‘මිස් කෝල්’ එකකින් යාළුවී සතියක්ම එකට පවුල් කාලා | දිනමිණ

‘මිස් කෝල්’ එකකින් යාළුවී සතියක්ම එකට පවුල් කාලා

වැරදි දුරකථන අංකයකට ඇමතීමෙන් එකිනෙකා හඳුනාගත් වයස අවුරුදු 18 ක අගලවත්තේ තරුණියක් හා වයස 40 ක මාවනැල්ල පදිංචි පුද්ගලයකු අතර ඇති වූ පෙම් සබඳතාවයක් මත එම පුරුෂයා විසින් තරුණිය වෑන් රථයකින් රැගෙන යමින් සිටියදී තරුණියගේ පියාගේ ඉල්ලීම මත අගලවත්තේ දී පොලීසිය විසින් අල්ලාගෙන තිබේ.

මීට මාස දෙකකට පමණ ඉහත තරුණිය විසින් වැරදීමකින් තම දුරකථනයට ගත් ඇමතීමක් හේතුවෙන් දෙදෙනා හඳුනාගෙන ආදරවන්තයන් වූ බවත් පසුව දෙදෙනාගේ කැමැත්තෙන් තම ගමට ගොස් සතියක් පමණ එකට ජීවත් වූ බවත් අත්අඩංගුවට පත් පුද්ගලයා පොලීසියට පවසා තිබේ.

එකට ජීවත් වෙමින් සිටියදී තරුණියගේ දෙමාපියන්ගේ ඉල්ලීමට කොළඹට පැමිණි අවස්ථාවක තමන්ව ආමර්වීදිය පොලීසියට ගෙන ගොස් දෙමාපියන් විසින් තරුණියව රැගෙන ආ බවත් ඔහු වැඩි දුර පවසා ඇත.

තරුණිය දිගින් දිගට තමාට දුරකථනයෙන් ඇමතුම් ලබා දෙමින් ඇයව නැවත රැගෙන යන ලෙස කළ ඉල්ලීම් මත පසුගිය දිනක බියගම සිට වෑන් රථයකින් අගලවත්තට පැමිණ තරුණිය රැගෙන යාමට කටයුතු කළ බවද ඔහු පවසයි.

මෙම පුද්ගලයා විසින් තරුණිය වෑන් රථයකින් පැහැරගෙන යන බව පවසමින් ඇගේ පියා විසින් අගලවත්ත දාපිළිගොඩ ප්‍රදේශයේදී පවසා මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක් නවතා මග හරස් කර වෑන් රථය අල්ලාගෙන තිබේ.

පසුව අගලවත්ත පොලිස් ස්ථානයට භාර දී ඇත. එහිදී උ.පො.ප. එම්.ආර්.ටී.ආර්. මධුරංග මහතා ඉදිරීයේ දෙපාර්ශවය කැඳවා කරුණු විමසූ අතර වයස විවාහයට සම්පූර්ණව ඇති තරුණිය හා ඇගේ කැමැත්ත මත මෙම පුද්ගලයා සමග යාම හේතුවෙන් නීති විරෝධි කිසිවක් සිදුව නැති බව අවධාරණය කර ඇත.

පසුව තරුණිය දෙමාපියන්ට භාර දීමටත් සැකකාර පුද්ගලයා පොලිස් ඇප මත නිදහස් කිරීමටත් අගලවත්ත පොලීසිය කටයුතු කර තිබේ.

මෙසේ පොලිස් ඇප මත මුදාහැරුනේ මාවනැල්ල පදිංචි කොන්ත්‍රාත් ක්‍රමයට පෙදරේරු වෘත්තියේ යෙදෙන 40 හැවිරිදි පුද්ගලයෙකි.

අගලවත්ත සමූහ පී එම් පත්මසූරිය

නව අදහස දක්වන්න