ශ්‍රී ලංකාවට නව හවුල් ව්‍යාපාර වාසි රැසක් | දිනමිණ

ශ්‍රී ලංකාවට නව හවුල් ව්‍යාපාර වාසි රැසක්

සංවර්ධන උපාය මාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා අපනයන සංවර්ධන මණ්ඩලය එක්ව නියෝජනය වන පරිදි පසුගිය සතියේ ජර්මනිය බලා ගිය අප දූත පිරිසට, එහි ජර්මානු ව්‍යාපාර සමූහය සමඟ අති සාර්ථක ආයෝජන සහ අපනයන ප්‍රවර්ධන හමුවීම් ගණනාවක් පැවැත්වීමට හැකි වූ බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.

දින තුනක් තුළ නගර තුනක පැවැති මේ ප්‍රවර්ධන හමුවලදී ඇමැති මලික් සමරවික්‍රම මහතා විසින් නායකත්වය දරනු ලැබූ අප දූත මණ්ඩලය එරට ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රවර්ධන මෙහෙයුම්කරුවන්, උපාංග නිෂ්පාදනයෙහි ඉහළ නිපැයුම්කරුවන් හා සැකසූ නිෂ්පාදන ආනයනකරුවන් යනාදීන්ගෙන් සමන්විත වූ ජර්මන් වෙළෙඳ ප්‍රජාව හමුවේ ශ්‍රී ලංකා වෙළෙඳ හා ආයෝජන භූමිය තුළ ඔවුනගේ ආයෝජනවලට උපරිම පහසුකම් සැපයීමට අපට ඇති හැකියාව සහ උනන්දුව ප්‍රදර්ශනය කරමින් දීර්ඝ වශයෙන් කරුණු දැක්වීය.

තව ද ඇඟලුම්, දේපළ සංවර්ධන සහ මෝටර් රථ කර්මාන්ත යන අංශවල නියුතු පුද්ගලික ක්ෂේත්‍රයේ කණ්ඩායමක් ද මේ දූත මණ්ඩලයට එක්ව සිටියහ. මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා තාක්ෂණික අංකුර ව්‍යාපාරික කණ්ඩායමක් ද මේ දූත මණ්ඩලය හා එක්ව සිටීම සුවිශේෂ සිද්ධියක් විය. ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතා ද මේ රැස්වීම්වලට සහභාගි විය.

ජර්මනියේ ෆෑන්පර්ට්, හැම්බර්ග් සහ බර්ලින් යන ප්‍රධාන නගරවල පැවැති මේ ආයෝජන හමුවල දී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනි ඉන්දිරා මල්වත්ත යන අය හා එක්වෙමින් පැමිණි සිටි ජර්මානු ආයෝජකයන් ඇමතු ඇමැති මලික් සමරවික්‍රම, ‘ශ්‍රී ලංකාවේ පවතින හිතකාමී ආයෝජන පරිසරය හා අප රජය විසින් ලබාදෙන අකර්ෂණීය ආයෝජන දිරිගැන්වීම් පිළිබඳ ඔවුන් දැනුවත් කළහ.

මෙහි දී සහභාගිවූවන් ඇමතූ ඇමැති සමරවික්‍රම ‘ඉන්දියාව, දකුණු ආසියාව හා නැ‍ඟෙනහිර ආසියාව මෙන්ම අප්‍රිකාව හා මැදපෙරදිග යන සෑම රටකටම පිවිසිය හැකි පරිද්දෙන් ඇති ශ්‍රී ලංකාවේ සුවිශේෂ භූගෝලීය පිහිටීම නිසා ඇතිවී තිබෙන උපායමාර්ගික පහසුකම් භුක්ති විඳීමට ජර්මානු සමාගම්වලට හැකිවන බව’ ඔවුනගේ අවධානයට යොමු කළේය.

‘අපගේ නව ආයෝජන ප්‍රතිසංස්කරණ තුළින් ප්‍රසන්න හා ප්‍රිය උපදවන අයුරින් ඔබගේ ව්‍යාපාර මිත්‍රශීලීව අප දේශයෙහි පවත්වාගෙන යාමට අවශ්‍ය සෑම සහයෝගයක්ම දෙමින් සැමවිටම ඔබ සමඟ සිටිනවා.’ යැයි ද පැවැසූ ඇමැතිවරයා ශ්‍රී ලංකාව නිදහස් වෙළෙඳ ගිවිසුම් තුළින් දැනටමත් ඉන්දියාව, පාකිස්ථානය සහ යුරෝපා රටවලට ලැබෙන වරණීය බදු සහන ඉක්මනින්ම තායිලන්තය සහ චීනය යන රටවල් දක්වා දීර්ඝ කෙරෙන බවත් එම වාසිය ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ජර්මන් සමාගම්වලට ද වාසිදායක වන බව වැඩි දුරටත් පැවැසීය.

