පරණ වෙන පොත් වෙළෙදාම | දිනමිණ

පරණ වෙන පොත් වෙළෙදාම

මදාරා මුද­ලිගේ

ග්‍රන්ථකරණයට අද උදා වී ඇති කලදසාව කෙබඳු ද යන්න මනා පර්යේෂණය කිරීම සඳහා කොළඹ ඩී.ආර්.විජේවර්ධන මාවතෙහි පිහිටා තිබෙන ශ්‍රී ලංකාවේ පැරණි පොත්පත් අළෙවි කරන කඩපිල්හි පොත්හල් හිමිකරුවන් සමඟ සිදුකළ සංවාදයක් අතරින් සිදු කළ සටහනකි මේ.

මම මේ රැකියාව කරන්න පටන් අරන් දැන් අවුරුදු 40කටත් වඩා වැඩියි. මම 1960 ගණන්වල මාගේ මාමත් එක්ක මරදානේ පොත් කඩයක වැඩ කළා. සිරිමාවෝ මැතිණියගේ නොබැඳි සමුළුව පවත්වනකොට අපි හිටියේ කැළණියේ පාළම යට. ප්‍රේමදාස පොත් කඩයයි, තව පොත්කඩ කිහිපයකුයි ඒ කාලේ තිබුණා. ඒ ඔක්කෝම අපේ නෑදෑයන්ගේ පොත් කඩ තමයි.

ඉස්සර පොතක් රුපියල් 2 - 3 යි. උපරිම රුපියල් 5ක් විතර වෙනවා. දැන් ඒ හැමදේම වෙනස් වෙලා. දැන් මම විකුණන්නේ වෙළෙඳ‍පළේ සොයාගන්න බැරි පතපොත තමයි. Birth of Ceylon පොත මම විකුණන්නේ 15,000කට විතර. රු.50 ඉඳන් රු.50,000 විතර වෙනකම්පොත් මම අළෙවි කරනවා. ගණන් වැඩි පොත් ගොඩක්ම ගන්නේ විදේශිකයින් තමයි. මම රෙන්ටින් ක්‍රමයටත් පොත් දෙනවා. මාසයකට පොත් 10ක් විතර කියවලා ගෙනත් දෙන්න කියලා මට දෙනවා රු.500ක් විතර අරගෙන.

පොත්පත් කියවන්නේ බුද්ධිමත් මිනිස්සුනේ. ඒවාගේ අය ආශ්‍රය කරන්නට ලැබීම මට සතුටක්. කියවන්න කියවන්න දැනුම වැඩි වෙනවනේ. ඒ අතින් බැලුවහම අපි ව්‍යාපාරයක් වගේ ම සමාජ සේවයකුත් සිදු කරනවා. ඒත් දැන් ඉස්සර වගේ මිනිස්සු කියවන්නේ නෑ. ඉස්සර මේ කඩේ රෑ 9.30 විතර වෙනකම් ඇරලා තියනවා. දැන් මිනිස්සු ඒතරම්ම පොත්වලට ඇල්මක් දක්වන්නේ නෑ. ඒ හින්දා අපිටත් දැන් ව්‍යාපාරය සරු නැහැ.”

කැළණියේ පදිංචි වී සිටින හැත්තෑ හැවිරිදි පීටර් අප්පුහාමි තම ජීවිතයෙන් වැඩි කාලසීමාවක් ගත කර ඇත්තේ පොත්පත් සමඟ ය. ඔහු කොතරම් වයසින් පරිණත වුවද තවමත් ක්‍රියා කරන්නේ කඩවසම් තරුණයකු පරිද්දෙනි. පොතපත ඇසුරින් මිනිසුන්ට කොතරම් ආස්වාදයක් ගෙනදෙනවාද යන්න පිළිබඳව මට පසක් විය. ඔහුගේ පොත්හළෙහි History of Ceylon” Village folk Tales of Ceylon,The Sri Lankan Reader සහ The world around the old Testament යනාදී පැරණි පොත් දැක ගන්නට ලැබුණේ නව්‍යතම අත්දැකීමක් මා හද තුළ ජනිත කරමිනි. එම අත්දැකීමත් සමඟ මම තිස් හැවිරිදි පිටිදුව ගමගේ රජිත දිල්හාන්ගේ පොත්හළට පැමිණියෙමි.

“මට මෙම රැකියාව උරුම වුණේ පරම්පරාවෙන්මයි. ඉස්සෙල්ලම මගේ සීයා, ඉන්පස්සේ අපේ තාත්තා, තාත්තාගෙන් පස්සේ මට තමයි මෙම පොත්හළ අයිති වුණේ. මම හිතන්නේ අපේ සීයා මේක පටන් අරගෙන දැන් අවුරුදු 50ක් විතර වෙනවා.

