ලේඛකයෙක්ට පාඨක ප්‍රතිචාර වැදගත් | දිනමිණ

ලේඛකයෙක්ට පාඨක ප්‍රතිචාර වැදගත්

බියට්‍රිස් විලියම්ස්

බියට්‍රිස් විලියම්ස් යනු, අලෙවි වාර්තා තැබූ ඓතිහාසික කෘති ගණනාවක් රචනා කළ, ප්‍රබන්ධ කතුවරියකි. ඇය විසින් රචිත"The Summer Wives " කෘතිය සහ තවත් තොරතුරු පිළිබඳ , goodreads.com වෙබ් අඩවිය කළ සාකච්ඡාවකි මේ.

 ඔබ කතුවරියක් වීමට බලපෑ කරුණු කාරණා පිළිබඳ මතකය අවදි කළොත්?

මම විලියම් ශේක්ස්පියර් ගේ නිර්මාණවලට දැඩි ලෙස ඇලුම් කළා. ඒ අතරින් ඔහු ලියූ ‘ද ටෙම්පෙස්ට්’ (The Tempest) නාට්‍ය නිර්මාණය රසවිඳීමෙන් පසුව, ලිවීමට කැමැත්තක් ඇති වුණා. කෙසේ වුණත් ඒ අවස්ථාව, මගේ ලේඛන කලාවේ ආරම්භය බවට පත් වුණා.

The Summer Wives කියන්නේ වැඩි ම විකුණුම් වාර්තා හිමි වුණ නිර්මාණයක්. ඒ ගැන විස්තර කරන්න පුළුවන්ද ?

ඒ කථාව ගෙතෙන්නෙ මිරැන්ඩා ස්කුලර් නම් වූ 18 හැවිරිදි ගැහැනු දරුවකු වටායි . මිරැන්ඩා, ඇය අරන් සදා ගත් දරුවකු බව වසර 18 දී දැන ගන්නවා. ඉන් පසුව මිරැන්ඩා, ඇයගේ සැබෑ මව සොයා යාම ආරම්භ කරනවා. ඇයගේ වැදු මව ඒ වනවිට ධීවර ගම්මානයක ජීවත්ව සිටියා. එය ඉතාමත් ම ග්‍රාමීය මට්ටමේ නගරයක්. ඇය පසුව ඇයගේ සැබෑ මව සමඟ ජීවත් වීමට තීරණය කළා. කෙසේ හෝ පසු කලෙක මිරැන්ඩා ඔවුන්ගේ නගරයේ සිටි ජෝසප් නම් තරුණයකු සමඟ සම්බන්ධයක් ඇති කර ගත්තා. මිරැන්ඩා ගේ ජීවිත කතාව මේ කෘතිය තුළ ඉදිරිපත් කිරීමට මා උත්සාහ කළා. ආදරය , වර්තමාන සමාජ තත්ත්වය මම මේ ඔස්සේ ඉදිරිපත් කිරීමට කටයුතු කළා. බැලූ බැල්මට මෙය සාමාන්‍ය කතාවක් ආකාරයට පෙනුණත්, මෙහි ගැඹුරු අර්ථයක් අඩංගු වෙලා තිබෙනවා. සරල කතාවක් මඟින් ඉදිරිපත් කර තිබෙන්නේ එම අර්ථය යි.

මේ කෘතිය ඔබ ප්‍රකාශයට පත් කළ කාලසීමාව තුළ, අනිවාර්යයෙන් ම කියැවිය යුතු පොතක් ලෙස නිර්දේශ වී තිබුණා?

ඔව්. නිව්යෝර්ක් ටයිම්ස් මඟින් තමයි ඒ නිර්දේශය නිකුත් කළේ. මං හිතන්නේ එයට හේතුවත් මං මීට පෙර සඳහන් කළ මෙහි අඩංගු ඒ ගැඹුරු අර්ථයයි. ඒක, සමාජයේ ජීවත් වන ඕනෑම අයකුට ඉතාමත් වැදගත් වන, කාලෝචිත අර්ථයක් ගැබ්වුණු කෘතියක් .

The Summer Wives කෘතිය ලිවීම සඳහා ඔබට අදහස ආවෙ කොහොමද ?

