කමිඳු ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි | දිනමිණ

කමිඳු ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

නිරෝෂාන් ප්‍රියංකර

අද ඉන්දියාව සමඟ ගැටුමේ

කමිඳු මෙන්ඩිස්ගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් ආසියානු කුසලාන නැඟී එන ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි තරගයෙන් ඇෆ්ගනිස්තානය පරදවා කඩුල්ලක ජයක් අත්කර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා පිල සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන නැඟී එන පිල ලකුණු 210කට සීමාකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු 13ක් ඉතිරිව තිබියදී ජය හිමිකර ගත්තේ කඩුලු 9ක් අහිමිකර ගනිමිනි.

මේ තරගාවලියේ පිට පිට දෙවැනි අර්ධ ශතකය රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිමේ ගැලවුම්කරුවා බවට පත්වූ කමිඳු මෙන්ඩිස් පන්දු 98කින් ලකුණු 71ක් රැස් කළේය. ඔහුගේ ඉනිම හතරේ පහර 8කින් වර්ණවත් විය.

ලකුණු 81කට කඩුලු 4ක් බිඳ වැටී තිබියදී නායක සම්මු අශාන් සමග එක්වූ පන්දු 97කදී ලකුණු 74ක සබඳතාවක් පිහිටුවීමට කමිඳු සමත් විය.

සම්මු පන්දු 45කදී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 34ක්, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 34ක් ඉනිමට එක්කළ අතර අසේල ගුණරත්න ලකුණු 32ක් රැස් කළේය.

පන්දු 99කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 68ක් රැස්කළ කරීම් ජානට් පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය.

ශහිදුල්ලා කාමල් ලකුණු 38ක් සහ රාමනුල්ලා ගුර්බාස් ලකුණු 26ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී කමිඳු මෙන්ඩිස් සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 3 බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකා සහ ඉන්දියාව අද (10) ආර්.ප්‍රේමදාස පිටියේදී තරග බිමට පිවිසෙයි. මේ තරගය ජයගන්නා කණ්ඩායම ‘ඒ’ කොටසේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පිවිසෙන අතර කෙසේ වෙතත් මේ වනවිට කණ්ඩායම් දෙකම අවසන් පූර්ව වටයට පිවිසීමට සමත්ව සිටී.

ඉන්දියාවද මුලික වටයේදී ඇෆ්ගනිස්තානය ලකුණු 74කින් සහ ඕමානය කඩුලු 6කින් පරාජයට පත් කළේය. අද ඕමානය සහ ඇෆ්ගනිස්තානය තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයට එක්වුවද ඉන් අවසන් පූර්ව වටයේ කණ්ඩායම් වලට බලපෑමක් සිදු නොවෙයි.

ඇෆ්ගනිස්තාන නැඟී එන පිල - 210 (ඕවර 47.5) කරීම් ජානට් 68, ශහිදුල්ලා කාමල් 38 (ලසිත් ඇඹුදෙණිය 35/3, කමිඳු මෙන්ඩිස් 46/3)

ශ්‍රී ලංකා නැඟී එන පිල - 211/9 (ඕවර 47.5) කමිඳු මෙන්ඩිස් 71, අවිශ්ක ප්‍රනාන්දු 34, සම්මු අශාන් 34 (සියාවුර් රෙහෙමාන් 33/3, කරීම් ජානට් 31/2)

නව අදහස දක්වන්න