ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට සාර්ථකව මුහුණ දෙනවා | දිනමිණ

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට සාර්ථකව මුහුණ දෙනවා

 එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව සිටින සියලුම පක්ෂ සමඟ එක්ව ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංගයට සාර්ථකව මුහුණ දෙන බව රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසී ය.

ඒ මහතා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේ ය.

පාස්කු ඉරුදින ප්‍රහාරය ආණ්ඩුවක් ලෙස වළක්වාගන්න හැකියාව තිබුණා කියමින් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එනවා නම් ඒ සඳහා අයිතිය තිබෙනවා. එය ඒ අයගේ අයිතියක්. එහෙත් පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂය සමඟ සිටින සියලුම පක්ෂ අපි අද එකට සිටිනවා. ඒ නිසා අපට එයට මුහුණ දෙන්න පුළුවන්.

රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව සඳහා නිරෝෂන් පෙරේරා මහතා එකඟතාව පළ කරන බව ප්‍රකාශ කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු කණ්ඩායම විසින් තීරණය කළ යුතු යි. එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් සිටිනවා. පක්ෂයක් ලෙස අපි ඒ තීරණය ගන්න අවශ්‍යයි. පක්ෂයක් ලෙස අපි තවම ඒ ගැන සාකච්ඡා කළේ නැහැ. පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වීමෙන් පසු ඒ පිළිබඳව සාකච්ඡා කර එක මතයකට පැමිණිය යුතු යි. සාමුහික වගකීමක් අපි සියලුදෙනාටම තිබෙනවා. තරුණ මන්ත්‍රීවරු දැන් එසේ පැවසුවාට අවසානයේදී පක්ෂයේ තීරණයට අවනත වෙයි කියා මම විශ්වාස කරනවා.

පසුගිය කාලයේ කුරුණෑගල ප්‍රශ්න ඇති කළේ කවුද? ගිය පිරිස් සීසීටීවී කැමරාවල ඉන්නවා. කලබල ඇති කළේ කවුද? සම්පූර්ණයෙන්ම විපක්ෂයේ අයයි. ඒ අයට අවශ්‍ය වන්නේ බොරදියේ මාළු බාන්නයි. විපක්ෂයට මෙය ජාතිවාදී අරගලයකට පරිවර්තනය කිරීමට අවශ්‍ය බව ඉතාම පැහැදිලිව පෙනෙනවා. ශ්‍රී ලංකාව පුරාම ප්‍රශ්න ඇති කරන්නේ පොහොට්ටුවේ අය යි. කුරුණෑගල, මිනුවන්ගොඩ සිදුවීම්වල මේ අය ඉන්නවා. මොකද මේ අය තමයි 2014 දී බේරුවල සිදු වීම ඇති කළේ.

මෙවන් තත්ත්ව ඇති කර තියෙන්නේ ආණ්ඩුව යැයි කීමෙන් මොකක්ද තියෙන වාසිය? කිසිම වාසියක් නැහැ. මුස්ලිම් ජනතාව කියන්නේ එක්සත් ජාතික පක්ෂයට හිතවත් පිරිසක්. ඒ අයට පහර දෙනවා කියන්නේ ආණ්ඩුවට අවාසියක්. මෙම පහර දෙන පළාත් බැලූවිට මේ පහර දෙන්නේ එක්සත් ජාතික පක්ෂ බල කොටුවකට යි.

දිගනට , කොච්චිකඩේට , නැඟෙනහිර පළාතේ ද්‍රවිඩ පල්ලියකට ගැහුවා. ඒවා එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක්. මේවාට පහර දීමට උවමනාව තිබෙන්නේ කාටද? මෙලෙස පහර දෙන්න හදන්නේ කුමන හේතුව නිසා ද? එක්සත් ජාතික පක්ෂය කියන්නේ සියලු ජාතීන් ඉන්න පක්ෂයක්. මුස්ලිම්, ද්‍රවිඩ, ක්‍රිස්තියානි සියලු ජනකොටස් ඉන්න පක්ෂයක්. අපි උත්සාහ කරන්නේ ශ්‍රී ලාංකීක අනන්‍යතාවක් බිහිකරන්න යි. අපේ පක්ෂයේ නීතිය ගත්විට එය සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂාවලින් තිබෙනවා. ශ්‍රී ලංකාවේ තිබෙන කිසිදු දේශපාලන පක්ෂයක් එහෙම නැහැ.

අප්‍රේල් 21 පාස්කු දින ප්‍රහාරය පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාවත් කැබිනට් මණ්ඩලයවත් කලින් දැනුවත් වී තිබුණේ නැහැ. දින 52 ආණ්ඩුවෙන් පස්සේ එතුමාට ආරක්ෂක මණ්ඩලයට එන්න කිව්වේ නැහැ. ආරක්ෂක නියෝජ්‍ය රාජ්‍ය අමාත්‍යවරයාට, පොලිස්පතිට එන්න කිව්වේ නැහැ. අප්‍රේල් මාසයේ 04 වැනිදා ඉන්දියානු ඔත්තු සේවය මඟින් දැනුම් දී තිබුණා. රජයක් ලෙස අගමැතිවරයාවත් අපිවත් දැනගෙන හිටියේ නැහැ. මේ සිදුවීම සිදුවුණාට පසුවයි අපිත් මේ ගැන හොයලා බැලුවේ.

