රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා සිද්ධිය - CID ය සියලු තොරතුරු හෙළිකර ගනියි - UPDATE | දිනමිණ

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා සිද්ධිය - CID ය සියලු තොරතුරු හෙළිකර ගනියි - UPDATE

ගාල්ල රත්ගම ප්‍රදේශයේදී පසුගිය ජනවාරි මස 23 වෙනිදා පැහැර ගෙන ගිය මංජුල අසේල කුමාර සහ රසීන් චින්තක නම් පුද්ගලයින් දෙදෙනා පහරදී ඝාතනය කොට පුළුස්සා දමා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශන වලදී කරුණු හෙළි කර ගෙන තිබේ.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් පෙබරවාරි මස 13 වනදා පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව සිදුකරන ලද විමර්ශනයේදී මෙම අපරාධය සම්බන්ධයෙන් සියලු කරුණු සතියක් ගත වීමට පෙර අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් විය.
 
අදාළ ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැර ගෙන ගිය බවට කියන දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙක් සහ උප පොලිස් පරීක්ෂකවරයෙක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
ඊයේ (21) දිනයේදී අත්අඩංගුවට ගනු ලැබූ උප පොලිස් පරීක්ෂකවරයා ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයින් දෙදෙනා රැගෙන ගොස් පහරදී මරා දමන ලද අක්මීමන, ගෝනාමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් අද (22) සමත් විය. 

අපරාධය කර ඇත්තේ අක්මීමන පාළු නිවෙසක: රත්ගම සිද්ධිය

රත්ගමදී පසුගිය දා අතුරුදන් වූ තරුණ ව්‍යාපාරිකයන් දෙදෙනා අක්මීමණ නිවෙසක දී අමානුෂික ලෙස වධ දී ඝාතනය කර මැදගංගොඩ රක්ෂිතයේ දමා පුලුස්සා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ හෙළි කර ගෙන තිබුණි.

ගාල්ල රත්ගම පදිංචි තරුණ ව්‍යාපාරිකයන් දෙදෙනා අක්මීමන ගොනාමුල්ල ප්‍රදේශයේ පාලු නිවෙසකදී ඝාතනය කර මළ සිරුර වලස්මුල්ල පල්ලෙකන්දට රැගෙන ගොස් රක්ෂිතයකදී ඩීසල් දමා ගිනි තබා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබේ.

මේ ස්ථානය ඊයේ පස්වරුවේ මහේස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණයට යොමු කෙරෙමින් පැවැති අතර, එම ස්ථානයේ ආරක්ෂාව තහවුරු කර තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

මේ ස්ථානය අදාළ ව්‍යාපාරිකයන් පැහැර ගෙන ගොස් ඝාතනය කළැයි කියන ස්ථානය ලෙස හඳුනාගෙන ඇති අතර, එම සිරුරු විනාශ කළ බවට කරුණු සැකකරුවන්ගේ ප්‍රකාශවලින් හෙළිදරවු වී තිබේ.

ඊයේ මේ අපරාධයට සම්බන්ධ යැයි සැක කෙරෙන දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ උප පොලිස් පරික්ෂකවරයකු ඊයේ උදේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණි. මේ උප පොලිස් පරීක්ෂකවරයාගෙන් ප්‍රශ්න කිරීමේදී ද මේ අපරාධය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත.

