වෘත්තියට කැප වී දිවිය දිනන නිලුෂා | දිනමිණ

වෘත්තියට කැප වී දිවිය දිනන නිලුෂා

මීට මාස හයකට ඉහතදී නිලුෂා තම ජීවිතයේ නව ගමන් මාර්ගයක් ඇරැඹුවා ය. ගෙවී ගිය වසර කිහිපයකදී ජීවිතයේ සිදු වු බොහෝ විපර්යාසවලට ඇය මුහුණ දුන්නේ, දැඩි ආත්ම ශක්තියකින් යුක්තව ය. ‘මට මේ දෙය කළ හැකියි’ යන තිර අධිෂ්ඨානයෙන් යුක්තව තම ජීවිතයේ අලුත් පිටුවක් පෙරළන්නට ඇය උත්සාහ කළා ය.

“මම ඉස්සර කාර්යාලයක වැඩට ගියා . ඊට පස්සේ ඒකෙන් අයින් වුණා. මම හිතුවා මගේම කියලා ස්වයං රැකියාවක් පටන් අරගත්තොත් හොඳයි කියලා. ඒ නිසා මම කාන්තාවන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ විකිණීමේ රැකියාවක් පටන් ගත්තා. මගේ අම්මයි,මගේ සැමියයි තමයි මගේ සෑම කටයුත්තකදීම මට ‍සහයෝගය දෙන්නේ. ඒ දෙන්නා නැත්නම් මම මේ වගේ දෙයක් පටන් ගන්න එකකුත් නැහැ.”

සිතේ ධෛර්යය ඇත්නම්, කළ නොහැකි දෙයක් නැත. ජීවිතය ජය ගන්නට සිතූ ඇයට දිරියක් වූයේ, සිතේ ගොඩනැගුණු අධිෂ්ඨානශීලී බව ය. ඉලක්ක ජය ගැනීමේ ශක්තිවන්ත බව ය.

“මගේ ළඟ තියෙන්නේ කාන්තා අත් බෑග්,පසුම්බි සහ කාන්තා පාවහන් වගේ දේවල්.විලාසිතා කරන සෑම කාන්තාවකටම සුදුසු භාණ්ඩ මගේ ළඟ තියෙනවා. ඒ සෑම දෙයක් ම මම රු . 350-400 වගේ මිල ගණන්වලට තමයි විකුණන්නේ.”

ඇය මහ පරිමාණයෙන් මේ රැකියාව නොකළත්, තම පාරිභෝගිකයන්ගේ අවැසියාව සපුරමින්, ඔවුන්ට සුදුසු භාණ්ඩ සපයන්නී ය.පාරිභෝගිකයන්ගේ මුදලට සාධාරණයක් ඉටු කරන ඇය, අවංකවම තම වෘත්තියට කැප වන්නී ය.

“මේ රැකියාව ගෙදර ඉඳන් ම කරන්න පුළුවන් නිසා, කිසිම කරදරයක් නැතුව, තමන්ගේ පාඩුවේ කරගෙන යන්න පුළුවන්. ඒ නිසාත් මං මේ රැකියාවට පෙම් කරනවා. මේ වෘත්තිය මඟින් අතට මුදලක් ලැබෙනවා වගේ ම, ගෙදර වැඩත් කරගෙන, මේ කටයුත්ත සාර්ථකව කර ගන්නත් පුළුවන්.

මේ රැකියාව කරගෙන යද්දි, මේ කාලය තුළ මට තාම කිසි ම අභියෝගයක් ඇවිත් නැහැ. කවදහරි දවසක අභියෝග ආවත්, ඒවාට හොඳින් මුහුණ දෙන්න මට පුළුවන්. මගේ බලාපොරොත්තුව තමයි, කවදාහරි දවසක මගේ ම වෙළෙඳසැලක් පටන් ගන්න එක.මම හිතනවා එතකොට මට මීට වඩා සාර්ථක වෙන්න පුළුවන් කියලා.” ඇය පවසන්නී ය.

මදාරා මුදලිගේ

නව අදහස දක්වන්න