මෙහි දී පැවැති ආයෝජන හමුවට අමතරව ආයෝජනයට උනන්දුවක් දක්වන ජර්මානු ආයෝජකයන් හට ශ්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා හා ව්‍යාපාරික පරිසරය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාදෙනු වස් එක් එක් ව්‍යාපාරිකයන් අතර හමුවීම් ගණනාවක් පැවැත්වීමට ද අප දුත මණ්ඩලය සමත් වුණි. ජර්මන් සහ යුරෝපා ප්‍රකට සන්නාමයන් හිමි ‘BBraun, Hellmann logistic, TUV Rheinland, Siemens, Fresenius, TUI Group, SAP, Heidelberg Cement, Melchers Group, Linde Group, DER Touristik, Allianz යනාදී සමාගම් සහ ජර්මානු තේ කවුන්සිලය ද මේ අතර විය. ‘ජර්මන් සමාගම් සතු විශිෂ්ට කර්මාන්ත නැඹුරුව මුළු ලෝකයම පිළිගෙන ‍තිබෙනවා. ඒවා අනර්ඝත්වය, සුරක්ෂිතභාවය සහ තාක්ෂණයෙන් සමන්විත වෙනවා. එම සමාගම් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමත් ඒවා අපගේ සමාගම් හා හවුල්කාරයන් කර ගැනීමටත් අපට අවශ්‍යව තිබෙනවා පමණක් නොව ඒවා අපගේ ආර්ථිකය ඔසවා තැබීමට ද රුකුලක් වනවා යැයි’ ද මෙහි දී ඇමැතිවරයා වැඩි දුරටත් පැවැසීය.

තව දුරටත් ශ්‍රී ලංකා සමාගම්වලට ජර්මන් වෙළෙඳ පොළට ඇතුළුවීමට අවශ්‍ය සොය දක්වනු වස් ජර්මන් ආයෝජන සහ වෙළෙඳ සංසදය සමඟ ද රැස්වීමක් පැවැත් වුණු අතර, එය ශ්‍රී ලංකා නිෂ්පාදන ජර්මානු සහ යුරෝපා වෙළෙඳ පොළට ඇතුළු කර ගැනීමට දරන ප්‍රබල වෑයමක් ලෙස හැඳින්විය හැක. තව ද මෙහි දී ජර්මානු සෘජු ආයෝජන ශ්‍රී ලංකාවට ලබා ගැනීමට අවශ්‍ය මූල්‍ය ආධාර ලබා ගැනීමට ජර්මානු සංවර්ධන බැංකුව සමඟ ද සාකච්ඡා පැවැත්වුණි.

අප දුත මණ්ඩලයට හැම්බර්ග් නගරයේ දී එහි ආර්ථික, ප්‍රවාහන සහ නගරයේ නවොත්පාදන කටයුතු පිළිබඳ ඇමැති සෙනෙට් සභික ප්‍රෑන්ක් හෝර්ච් මහතා ද හමු වී සාකච්ඡා පැවැත්වීමට ද අවස්ථාව උදා වූ අතර, මෙමගින් වැඩි දුරටත් හැම්බර්ග් හා කොළඹ නගරය අතර ජාත්‍යන්තර ප්‍රවර්ධනකරුවන් හා හවුල් ව්‍යාපාර සඳහා අවැසි ඉඩකඩ සොයා බැලීමට ද අප දුත පිරිස උනන්දුවක් දැක්වීය.

මේ ශ්‍රී ලංකා ජර්මන් ආයෝජන හා වෙළෙඳ ප්‍රවර්ධන හමුව සංවිධාන කිරීමේ ප්‍රමුඛ භූමිකාව ඉටු කරනු ලැබුවේ බර්ලිනයේ පිහිටුවා තිබෙන ජර්මන් වෙළෙඳ හා කර්මාන්ත මහා සංගම් ශාඛාවයි. මෙහි නගර තුනක දින තුනක් පුරා පැවැති මේ ප්‍රවර්ධන හමුවේ දී විශේෂයෙන්ම ජර්මන් පුද්ගලික ක්ෂේත්‍රයේ ආයෝජකයන් දැක් වූ උනන්දුව අනාගත ශ්‍රී ලංකාව කෙරෙහි ඔවුන්ගේ අපේක්ෂාව පිළිබිඹු කරන්නක් බව දුත මණ්ඩලයේ අදහසයි.

නව අදහස දක්වන්න