ඊට අමතරව එම ඝාතනයට පොලිසියේ නිලධාරීන් 07 දෙනෙක් සම්බන්ධ වී ඇතැයි ද අනාවරණය වී තිබේ. එම නිලධාරීන් අතර උප පොලිස් පරීක්ෂකවරයකුද සිටියි. සෙසු පොලිස් නිලධාරීන් සැරයන් සහ කොස්තාපල් තනතුරුවල අය බව සඳහන්ය. මෙසේ ද්විත්ව ඝාතනයන් සම්බන්ධයෙන් බොහෝ තොරතුරු හෙළිකර ඇත්තේ උප පොලිස් පොලිස් පරීක්ෂකවරයෙකි. මේ ද්විත්ව ඝාතනයට සම්බන්ධ පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් රෝහණ මේ ඝාතනයන්ට සම්බන්ධ යැයි දුරකතන විශ්ලේෂණ ඇතුළු අනෙකුත් මූලික සාක්ෂි විශ්ලේෂණයේ දී පෙනී ගියත් මේ වන විට අනාවරණය වෙමින් ඇත්තේ ඔහු එම ද්විත්ව ඝාතනයට සම්බන්ධකමක් නැති බව යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධරියෙක් සඳහන් කළේය. එහෙත් ඔහු සම්බන්ධයෙන් තව දුරටත් කරුණු විශ්ලේෂණය කරන බවත් අපරාධයක් වසන් කිරීමට ඔහු කටයුතු කළේ දැයි සොයා බලමින් සිටින බවත් ඔහු කීය.

ඝාතනය වූ ව්‍යපාරික තරුණයන් දෙදෙනා සතුව ගිනි අවියක් ඇතැයි පොලිස් පරීක්ෂක කපිල නිශාන්තට තොරතුරක් ලැබී ඇති බැවින් එම ගිනි අවිය සොයා ගැනීමට එම ව්‍යාපාරිකයන් දෙදෙනාව පසුගිය ජනවාරි 23 වැනිදා පෙරවරුවේදී පැහැර ගත් බව ප්‍රශ්න කිරීම් හමුවේ අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා සදහන් කර ඇතැයි ද පොලිස් තොරතුරු අනාවරණය කළේය. අක්මීමන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස මාස කිහිපයක් කපිල නිශාන්ත සේවයේ නිරතව සිට ඇති බැවින් ඔහු එම ප්‍රදේශය පිළිබඳ අවබෝධයකින් සිටි බැවින් අක්මීමන ගෝනමුල්ල ප්‍රදේශයේ කන්දක් මුදුනේ ඇති පාලු නිවෙසට අත්අඩංගුවට ගත් දෙදෙනා රැගෙන ගොස් ඇති බවත් එහි දී පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත දෙදෙනාටම පහර දෙමින් ගිනි අවිය ඉල්ලා ඇති බවත් සඳහන්ය. එහිදී රසීන් චින්තක නැමැති ව්‍යාපාරිකයා මියගොස් ඇති බවත් අනතුරුව එම මරණය වසන් කිරීමට මංජුල අසේලටද පහරදී ඝාතනය කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබේ. ඔවුන් එසේ ඝාතනය වී ඇත්තේ අත්අඩංගුවට ගෙන පැය දෙක තුනක් ඇතුළත බවද හෙළිවී තිබේ.

මේ අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පිට දකුණු ප්‍රදේශයට ගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමක් පසුගිය දින කිහිපය පුරාම විවිධ අංශ ඔස්සේ පරීක්ෂණ පවත්වමින් මේ අපරාධයේ සුළ මුල හෙළි කර ගැනීමට පරීක්ෂණ පැවැත්වූහ.

මේ පරීක්ෂණ පැවැත්වීම නිසා එම පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේවර්ධන මහතා පොලිස් මූලස්ථානයට මාරු කරනු ලැබිණි.

එහි මූලික පියවරක් වශයෙන් මේ අපරාධයේ ප්‍රධාන සැකකරු බව කියන දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත මහතා අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මේ තරුණ ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැර ගැනීමට ඔවුන්ගේ නිවෙස්වලට ගියේ යැයි කියන පිරිස ගමන් ගත් වෑන් රථයත් සොයා ගනු ලැබිණි. එම වෑන් රථය එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් ඉල්ලාගෙන තිබී ඇත්තේ පොලිස් පරීක්ෂක නිශාන්ත මහතා බව කියැවේ.

