අදත් වැසි - නායයාමේ අවධානම තවදුරටත් | දිනමිණ

අදත් වැසි - නායයාමේ අවධානම තවදුරටත්

අසංක බණ්ඩාර

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

ඒ අනුව බදුල්ල, නුවරඑළිය, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල සහ හම්බන්තොට යන දිස්ත්‍රීක්ක වෙත පනවා ඇති අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළදී ද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් සියය ඉක්මවූ වැසි ලැබීය හැකි බවයි.

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යාදෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට සවස 2.00න් පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මැඩර්න් - ජුලියන් දෝලන වල බලපෑම හේතුවෙන් ඉදිරිදින කිහිපය තුල දිවයින පුරාතද වැසි (මි. මි. 100 ට වැඩි )අපේක්ෂා කල හැක.  

එමෙන්ම ගාල්ල සිට හම්බන්තොට, මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති බව ද කාළගුණ විද්‍යාදෙපාර්තමේන්තුව පවසයි.

අනෙකුත් මුහුදු ප්‍රදේශ වල සවස 2.00 න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සුළං ඊසාන දෙසින්හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

 

නව අදහස දක්වන්න