ට්‍රම්ප් ෂෝක්ද ? | දිනමිණ

ට්‍රම්ප් ෂෝක්ද ?

ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් යනු මෑත දශක කීප‍යේ ඇමෙරිකාවේ බිහිවූ දඩබ්බර හා මිනිස් සංහතියට විනාශයක් අත්කර දුන් ජනාධිපතිවරයාය. ඔහුගේ අත්තනෝමතික හා උද්දච්ච විදේශ ප්‍රතිපත්ති උඩ ඇෆ්ගනිස්ථානය හා ඉරාකය ආක්‍රමණය කිරීමේ අවසන් ප්‍රතිඵලය නම් වත්මන් මැදපෙරදිග ත්‍රස්තවාදයයි. ඔබාමා එම ව්‍යසනකාරී තත්වය තවදුරටත් ඉදිරියට ගෙනයාම නතර කළ පුද්ගලයා වූ මුත් තත්වය යළි කණපිට හරවන්නට බිහිවූ ඇමෙරිකානු නායකයා වන්නේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ය.

ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් කෙරෙහි වඩාත් ආසක්ත වූ ලංකාවේ සිංහල බෞද්ධ අන්තවාදී අදහස් දරන ප්‍රජාව සැලකියයුතු තරම් විශාල ප්‍රමාණයකි.

ඔවුන්ගෙන් වඩාත් උද්යෝගිමත් බහුතරය පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා වෙත සහය දුන් අය වෙත්. (සරදම්කාරී කාරණය වන්නේ ඇමෙරිකාවේ රිපබ්ලිකන් දක්ෂිණාංශික පක්ෂය සමග අතීතයේ සිට සම්බන්ධකම් පැවැත්වූ ලංකාවේ එක්සත් ජාතික පක්ෂය පවා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පිළිබඳව උද්යෝගයක් පළ නොකිරීමයි. ඇත්තෙන්ම එ.ජා.ප. යට ඔහු පිළිබඳව ඇත්තේ ප්‍රසාද ජනක දේශපාලන තක්සේරුවක් නොවේ.) ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ඇමෙරිකානු ජන්දදායකයන් විසින් මෑත ඉතිහාසයේදී දේශපාලනිකව ගනු ලැබූ පසුගාමීම තීන්දුවයි.

ලංකාවේ සන්දර්භය සැලකු විට, මේ පසුගාමී සන්තෝෂයට බලපෑ ප්‍රධාන හේතු දෙක වන්නේ දෙමළ දේශපාලන ඉල්ලීම් කෙරෙහි ඩොනල්ඩ් ට්‍රම්ප් උනන්දුවක් නොදක්වනු ඇතැයි යන අපේක්ෂාව (ඇමෙරිකානු සමාජයේ සිටින සුළුජන කොටස් මෙන්ම දෙමළ පිරිස් ඉතිහාසය පුරාම සම්බන්ධකම් පැවැත්වූයේ ඩිමොක්‍රටික් පක්ෂය සමග නිසා වියයුතු පරිද්දෙන්ම දෙමළ දේශපාලනික ඉල්ලීම් කෙරෙහි යම් පමණකට සංවේදී භාවයක් එම දේශපාලන පක්ෂය විසින් ප්‍රකාශ කරයි.) හා ඔහුගේ මුස්ලිම් විරෝධී ස්වභාවයයි. මෙම අන්තවාදී හා සදාචාර විරෝධී ලක්ෂණ සිංහල අන්තවාදී කොටස් වල ප්‍රීනනයට හේතුවුණි.

මීට‍ දශකයකට පමණ පෙරාතුව ගංගොඩවිල සෝම හිමිගේ අභාවය පදනම් කරගෙන ලංකාවේ මුලධර්මවාදී ක්‍රිස්තියානි කණ්ඩායම්වලට පහරදුන් පිරිස්ද නිසැකවම මෙසේ සන්තෝෂයට පත්වන පිරිස අතරට එක් වෙයි. ඊට‍ අමතරව විය යුතු පරිදිම බොදුබල සේනා වැනි කල්ලි ද එම පිරිස අතර සිටිනු ඇත. තවද දෙමළ දේශපාලනය සමඟ යම් පමණකින් හෝ බලය බෙදා ගැනීමේ ප්‍රතිසංස්කරණයකට එරෙහි පිරිසද ඔහු (ඩොනල්ඩ් ට්‍රම්ප්) සමග සිටගනු ඇත.

එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පෙන්නුම් කරනුයේ ක්‍රිස්තියානි මූලධර්මවාදී නැඹුරුවක් බව මේ බොහෝ දෙනා නොදන්නවා විය හැක.

ලංකාවේ සෑම බිම් අඟලක්ම මහජාතියේ පොල්මක්කාර අයිතියට යටත්ය යන මානසිකත්වයේ සිටින අපේ “දේශප්‍රේමීන්” කම්පා කරන තීරණයකට ඩොනල්ඩ් ට්‍රම්ප් එළඹ ඇති බැව් තවම නොදන්නවාට සැක නැත. එනම් ලෝකයේ කාලගුණික හා දේශගුණික තත්වයන්ට බරපතළ ප්‍රතිවිපාක අත්කර දෙන තීන්දුවකට ඔහු එළඹ ඇත්තේ ඔහුගේ එම ආගමික මූලධර්මවාදී (මුග්ධ) නැමියාව නිසාය.

ගෝලීය උණුසුම පාලනය කිරීමට‍, ධ්‍රැව ආසන්න සාගරයේ අයිස් පර්වත දියවීමට තුඩුදිය හැකි කාබනික වායු විමෝචනය වලක්වා ගැනීමට අදාළ ලෝක සම්මුතීන් (පැරිස් දේශගුණික සම්මුතිය ආදී...) වලින් ඉවත්වීමට ඔහු යෝජනා කොට ඇත්තේ කාලගුණික/දේශගුණික කාරණා දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව සිදු වන ඒවා නිසා (දේව කැමැත්තට පටහැනිව යා නොහැකි නිසා) ඒවාට අප (ඇමෙරිකානු රජය) ‍ මැදිහත් නොවිය යුතුය යන පදනමිනි.

මොහුගේ මෙවැනි මුග්ධ අදහස්වලින් ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳව සිහි කල්පනාවෙන් කටයුතු කරන උපදේශකයින් වෙත්නම් හා ඔවුන්ගේ පෙන්වාදීම මත ( හෝ ප්‍රගතිශීලී සමාජ සංවිධානවල බලපෑම මත) මෙවැනි යෝජනා ඉවත නොදමුවහොත් හැරෙන්නට ලෝකයාට ගෙවන්නට සිදුවන වන්දිය සුළුපටු නොවනු ඇත. බරපතළ කාරණය වන්නේ උක්ත කාලගුණික/දේශගුණික සම්මුතීන් ක්‍රියාත්මක කිරීම හා අදාළ පියවර ගැනීම යනු කිසිවිටෙක කල්දැමිය නොහැකි නිසාය.

මක්නිසාද ගෝලීය උණුසුම් වැඩි වී ධ්‍රැව ආසන්න අයිස් පර්වත දියවීම ආරම්භ වුවහොත් ඒවා යළි අයිස් බවට පරිවර්තනය කිරීම කළ නොහැක්කක් වීමට ඉඩ ඇති නිසාත්, එවිට කාලයාගේ අවෑමෙන් මුහුදු මට්ටම මීටර් ගණනකින් ඉහළ ගොස් පහත්බිම් යටවන නිසාය. අපේ “මාතෘ භූමියෙන්” අඩක් පමණ එලෙස මුහුදට යට වූ විට සිංහල දේශප්‍රේමී “ට්‍රම්පච්චිලා” හට කළ හැකි දෙයක් ඉතුරු නොවනු ඇත. එවිට අපේ ‘දේශප්‍රේමීන්’ කොටින්ගෙන් බේරා ගත් කෑල්ලට වැඩි ප්‍රමාණයක් “ට්‍රම්පච්චිට” පූජා කිරීමට සිදුවනු ඇත.

අනෙක් අතට ඔහුගේ සංක්‍රමණ සීමා කිරීමේ නව නීති තුළින් අපේ මධ්‍යම පාන්තික සමහරුන්ගේ ඇමෙරිකානු සිහිනයටද වැට බැඳෙන බව කල්පනා වීමට තව කාලයක් යනු ඇත. ලංකාවේ උග්‍ර ට්‍රම්ප්වාදීන් සිටින ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ රාජපක්ෂවරුන් මෙන්ම ඩලස් අලහප්පෙරුම වැනි එහි අනෙක් ප්‍රමුඛයින් ද අමෙරිකානු පුරවැසියන් වීම මෙම දේශප්‍රේමී ට්‍රම්ප්වාදීන්ගේ දෙබිඩි බව කියාපාන්නකි.

තාරක වරාපිටිය

අදහස් 1ක් ඇත

taraka

නව අදහස දක්වන්න