ගලගෙදර-වල්පොලතැන්න ගිනිපෙට්ටි කම්හල කැලෑවට ම සින්න වෙල‍ා | දිනමිණ

ගලගෙදර-වල්පොලතැන්න ගිනිපෙට්ටි කම්හල කැලෑවට ම සින්න වෙල‍ා

 ගලගෙදර මැතිවරණ බල ප්‍රදේශයේ වල්පොලතැන්න ග්‍රාමසේවා වසමේ පිහිටි උඩරට වතු සංවර්ධන මණ්ඩලයට අයත් ගිනිපෙට්ටි කම්හල හා එයට අයත් අක්කර දෙක හමාරක පමණ භුමිය හා රුපියල් කෝටි ගණනක් වටිනා ගොඩනැඟිලි අදවන විට සම්පුර්ණයෙන්ම අබලන් තත්ත්වයට පත්ව ඇත්තේ වගකිව යුතු අංශ නිසි අවධානය යොමු නොකිරිමේ ප්‍රතිපලයක් ලෙසය .2002 වසරේ මාර්තු මාසයේ වැසීගිය මේ ගිනිපෙට්ටි කම්හලේ එවකට සේවකයන් දෙසීයකට වැඩි පිරිසක් රැකියාව කර තිබේ. එදා සිට අද දක්වාම අනියම් පදනම යටතේ මුරකරු වශයෙන් සේවය කරන ඒ. එස් රවුප් මහතා පවසන ආකාරයට වසර පහළොවක තම සේවය වෙනුවෙන් වැටුප ගෙවා ඇත්තේ වසර දෙකක් සදහා

පමණි . ග්‍රාම නිලධාරිවරයා ගලගෙදර පොලිසිය හා ගලගෙදර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව තමාට මේ වගකිම පැවරූ බව පවස රවුප් මහතා එදා සිට අද දක්වා වසර පහළොවකට වැඩි කාලයක් මේ ස්ථානයේ සුරක්ෂිතතාව වෙනුවෙන් තම උපරිම කැපවිම සිදුකර ඇතත් අක්කර දෙක හමාරක භූමිය හා රුපියල් කෝටි ගණනක් වටිනා ගොඩනැඟිලි කිසිදු කාර්යක් සදහා යොදා ගැනිමට පියවර ගෙන ඇති වගක් දක්නට නැති බව පවසයි .අදවන විට සියලු ගොඩනැගිලි විනාශ වීමට හැරදමා තිබෙන ආකාරයක් දැකගන්නට ලැබෙන අතර ගණ කැලෑවට මෙහි ගොඩනැඟිලි බිලි වෙමින් පවතින ආකාරයක්ද දැකිය හැකිය .

මේ තත්ත්වය පිළිබද උඩරට වතු සංවර්ධන අධිකාරිය වරින් වර දැනුවත් කර තිබුණද මේ වටිනා දේපොල හා සෙසු සම්පත් ආරක්ෂා කරදිම සදහා එම ආයතනය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා පසුබිම තුළ ජාතිය සතු මෙවන් වටිනා සම්පත් නිකරුනේ විනාශ වීම හැරුණු විට වෙනත් යහපතක් සිදු නොවන බව ගම්වාසීහු පවසති . කවර වගකිවයුත්තකු හෝ මේ අවාසනාවන්ත තත්ත්වය දෙස අවධානය යොමුකර නිකරුනේ විනාශ වීමට හැරදමා තිබෙන මිලකළ නොහැකි සම්පත් කිසියම් ඵලදායි කටයුත්තකට යොමු කරන්නේ නම් ඉන් ප්‍රදේශයට මෙන්ම රටටද විශාල වාසියක් අත්කර ගැනිමට හැකිවන බව ප්‍රදේශවාසීහු කියා සිටිති .අදටත් වසර දහයක් තිස්සේ කිසිදු වැටුපක් නොලබා මුරකරු ලෙස මේ ආයතනය හා සම්පත් ආරක්ෂා කිරීම සදහා කටයුතු කරන රවුප් මහතා අද වන විට හැත්තෑවෙනි වියට ළගාවෙමින් සිටින නිසා මේ පුද්ගලයා ගැනද වගකිවයුතු නිලධාරින් අවධානය යොමුකර ඔහුට කිසියම් සාධාරණයක් ඉටු කිරිමද අතිශයින්ම වැදගත් වන බව සදහන් කළ යුතුමය

මේ ස්ථානය සම්බන්ධව ගලගෙදර ප්‍රාදේශීය ලේකම් එස් .එම්.සී.ගුණරත්න මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පවසා සිටියේ මේ ආයතනය සම්බන්දව ගලගෙදර ප්‍රාදේශීය සම්බන්ධිකරන රැස්විමේදී දිගින් දිගටටම සාකච්ඡා කර තිබෙන බවය .

සටහන සහ ඡායාරූප
මහනුවර දිසා සමුහ කේ. චන්ද්‍රරත්න

නව අදහස දක්වන්න