අද අපිට තිබෙන ලොකුම ප්‍රශ්නය වන්නේ මේ ත්‍රස්තවාදය පාලනය කිරීම නොවේ. පාලනය කරන්න පුළුවන්. මේ ප්‍රහාරයට සම්බන්ධ අයගෙන් 80 න් 79 ක්ම අත්අඩංගුවට අරන් තිබෙන්නේ. පිටරට අය අහනවා තොරතුරු දීලත් ක්‍රියාකළේ නැත්තන් මොකද කරන්නේ කියලා. ජාත්‍යන්තර විදිහට ප්‍රශ්නයක් තිබෙනවා. තොරතුරු ලැබුණාම ඒවා බෙදාගන්න අවශ්‍ය යි.

නමුත් මෙම ප්‍රහාරයෙන් පසුව යම්කිසි එකමුතුකමක් ඇති වී තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැතිතුමාට ආරක්ෂක මණ්ඩලයට එන්න කියනවා. රුවන් විජේවර්ධන මහතා පොලිස්පතිත් එනවා. කලින් එයට සහභාගී වුණේ විපක්ෂයේ මන්ත්‍රීවරු යි. නමුත් මේ ප්‍රහාරයෙන් පසුව ජනාධිපති අගමැති ඉතාම හොඳින් අත්වැල් බැඳගෙන යනවා. ආණ්ඩුවක් ලෙස එකමුතුකම අවශ්‍ය වෙනවා.

පසුගිය දිනක මගේ මාධ්‍ය ඒකකයේ කිහිපදෙනෙක්ව අත්අඩංගුවට ගත්තා. ලියුම් ලියන එක වරදක් නොවේ. ලියුමේ තිබෙන දේයි වැදගත් වෙන්නේ. ඒ ලියුම් එළියට දාන්න අවශ්‍ය යි. එය පොලීසිය එළියට දාන්න ඕන. මෙය කැලෑ පත්තරයක් නොවේ. ගවේෂණාත්මක ලිපියක්. ගවේෂණාත්මක ලිපි ආවොත් ඒවා පරිවර්තනය කර තැපැල් කරන්න කියා මාගේ මාධ්‍ය ඒකකයේ අයට නිදහස ලබා දී තිබෙනවා. නමුත් මේ ලියුම මම දැක්කේ නැහැ. 21 පසුව මම අමාත්‍යාංශයට ගියේ නැහැ. සිදුවීම වුණාට පසුව මම බැලුවා. සාපරාධී අපහාස නීතිය මේ රටේ නැහැ. මේ රටේ සිටින ඕනෑම කෙනෙක්ව විවේචනය කරන්න පුළුවන්. අනික මේ ලියුම තැපැල් කළේ පන්සලට. ජාතිවාදී කෝලහාල ඇති කරන්න පන්සලට තැපැල් කරන්න ඕනිද?

ජාතිවාදය අවුස්සන එක්තරා පොහොට්ටු මන්ත්‍රීවරයෙක් රූපවාහිනී සාකච්ඡාවකදී හමුදාවේ නවදෙනෙක් ඝාතනය වෙලා කිව්වා. ඒ මන්ත්‍රීවරයාට කිසිදු නඩුවක් නැහැ. ඒ ප්‍රකාශය ජාතිවාදය අවුස්සන්න කිව්වේ. ඔහුට විරුද්ධව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නැහැ. නීතිය කාටත් එක හා සමානව ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය යි. දේශපාලනයට යට වී ක්‍රියාත්මක වීම අප බලාපොරොත්තු වෙන්නේ නැහැ. යහපාලන ආණ්ඩුව විදිහට අප ස්වාධීන කොමිෂන් සභා ඇති කර , අධිකරණය , නීතිපති දෙපාර්තමේන්තුව , පොලීසිය අපි ස්වාධීන කළා.

මම පාර්ලිමේන්තුවේ අවුරුදු 30ක් අඛණ්ඩව සිටිනවා. මේ කාලය තුළ හමුදාපතිවරුන්ට , නාවික හමුදාපතිරුන්ට , ගුවන් හමුදාපතිවරුන්ට , පොලීසියට දහස්වතාවක් කතා කරලා ඇති. මොකද අපි මහජන නියෝජිතයෝ. ජනතාව ඇවිත් කිව්වොත් එවන් අවස්ථාවකදී අප දුරකථනයෙන් කතා කිරීම වැරැද්දක් නොවේ. 89 ජේවීපී කලබල කාලයේදී මාගේ මහනුවර නීතීඥ කාර්යාලය අසලට උදේට 500 ක් විතර එනවා. ඒ අය අහන්නේ අපේ දරුවෝ කොහෙද ඉන්නේ කියා අපට හොයලා දෙන්න කියලා යි. එතකොට අපි කතා කරනවා. කතා කරලා ඒ අය නිදහස් කරන්න කීවොත් එය වැරදි යි. සාමාන්‍ය ජනතාවට අහන්න බැරි දේ අහන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට හැකියාව තිබෙනවා.

නව අදහස දක්වන්න