ධන යුගය, 1947 – 1956 කෘෂිකාර්මික සමුපකාර සමිති වර්ධන යුගය, 1957 – 1970 විවිධ සේවා සමුපකාර සමිති යුගය, 1977 න් පසු යුගය ලෙස ශ්‍රී ලංකා සමුපකාරයේ ව්‍යාප්තිය විවිධ යුග පසු කරමින් අද දක්වා පැමිණ තිබේ.

මෙම යුගයන් තුළ සිදුවූ සුවිශේෂී වෙනස්කම් රාශියකි. ආර්ථික, සාමාජීය, සංස්කෘතික, දේශපාලන හා අනේකවිධ අවස්ථාවන්ට මුහුණදෙමින් මේ වනවිටද සමුපකාර ව්‍යාපාරය ක්‍රියාත්මකව තිබේ. කොළඹ සිට සංගමන්කන්දතුඩුව දක්වාත්, පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වාත් ගමන් කිරීමේදී ගමක් ගමක් පාසා දැකිය හැකි එකම සංවිධානය සමුපකාර සංවිධානයයි. සමුපකාර ක්‍රමය තුළින් තිරසර සංවර්ධනයේදී ආර්ථික, සමාජීය සංවර්ධනය හෝ මෙහි ඇති ජාතික ශක්තිය පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයන් නිසි අවධානයක් මෙතෙක් යොමුකර තිබේද යන්න ගැටලුවකි.

මෙරට ජනවිඥානයත්, දේශීයව බද්ධව ඇති සංස්කෘතිය හා සාරධර්ම තුළත්, මෙම ව්‍යාපාරයේ හැසිරීම පිළිබඳව මනා අවබෝධයෙන් යුතුව සංවර්ධන කාර්යයේදී සමුපකාර ක්‍රමය පිළිබඳව මනා අවබෝධය හා සන්නිවේදන ක්‍රියාවලිය නිසි ලෙස අධ්‍යයනය කරන්නේ නම් තිරසර සංවර්ධනයේ පාදස්ථය ලෙස සමුපකාර ව්‍යාපාරය මෙහෙයවීමට ඇති අවස්ථා බොහෝය.

 

සටහන - රඹුක්කන විශේෂ
ඔස්වල්ඩ් ගොඩකුඹුර

 

නව අදහස දක්වන්න