මගේ අනෙක් නිර්මාණ වගේම මෙය සඳහා පාදක වුණේ, සමාජය තුළ මට ග්‍රහණය වුණ අත්දැකීමක්. ඒ අත්දැකීම මම වින්දේ, මීට අවුරුදු කිහිපයකට පෙරදීයි. මම මගේ සහකරු සහ ඔහුගේ මාපියන් සමඟ නිවාඩුවක් ගත කිරීමට කුඩා දිවයිනකට ගිය මොහොතකයි . මගේ සහකරු සහ ඔහුගේ පවුලේ පිරිස නිතර මෙහි පැමිණ තිබුණා. ඒක ධීවර ගම්මානයක්.අපිට වඩා වෙනත් ගති පැවතුම් ඇති ජන කොට්ඨාසයක් එහි ජීවත් වුණා. ඔවුන් වසර පුරා ම එම දුපතේ ජීවත් වුණේ නැහැ . වසරේ අනෙක් කාල සීමාවල ඔවුන් දූපතෙන් පිට ජීවත් වුනා. එම උප සංස්කෘතිය මට අලුත් අත්දැකීමක් බවට පත් වුණා. කෙසේ හෝ පසුව මේ අත්දැකීම නිසා, The Summer Wives නිර්මාණය කිරීමට මම පෙලඹුණා.

වෘත්තියෙන් කතුවරියක් වීමට පෙර, ඔබේ පසුබිම විස්තර කළොත් ?

කතුවරියක් වීමට පෙර මම ‘වෝල් ස්ට්‍රීට්’ සමාගමේ සේවය කළා. එම කාලයේත් මම නිදහසක් ලැබෙන හැම මොහොතම පොත් සමඟ තමයි ගැවසුණේ. ඒ වගේම, මම ඒ කාලයේ කෙටිකථා කිහිපයක්ම ලියුවා. ඒත් මම ඒවා ප්‍රකාශයට පත් කළේ නැහැ. රැකියාව නිසා මට කියැවීම සහ ලිවීම සඳහා කාලය සොයා ගැනීමට ඉතාමත් අපහසු වුණා. බොහෝවිට මම ලිවීම, කියවීම කළේ දුම්රියේ ගමන් ගන්නා අතරේ. පසුකාලීනව මම මේ සමාගමෙන් ඉවත්ව නිදහසේ ටික කාලයක් ගත කළා. ඒ අතරතුර මං පොත් බොහෝ ප්‍රමාණයක් කියෙව්වා. එයින් බොහෝ ප්‍රමාණයක්, ශේක්ස්පියර්ගේ පොත්.

පොහොසත් පවුලක කෙනෙක් නිවාඩුවකට ධීවර ගම්මානයකට ඇවිත්, ඉන් පසුව එම ගම්මානය සහ ධීවරයන් වටා ගෙතෙන කතාවක් නිර්මාණය කරනවා. මෙය ඔබට අභියෝගයක් වුණේ කොහොමද?

මට මුලින්ම මේ අත්දැකීම ලැබුණ මොහොතේ, මේ මිනිසුන්ගේ ජීවිත ගැන දැන ගැනීමට දැඩි කුතුහලයක් ඇති වුණා. මට කිසි ම මොහොතක ධීවර ජනතාව ගැන ලියන්න අවශ්‍ය වුණේ නැහැ . මට අවශ්‍ය වුණේ එම සමාජයෙන් බිහිවුණ මගේ ම කතාවක් නිර්මාණය කිරීමටයි. කෙසේ හෝ අභියෝගය වුණේ, ඔවුන් හා සම්බන්ධ වීමයි. මම මුලින් කිහිප වතාවක් ම, ඔවුන් සමඟ සාකච්ඡා කර, ඔවුන්ගේ ජීවිතය, රැකියාව, පවුල් පසුබිම, සංස්කෘතිය ආදී කරුණු කාරණා පිළිබඳ තොරතුරු සෙවීමට උත්සාහ කළා. ඒත්, මාසයක් පමණ ගතවන තුරුත් මට ඔවුන් සමඟ සමීප වීමට අපහසු වුණා. කෙසේ හෝ පසුව මං හිතන්නේ ඔවුන් මගේ අවශ්‍යතාව තේරුම් ගත්තා. ඉන් පසුව එහි පවුල් කිහිපයක් සමඟම මට හොඳ සබඳතාවක් ඇති කර ගැනීමට හැකි වුණා. අදටත් මම ඔවුන් සමඟ කතා කරනවා. මාස කිහිපයට වතාවක් ඔවුන් බලන්න යනවා. ඒ සම්බන්ධතා මට අදටත් බෙහෙවින් වටිනවා.