මේ තරුණ ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැර ගැනීමේ අවස්ථාවට 14 දෙනකු සහභාගි වී ඇති බවට තොරතුරු ලැබී තිබුණි. ඔවුන් ගමන් ගෙන තිබුණේ ඉහත වෑන් රථයෙන් සහ තවත් රතු පැහැති මෝටර් රථයකිනි. මේ වැන් රථයේ අංකය ව්‍යාජ එකක් බවට පසුව අනාවරණය විය. නිවෙසට පැමිණි පිරිස නිවැසියන්ට පවසා තිබුණේ මේ තරුණයන් දෙදෙනා පොලිසියට රැගෙන යන බවයි. එහෙත් ඔවුන් පොලිසියට ගෙන ගොස් නොතිබූ බව ඥාතීන්ට පසුව දැන ගැනීමට ලැබී තිබුණි.

බුස්ස රත්න උදාගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි මංජුල අසේල සහ 31 හැවිරිදි රංජන් චින්තක නම් ව්‍යාපාරිකයන් දෙදෙනා පසුගිය ජනවාරි 23 පෙරවරු10ට පමණ ඉහත වාහනවලින් පැමිණි පිරිස විසින් රැගෙන ගොස් තිබුණි. මෙසේ පැහැර ගැනීමට පැමිණි පිරිස අතර පොලිස් ඇදුමින් සැරසුන අයකු ද සිටි බව කියයි.

මේ පැහැර ගැනීම සම්බන්ධයෙන් එම ව්‍යාපාරිකයන්ගේ නිවැසියන්ට නිර්නාමික ලිපියක් පසුගිය 6 වැනිදා ලැබී තිබූ අතර, එහි සඳහන්ව තිබී ඇත්තේ මාතර ප්‍රදේශයේ පොලිසියක පිරිසක් විසින් මේ පැහැර ගැනීම සිදු කර පසුව මේ ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනයට ලක් කර ඇති බවයි.

තව ද මේ අතරුදන් වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පෙත්සමක් ලැබී තිබුණි. එහි සඳහන්ව තිබුණේ පොලිස් කණ්ඩායමක් මේ පැහැර ගැනීම සිදුකර පසුව ඝාතනයට ලක්කර ඇති බවයි.

මේ අතුරුදන්වීම සම්බන්ධයෙන් එවකට දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිසපති රවි විජේවර්ධන මහතාට දැන ගැනීමට ලැබීමෙන් පසු ඒ මහතා පොලිස් අධිකාරිවරයකු හරහා පරීක්ෂණයක් ද කර තිබුණි.

ඒ අතර මේ තරුණ ව්‍යාපාරිකයන් දෙදෙනා පාතාල කණ්ඩායම්වලට ආයුධ සපයන බවට බුද්ධි අංශ මගින් තොරතුරු ලැබී තිබුණි. මේ සම්බන්ධයෙන්ද පොලිසිය එම තොරතුරු සනාථ කර ගැනීමට පරීක්ෂණ සිදු වෙමින් පැවැති බව ද වාර්තා වෙයි.

අනතුරුව මේ සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඇතුළු විසි පහකට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණි.

ඊයේ පස්වරුවේ මහේස්ත්‍රාත්වරයා එම ස්ථානයට ගොස් පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කර තිබූ අතර, මේ දෙදෙනාගේ මළ සිරුරු සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවට කරුණු අනාවරණය වුවද එම සිදුවීමට අදාළ කරුණු තහවුරු කර ගැනීමට අපරාධ පරීක්ෂණ කණ්ඩායම ඉදිරි පරීක්ෂණ සිදුකරමින් පැවැති අතර, එම අපරාධයට සම්බන්ධ වූ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට සිටින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියා පැවැසීය.

තරුණයන් දෙදෙනා ඝාතනය කළ ස්ථානයට දැඩි ආරක්ෂාවක් සපයමින් අපරාධ ස්ථාන පරීක්ෂකයන්ගේත් ගාල්ල මහේස්ත්‍රාත්වරයාගේත් නිරීක්ෂණයට යොමුකළ බවත් මළ සිරුරු පිලිස්සූ ස්ථානය වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණයටත් ඊයේ (22) යොමුකර තිබිණි.

විජයානි එදිරිසිංහ, ගයාන් කුමාර විරසිංහ සහ අම්බලන්තොට සමූහ

නව අදහස දක්වන්න