දැදුරුඔයෙන් ආණමඩුවටත් ජලය දෙන්න ව්‍යාපෘතියක් | දිනමිණ

දැදුරුඔයෙන් ආණමඩුවටත් ජලය දෙන්න ව්‍යාපෘතියක්

ආණමඩුව ඒකාබද්ධ ජල සැපයුම් ව්‍යාපෘතිය ඇරඹීම සඳහා අදාළ ප්‍රජාමූල සංවිධාන සමඟ සාකච්ඡාවක් පසුගිය දා ආණමඩුව සුදම්පාය ශාලාවේ දී වයඹ පළාත් ජලසම්පාදන ජ්‍යෙෂ්ඨ සමාජ විද්‍යාඥ අනුලා කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. මෙහිදී ආණමඩුව, මහකුඹුක්කඩවල, කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන ලෙස දැදුරු ඔය යෝජනා ක්‍රමයෙන් ඉඟිනිමිටියට ලබා දෙන පානීය ජලය ඝන මීටර් 12500ක් මුදා හැරීම පිළිබඳව සාකච්ඡා කෙරුණි. එම ප්‍රජා මූල සඳහා ජල සම්පාදන මණ්ඩලයේ මැදිහත්වීමෙන් සෘජුව හෝ ප්‍රජා මූල සංවිධාන හරහා හෝ ජලය ලබා ගැනීමට හැකි බව ප්‍රජා මූල සංවිධානවලට ගැටලුවක් වුවත් මොනයම් ආකාරයකින් හෝ සිඳී ගොස් ඇති ජල මූලාශ්‍ර බහුතරයක් ඇති ආණමඩුවට මෙය මහගු අවස්ථාවක් බව දිස්ත්‍රික් ප්‍රජා මූල සංසදයේ ප්‍රධාන නිලධාරීහු ද පෙන්වා දුන්හ.

නමුත් මේ සියලු අවශ්‍යතාවන් ඉටු කර ගැනීමට ප්‍රමාණවත් ජලයක් කිලෝමීටර් 61ක් පුරා දසලක්ෂ 8859ක ස්පාඥ්ඥ රජයේ ප්‍රතිපාදන යටතේ බට එළන මාර්ගයේ ප්‍රජා මූල සංවිධානවල සාමාජික පවුල් වෙත ලබා දීමට හැකි වේ දැයි ප්‍රශ්න කිරීමද මෙහිදී සිදු විය.

ආණමඩුවෙන් පිටස්තරව ඇති කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ද ජලය ලබා දෙන මෙම ව්‍යාපෘතියට ගැටලුවක් නොවන්නේ දැයි ප්‍රශ්නයක් වූ අතර වසර 14 වැඩි කාල පරිච්ඡේදයක් ප්‍රජා මූල සංවිධාන ලෙස ස්වෙච්ඡාවෙන් සේවය කළ සංවිධානවලට සිදු වන්නේ කුමක්දැයි යන්නත් ප්‍රශ්නයක් විය. ප්‍රජා මූල සංසදය පෙන්වා දුන්නේ ලැබෙන ජලය තොග වශයෙන් හෝ ඒකීය වශයෙන් ජනතාවට බෙදා දීමේ දී ප්‍රජා මූල සංවිධානවල මැදිහත්වීමත් එම සංවිධානවල ක්‍රියාකාරීත්වයට හානියක් නොවන අඩපණ කිරීමක් නොකෙරෙන කටයුත්තක් විය යුතු බවයි. මෙම ආණමඩුව ඒකාබද්ධ ජල සැපයුම් ව්‍යාපෘතියක් ඉඟිනිමිටිය හරහා ලබා දෙන්නැයි දැනට වසර 5කට පෙර ජල සම්පාදන අමාත්‍යංශයෙන් ප්‍රසිද්ධ මහා සභා රැස්වීමකදී ඉල්ලා සිටියේ ද පුත්තලම් දිස්ත්‍රික් ප්‍රජා මූල සංසදය බව වර්ථමාන ව්‍යාපෘති නිලධාරීන්ට අමතක වී තිබුණත් සිදුවිය යුත්තේ මේ රටේ ජාතික ජල සම්පාදනයේ දී ක්‍රියාත්මක සංවිධානයක් ලෙස පෙරමුණේම සිටින දිස්ත්‍රික් ප්‍රජා මූල සංසදය අමත නොකරගෙන ඔවුන්වත් සම්බන්ධ කරගෙන මෙම ව්‍යාපෘතිය පුත්තලම් දිස්ත්‍රික්කයේ බහුතරයක් වූ ආණමඩුව ජනතාවගේ පානීය ජලය ලබාදීමට හැකි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම විය යුතු බව පැහැදිලි කරුණකි.

මෙම සම්මන්ත්‍රණය සඳහා ජලසම්පාදන මණ්ඩලය වයඹ පළාත් ග්‍රාමීය ජල ඉංජිනේරු ටී.එම්. සුමේදා තෙන්නකෝන්, මෙම ව්‍යාපෘතියේ ආණමඩුව අධ්‍යක්ෂිකා පද්මා ගුණවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අයි.එම්.ඩබ්.කේ. ඉලංගසිංහ මහත්මීන් ඇතුළු ජල සැපයුම් සම්බන්ධ කළමනාකාර ජී.ඩබ්. දේශප්‍රිය මහත් ඇතුළු නිලධාරී පිරිසක් ද එක් වූ අතර තම තමන්ගේ ප්‍රජා මූල සංවිධාන සමග සාකච්ඡා කොට මෙම ජලය ප්‍රජා මූල සංවිධානය තෙක් ලබා ගන්නා ආකාරය ලිඛිතව වයඹ කාර්යාලයට දන්වන ලෙස දැනුම් දුනි.

පුත්තලම දිසා විශේෂ
ලංසගේ සිරිවර්ධන

නව අදහස දක්වන්න