ඔබගේ පවුලේ කටයුතු සහ පොත් ලිවීමේ කටයුතු සමඟ ඔබ බෙහෙවින් ම කාර්යබහුලයි. මේ සෑම දෙයකටම කාලය කළමනාකරණය කර ගන්නේ කොහොමද ?

මගේ සැමියත් මේ වනවිට Wall Street හි රැකියාවෙන් ඉවත් වෙලා, නිවෙසේ ඉඳන් ම උපදේශන සේවා ලබා දීම ආරම්භ කර තිබෙනවා. එයට ප්‍රධානම හේතුව, පවුලේ කටයුතුවලට සහය වීමයි. අපට කුඩා දරුවන් හතර දෙනෙක් සිටිනවා. ඔවුන් පාසලට රැගෙන යාම තමයි උදෑසන අපගේ ප්‍රධානම කාර්යය. ඉන් පසුව, ඔවුන් නිවෙසේ නැති කාලය තුළ මම සම්පුර්ණයෙන් ම ලිවීම සඳහා කාලය ගත කරනවා. මගේ සැමියා ඒ සඳහා මට සහය ලබා දෙනවා. මට එම නිසා සාර්ථක, සමබර පවුල් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. කාලය කළමනාකරණය කරගෙන මං ලිවීමේ කටයුතු කරන්නේ මේ ආකාරයටයි. දරුවන්ගේ වැඩ, කිසි විටෙකවත් මගේ අතින් මඟහැරෙන්නේ නෑ. ඔවුන් පාසල් ගිහින් නිවෙසට පැමිණි පසු, මගේ සම්පුර්ණ කාලය වැය වෙන්නේ ඔවුන් වෙනුවෙන්.‍

ඔබේ පාඨකයන්ගෙන් ඔබට ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?

ඔවුන්ගේ ප්‍රතිචාර නම් මට බොහෝ සෙයින් ම වැදගත්. මම නිතරම නැතත්, මගේ අලුත් නිර්මාණ ප්‍රකාශයට පත් වන කාල සීමා තුළ, මගේ පාඨකයන් සමඟ ෆේස් බුක් පේජය හරහා කෙළින් ම සම්බන්ධ වෙනවා. ඔවුන්ගේ අදහස් යෝජනා දැන ගැනීමට මට එය ඉවහල් වෙනවා . එමඟින්, ඔවුන්ගේ අවශ්‍යතා, කැමැත්ත තේරුම් අරගෙන, මම එය මගේ අනාගත නිර්මාණ සැලැසුම් කිරීමට යොදා ගන්නවා. ඔවුන්ගෙන් මට ඉතාමත් යහපත් ප්‍රතිචාර ලැබෙනවා.

ඔබ මේ දක්වා ප්‍රකාශයට පත් කර තිබෙන කෘති මොනවාද?

‘අ සර්ටන් ඒජ්’,ද වික්ඩ් සිටි, ඕවර්සීස්, ටයිනි ලිට්ල් තින්ග්, ද සීක්‍රට් ලයිෆ් ඔෆ් වයලට් ග්‍රාන්ට්, කොකෝ බීච් ඇතුළු කෘති 15ක් පමණ ලියා තිබෙනවා. මේ අතුරින් වඩාත් ම සාර්ථක සහ හොඳ ම පොත තමයි ‘ද සමර් විවුස්’ කෘතිය. මං මේ වනවිටත් මගේ නවතම කෘති දෙකක වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒවත් ඉතාමත් ඉක්මනින් පාඨකයන් අතරට පැමිණේවි.

යශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න