විස්සයි – 20 තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වෙයි - UPDATE | දිනමිණ

විස්සයි – 20 තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වෙයි - UPDATE

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද (11) පැවති විස්සයි – 20 තරගය ලකුණූ 35 කින් ජයග්‍රහණය කිරිමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.
 
ලකුණු 180 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16 යි පන්දු 05 කදි සියළු දෙනා දැවි ලබා ගැනිමට සමත් වුයේ ලකුණූ 144 ක් පමණි.
 
තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංගගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 179  ක් ලබා ගැනීමට සමත් විය.
 
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත කඩුලු 03ක් සහ ලසිත් මාලිංග කඩුලු 02ක් බිඳ හෙළුවේය.
 
ශ්‍රී ලංකාව වෙනුවෙන් තිසර පෙරේරා ලකුණු 43 ක් ලබා ගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 30 සීමාව පසු කර යාමට හැකියාව ලැබුණේ නැත.නවසීලන්තය හමුවේ

ශ්‍රී ලංකා පිල බින්දුවටම වැටෙයි

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හමුවේ පූර්ණ තරගාවලිය පරාජයක් අත්විදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට අද සිදුවිය. ඒ නවසීලන්ත තරග සංචාරය නිමා කරමින් ඕක්ලන්ඩ් නුවරදී අද සහභාගිවූ එකම විස්සයි20 තරගයෙන්ද ලකුණු 35ක පරාජයට පත්වීම හේතුවෙනි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය ලබාදුන් ලකුණු 180ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිලට ඕවර 16.5කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 144ක් පමණි.

දෙරට අතර පැවැති තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0කින් පරාජයට පත්වු ශ්‍රී ලංකා පිල, දෙපිල අතර තරග 3කින් සමන්විත වූ එක්දින තරගාවලිය 3-0කින් පරාජයට පත්විය.

ඉනිම ගොඩනැගීමේ සටනක නිරතවූ තිසර පෙරේරා පන්දු 24කින් වේගවත් ලකුණු 43ක් රැස්කළද සෙසු පිතිකරුවන් අසාර්ථක වීමෙන් ශ්‍රී ලංකා පිලට පරාජය අත්විය. හතරේ පහර 2කින් සහ හයේ පහර 3කින් ඉනිම වර්ණවත් කරගත් තිසර පෙරේරා, කුසල් මෙන්ඩිස් සමග සිවුවැනි කඩුල්ලට ලකුණු 49ක් එක්කළේ ඉනිමේ ඉහළම සබඳතාව ලෙසිනි. මෙන්ඩිස් ලකුණු 17ක් රැස්කළේ පන්දු 19ක් වැය කරමිනි. පෙරේරා 5 වැනි කඩුල්ල ලෙස ලකුණු 118 දී දැවී ගිය අතර අවසන් කඩුලු 5 තුළ ශ්‍රී ලංකා පිලට ලබාගත හැකිවූයේ ලකුණු 26ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිම අරඹමින් නිරෝෂන් දික්වැල්ල සමග එක්වූ සධීර සමරවික්‍රම මුහුණදුන් පළමු පන්දුවෙන්ම පිටියෙන් ඉවත් කිරීමට ලොකී‍ ෆර්ගසන් සමත් විය. දික්වැල්ල පන්දු 10කදී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 18ක් රැස්කරමින් වේගවත් ආරම්භයක් ලබාදීමට උත්සහ කළද ඩග් බ්‍රේස්වෙල් එය නතර කළේය. කුසල් ජනිත් පෙරේරා පන්දු 12කදී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමගින් වේගවත් ලකුණු 23ක් ඉනිමට එක්කළ අතර ඔහු, දික්වැල්ල සමගින් දෙවැනි කඩුල්ලට ලකුණු 30ක් එක්කළේ පන්දු 16කිනි. පන්දු යැවීමේදී ලොකී ෆර්ගසන් සහ ඉෂ් සෝධි කඩුලු 3 බැගින් දවා ගත්හ.

ලකුණු 55කට කඩුලු 5ක් අහිමි කරගනිමින් මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක වුවත් මංගල තරගයට එක්වූ ස්කොට් කුග්ලෙයින් සමග තරගයේ වීරයාවූ ඩග් බ්‍රේස්වෙල් දියත් කළ වේගවත් පිති හරඹයන් හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 179ක් රැස් කළේය.

ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග සහ කසුන් රාජිතගේ දක්ෂ පන්දු යැවීම හමුවේ නවසීලන්ත මුල් කඩුලු 4 ලකුණු 27ක් තුළ බිඳ වැටිණි. මාටින් ගප්ටිල් (1) සහ හෙන්රි නිකොල්ස් මාලිංගට ගොදුරුවූ අතර පන්දු 7කින් ලකුණු 16ක් රැස්කරමින් වේගවත් ආරම්භයක් ලබාගැනීමට උත්සහ කළ කොලින් මුන්රෝ සහ ටිම් සෙයිෆර්ට් (4) රාජිතගේ පන්දු හමුවේ දැවී ගියහ. රොස් ටේලර් සහ මිචෙල් සැන්ට්නර් ලකුණු 28ක් 5 වැනි කඩුල්ලට එක්කළද සඳකැන්ගේ පන්දුවක් හමුවේ එම සබඳතාව බිඳ වැටුණේ සැන්ට්නර් (13) දැවී යෑමෙනි. අනතුරුව පිටියට පිවිසි ඩග් බ්‍රේස්වෙල්, ටේලර් සමග 6 වැනි කඩුල්ලට පන්දු 29කින් ලකුණු 47ක්ද, ස්කොට් කුග්ලෙයින් සමගින් 7 වැනි කඩුල්ලට පන්දු 16කින් වේගවත් ලකුණු 41කද සබඳතා ගොඩනැගීමට සමත් විය. පන්දු 37කින් ලකුණු 33ක් ටේලර් ලබාසිටි තිසර පෙරේරාගේ පන්දු හමුවේ නිරෝෂන් දික්වැල්ල උඩ පන්දුවක් රැක ගැනීමෙන් දැවී ගිය අතර රාජිතගේ තෙවැනි කඩුල්ල ලෙස බ්‍රේස්වෙල් දැවී යනවිට පන්දු 26කින් ලකුණු 44ක් ලබාසිටියේ හතරේ පහරක් සහ හයේ පහර 5ක් සමගිනි. අවසන් පන්දු 15දී නායක ටිම් සවුති සමගින් එක්වූ කුග්ලෙයින් ඉනිමට තවත් ලකුණු 36ක සබඳතාවක් එක් කළේ මුළු ලකුණු සංඛ්‍යාව 179 දක්වා ඉදිරියට ගෙන යමිනි. ඉනිම නිමාවනවිට කුග්ලෙයින් පන්දු 15කින් ලකුණු 35ක්ද, සවුති පන්දු 8කින් ලකුණු 13ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. කුග්ලෙයින්ගේ ඉනිම හතරේ පහරකින් සහ හයේ පහර 4කින් වර්ණවත් විය.

විසිඑක් හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර අද ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 ජාත්‍යන්තර තරග වරම් දිනා ගත්තේය. ඕවර 4ක් යැවූ ඔහුගෙන් නවසීලන්ත පිතිකරුවන් ලකුණු 24ක් ලබාගත්තේ කඩුලු ලබා නොදෙමිනි.

අද තරගයට ධනංජයද සිල්වා සහ සදීර සමරවික්‍රම එක්ව සිටියේ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් සහ ආබාධයකට ලක්වූ ධනුෂ්ක ගුණතිලකට වෙනුවටය.


නව අදහස දක්වන්න