ත්‍රස්තවාදයේ ප්‍රකම්පනය - BLANK | දිනමිණ

ත්‍රස්තවාදයේ ප්‍රකම්පනය - BLANK

ත්‍රස්තවාදය විසින් ගිලගත් ලොවක මිනිසුන්ගේ සිනාව වෙනුවට රජයන්නේ කඳුළ සහ සුසුමයි. ශ්‍රී ලාංකේය අපි ද එහි සහකම්පනය අත්විඳිමු. BLANK බ්ලෑන්ක් මැයි 3 වැනිදා සිට බොලිවුඩයේ තිරගත වන සිනමා පටය ප්‍රජාතන්ත්‍රවාදයට ඇති දැවැන්ත අභියෝගය වූ ත්‍රස්තවාදයේ වෙනස්ම පැතිකඩක් ලොවට විවර කරයි.

මරාගෙන මැරෙන බෝම්බකරුවකුවූ හනීෆ්ට පිටේ බෝම්බයක් බැඳගෙන සිටියදීම කම්පනයකින් මතකය අහිමි වෙයි. රටේ ආරක්ෂක අංශ මේ ගැන දැන ගන්නා අතර ඔවුන් උත්සාහ ගන්නේ අහිංසක ප්‍රජාව මේ බෝම්බකරුගෙන් ආරක්ෂා කර ගැනීමටය. එහෙත් බෝම්බකරු මිය ගියහොත් හෝ ඔහුගේ සිරුරින් බෝමබය ඉවත් කිරීමට උත්සාහ කළොත් සිදුවන්නේ බෝම්බය පිපිරී අවට වෙසෙන අහිංසකයන්ගේ ජීවිත අවදානමට ලක්වීමයි.

මේ සිනමා පටය සනි ඩියොල්ට මෙන්ම කරන් කපාඩියාට ද එකසේ වැදගත්ය. සනි ඩියොල් යනු ජාතික සම්මාන දෙකකින් සහ ෆිල්ම් ෆෙයාර් සම්මමාන දෙකකින් පිදුම් ලද නළුවකු වුවද ඔහුගේ රංගනයන් කතා බහට ලක්වී ඇත්තේ අඩුවෙනි. මොහල්ලා අස්සි සිනමා පටයෙන් වෙනස්ම චරිතයක් නිරූපණය කළ සනි, බ්ලෑන්ක් සිනමා පටයෙන් ප්‍රේක්ෂකයන් වෙත එන්නේ සුපුරුදු ක්‍රියාදාම චරිතයකිනි. එහෙත් මෙහි කතා තේමාවේ මෙන්ම ඔහු රඟන එස් එස් දේවන් ක්‍රියාදාම චරිතයේ ද වෙනසක් දැකිය හැකිය. හැට දෙහැවිරිදි සනිගේ විශිෂ්ට විශේෂ රංගනයක් ලෙස එස් එස් දේවන් චරිතය විචාරකයන් විසින් විග්‍රහකර තිබේ.

සිනමා පටයෙන් දොරට වඩින නවක නළුවා වන්නේ මරා ගෙන මැරෙන බෝම්බකරු හනිෆ් ගේ චරිතය නිරූපණය කරන කරන් කපාඩියාය. විසි පස් හැවිරිදි කරන් සිනමා පරපුරකට නෑකම් කියන්නෙකි. ඔහුගේ මව නිළි සිම්පල් කපාඩියා විශිෂ්ට නිළි ඩිම්පල් කපාඩියාගේ සොහොයුරියයි. කරන්ට සිටියේ මව පමණි. සිම්පල් 1994 දී රුඩාලි සිනමා පටයේ හොඳම වේශ නිරූපණයට හිමි ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවාය.

වයස අවුරුදු 15 දී මව පිළිකා රෝගයෙන් මිය යාමෙන් පසු කරන් හදා වඩා ගත්තේ ඩිම්පල් කපාඩියා හෙවත් ලොකු අම්මා විසිනි. කරන් දොරට වඩින්නේ ඩිම්පල්ගේ හිටපු පෙම්වතා වන සනි ඩියොල් ප්‍රධාන චරිතය රඟන සිනමා පටයකින් වීම ද දෛවෝපගතය. ඩිම්පල්ගේ දියණිය ට්වින්කල් ඛන්නා නිසා කරන්ට අක්ෂේ කුමාර් ද නෑ කමට සොහොයුරකු වන අතර ඔහු ද මෙහි “අලි අලි “ ගීයට ආරාධිත රංගනයක් ඉදිරිපත් කරයි. සිනමා පටයේ නිෂ්පාදකවරයකු වන ටෝනි ඩි සූසාට කරන්ව හඳුන්වා දී ඇත්තේ ද අක්ෂේ කුමාර් විසිනි. අක්ෂේ ඔහුගේ පරමාදර්ශී චරිතයයි. අක්ෂේගේ උපදෙස් පරිදි ඔහු සටන් කලාව ද ප්‍රගුණ කරන්නේය.

ඔහු හනිෆ් චරිතයට සූදානම් වීම සඳහා කි.ග්‍රෑ. 112 ක්වූ සිරුරේ බර කිග්‍රෑ 24 කින් අඩු කර ගෙන තිබේ.

මේ වසරේ නවක නළුවන් ගණනාවක්ම දොරට වඩින අතර සිනමා ක්ෂේත්‍රයේ වැඩි දෙනකුගේ මනාපය දිනා ගෙන සිටින්නේ කරන් කපාඩියාය. රූ ගත කිරීමකදී ඔහු දෙපැයක්ම වමතට මාංචු දමාගෙන රඟපා තිබේ. සාර්ථකව රූ ගත කිරීම් නිම වුවද මාංචුවල යතුර සොයා ගැනීමට නොහැකිවීම නිසා තවත් පැය දෙකක් මාංචු දමා ගෙන සිට ඇත. එහෙත් කරන් ඉවසීමෙන් යතුරු ලැබෙන තුරු සිටීම නිසා සිනමා කණ්ඩායමේ සැමගේම ප්‍රසංසාවට ලක්වී තිබේ.

BLANK බෙෂාඩ් ඛම්බතාගේ අධ්‍යක්ෂණයකි. මෙහි හුස්නා ලෙස ඉෂිතා දත්තා ද රෝහිත් ලෙස කරන්වීර් ෂර්මා ද රංගනයෙන් දායක වී ඇත. සිනමා පටයට ගීතමය ජවනිකා 5ක් ඇතුළත්ය.

BLANK බොලිවුඩ් සිනමා පටය තිරගත වන්නේ ද මැයි තුන් වැනි දිනය.

නව අදහස දක්වන්න