අපි මෙ‍තෙන්ට පොත් අරන් එන්නේ පැරණි ගෙවල්වලින්. පොතක් පරණ වෙනකොට වාගේම සමහර හොඳ පොත් පළමු මුද්‍රණය පමණයිනේ ගහන්නේ. ඉන් පස්සේ ඒ පොත් හොයාගන්න බෑ. ඒවාගේ පොත් අපි ළඟ තියනවා. රොබට් නොක්ස්ගේ පොතක් තියනවා ලක්ෂ 7 ½ක් විතර වටිනවා. ඒ වාගේම බ්‍රෝහියර්ගේ අතීත ශ්‍රී ලංකාව පිළිබඳව ලියවුණු පොත් මිළ වටිනාකමින් ඉහළයි. ඒවා කොයිතරම් මිළ වැඩි උනත් මිනිස්සු මිලදී ගන්නවා.

Ceylon History පොත්වල එකතුවක් අපේ ළඟ තියනවා. මම හිතන්නේ මගේ ළඟ තමයි ලංකාවේ පැරණි පොතපත වැඩිපුරම තියෙන්නේ කියලයි. තවත් විශේෂත්වයක් තමයි පිටරටවල දක්නට ලැබෙන පොත් පතුත් මගේ ළඟ තියනවා.

අපේ කඩේට දැන් ජාත්‍යන්තරයත් පටලන් ගනුදෙනු කරනවා. පොත් 50,000ක් 30,000ක් පමණ වෙබ් සයිඩ් එකකට යොමු කරලා Second hand Books නමින් වෙබ් පිටුවක් නිර්මාණය කරලා තියනවා.” ඔහු පෞරාණික දෑ නූතන නවීනත්වය සමඟ එකට යා කරන්නේ වර්තමානයේ පවතින තරඟකාරී ව්‍යාපාරික ලෝකය ජය ගැනීමේ අභිලාෂයෙනි. තරුණ ව්‍යාපාරිකයෙකු වන ඔහු නව මංපෙත් සොයා යන්නේ පවතින වෙළෙඳපළ හමුවේ උරෙන් උර ගැටෙමිනි. ඩී.ආර්. විජේවර්ධන මාවතෙහි පිහිටා තිබෙන පැරණි පොත්හල් කිහිපයෙහි දක්නට ලැබෙන පොත්පත් කෙරෙහි විමර්ශනාක්ෂිය යොමු කළ මට වෛවර්ණ පැහැයෙන් සහ බටහිර සංස්කෘතින්ට අනුගතව පළවුණු දෙස් විදෙස් සඟරා කිහිපයක් දැකගත හැකි විය. ඒ අතර Move Mag, cine Alta, filmfare, outlook, sports Today, Living Essentials, Shoco off සහ wild life යනාදී දෑ කැපී පෙණුනි. ඉන් අනතුරුව කහතුඩුවෙහි පදිංචි පනස්පස් හැවිරිදි බී.ජේ.එෆ් ප්‍රියංකර මුණගැහුණේ ඔහුගේ පොත්හළ පිළිබඳවද තොරතුරු දැන ගැනීම සඳහා ය.

“මට මේ පොත්හළ හිමි වුණේ මගේ තාත්තාගෙන් මම හිතන්නේ දැන් අවුරුදු 50 ක් විතර වෙනවා මේක පටන් අරන්. මම නම් මීට අවුරුදු 30කට විතර ඉස්සර තමයි මේක පටන් ගත්තේ.

ගොඩාක්ම මගේ ළඟ තියෙන්නේ වෛද්‍ය වෘත්තිය සම්බන්ධ ජාත්‍යන්තර මට්ටමේ පතපොත තමයි. ගොඩාක්ම මෙතන්ට එන්නේ වෛද්‍ය විද්‍යාලයේ සිසුන්. මම රෙන්ටින් ක්‍රමයට කියවන්න පොත් ලබා දෙනවා. රුපියල් 500 අඩු පොත් වලට රු. 50කුත්, රුපියල් 500ට වැඩි පොත්වලට රු.100කුත් මම අය කරනවා. මාසයකට පොත් 10ක් විතර කියවන්න අවස්ථාව ලබා දෙනවා. ඒ පොත් 10ටම මම අය කරන්නේ රු. 500ක් වගේ සුළු මුදලක් තමයි.

1980 ගණන්වලදී නම් මම උදේ 7.30 ට ආවහම රෑ 9.30 විතර වෙනකම් ඉන්නවා. දැන් එහෙම නෑ. මිනිස්සු පොත්පත් එච්චර කියවන්නේ නෑ. සමහර දවස්වලට පොත් අළෙවිය සිදු වෙන්නෙම නෑ. සමහර දවස්වලට කස්ටමස්ලා 10 ත් 12 ක් විතර එනවා. ඒ අතරින් තම පොත්හළ පිළිබඳව විස්තර පැවසූ ප්‍රියංකර තම පොත් හළෙහි අති ඉපැරණි පොතපත මා හට පෙන්වූයේ පැරණි දෑවල පවතින ජීවය සදාකාලික බව කියා පෑමටය. උපන්දා සිට මිය යනතෙක්ම පුද්ගලයකුට උගත හැකි දෑ බොහෝමයකි. එහෙත් ඒ බව දන්නේ අතළොස්සක් පමණි. මිනිසුන්ට අවශ්‍ය බුද්ධිය, දැනුම ජීවිතයේ වැඩි කාලයක් ලබා දුන් පීටර් අප්පුහාමිලා, B.J.F. ප්‍රියංකරලා, රජිත දිල්ෂාන්ලා සහ මොහාන් චන්දනලා වැනි පැරණි පොත්හල් හිමිකරුවන් සතුව පවතින භෞතික සැප සම්පත් අල්පයි. ඒ බව මා හට නිමග්න වූයේ පීටර් අප්පුහාමි පැවසූ මේ වදනිනි.

අපි උගත් මිනිසුන්,බුද්ධිමත් මිනිසුන්ට අවශ්‍ය පොත්පත් ලබා දුන්නා. ඒ අපේ රස්සාව. ඒ රස්සාවෙන් අපි මහා මන්දිර හැදුවේ නෑ. ඒත් අපි ළමයින්ට උගන්නලා ඔවුන්ව සමාජයට යැව්වා.

අපිටත් තිබ්බා පොත් විකුණන එක නතර කරලා, ගංජා, කුඩු විකුණලා මහා සල්ලිකාර කෝටිපතියෝ වෙන්න. ඒත් එහෙම කරලා, ආත්මයෙන් වන්දි ගෙවන්න අපි අකමැතියි. ඒ පැවසුවේ ඔවුන්ගේ ආර්ථික මට්ටම පිළිබඳවය. බී.ජේ.එෆ්.ප්‍රියංකර පැවසූ මේ වදනින් මා හට වැටහුණේ මොවුන් පොත්හල් හිමිකරුවන් පමණක්ම නොව රටට දැයට උගතුන් බිහි කරන මානුෂිය ගුණයෙන් පිරි සහෘද ප්‍රජාවක් බව ය.

මිනිස්සු දැන් පොත්පත් කියවන්නේ නෑ. ඒ හින්දා උගතුන් බිහි වෙන්නේ නෑ. ඉස්සර බැංකු නිළධාරියෙකුට ගිණුම්, ලෙජර මොළයෙහි සටහන් වනවා. ඒත් දැන් තාක්ෂණය තියන හින්දා මනසින් හිතලා දෙයක් කරන්න මිනිස්සු පෙළඹෙන්නේ නෑ. සිංහල මිනිස්සු පොත් කියවන්නේ 20% ක් විතරයි. අනෙක් 80% වට මුස්ලිම්, දෙමළ මිනිස්සු තමයි පොත් කියවන්නේ. සිංහල ජාතියක් වශයෙන් අපි දැනටමත් නූගතුන් වෙලා ඉවරයි.

සැබවින්ම ඔහු පැවසුවේ ශ්‍රී ලාංකේය සිංහල ජාතියේ මතු පරපුරේ අනාගත ඉරණම නොවේ ද? මහා මන්දිර, සඳළුතලවලට වී සුඛෝපභෝගී ජීවිත ගත නොකරන මෙම පොත්හල් හිමියන් මිනිසුන්ව උගතුන් කරන්නේ තමන්ට ලැබෙන වාසි ප්‍රයෝජන පිළිබඳව නොසිතාය. මෙය නම් සැබෑම මනුෂ්‍යත්වයේ කූඨප්‍රාප්තිය නොවේද? එසේ නම් පැරණි බව, අලුත් බව නොසිතා ජීවිතය පරිපූර්ණ කර ගැනීමට පොත්පත් කියවන පාඨක පිරිසක් වීම අපගේයුතුකම නොවන්නේ ද?

 

නව අදහස දක්වන්න