සාමාන්‍ය පෙළට යන සිසුන්ට උපදෙස් මාලාවක් | දිනමිණ

සාමාන්‍ය පෙළට යන සිසුන්ට උපදෙස් මාලාවක්

හෙට (06) දින ආරම්භ වීමට නියමිත අ.පො.ස (සා/පෙළ) නව/ පැරණි විභාගය දිනපතා පෙ.ව. 8.30ට ආරම්භ වන අතර පෙ.ව. 8.00ට සියලුම අයදුම්කරුවන් විභාග මධ්‍යස්ථානවලට අනිවාර්යෙන් පැමිණිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්. ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

එසේ පැමිණෙන විට විභාග ප්‍රවේශ පත්‍රය, ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන්බලපත්‍රය රැගෙන ඒම අනිවාර්ය වේ. විභාගයට පැමිණීමට පෙර කල්වේලා ඇතිව ප්‍රවේශ පත්‍රය හොඳින් පරීක්ෂා කර යුතු අතර තමා ඉල්ලුම් කරන විෂයයන්, මාධ්‍යය සහ අත්සන සහතික කිරීම, විෂය නිර්දේශ නව/පැරණි යන වග ආදී වැදගත් කරුණු පිළිබඳ හොඳින් පරීක්ෂා කළ යුතු බව ද කොමසාරිස් ජනරාල්වරයා අයදුම්කරුවන් වෙත දන්වා සිටි.

විභාග අපේක්ෂකයන් විභාග ශාලව තුළට ජංගම දූරකතන ළඟ තබා ගැනීම, සටහන් ළඟ තබා ගැනීම, පිළිතුරු ලබාදීම සඳහා උපකාර ලබාගැනීම, උපකාර ලබා දීම සහ පිළිතුරු කොපි කිරීම සපුරා තහනම් වන අතර එවැන්නක් සිදු වුවහොත් විභාග ප්‍රතිඵලය අවලංගු කිරීම සහ ඉදිරි විභාග සඳහා පෙනී සිටීම තහනම් කිරීම සිදු වන බව ද කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරයි.

විභාග ශාලව තුළ ඉහත සඳහන් කොට ඇති විභාග වංචාවක් සිදු වන්නේ නම් ඒ බව අපේක්ෂකයින් හට විභාග දෙපාර්තමේන්තුව වෙත එදින ම පැය 24 පුරා ක්‍රියාත්මක පහත දූරකථන අංකවලට දැනුම් දිය හැකිය.

විභාග දෙපාර්තමේන්තු ක්ෂණික ඇමතුම් අංකය 1911

පාසල් විභාග සංවිධාන ශාඛාව 0112784208/0112784537/ 0113188350/0113140314

පොලිස් මූලස්ථානය 0112421111

පොලිස්  හදිසි ඇමතුම් අංකය 119

සෑම පැමිණිල්ලක් පිළිබඳව ම සොයා බැලීම සඳහා විමර්ශන කණ්ඩායම් සූදානමින් සිටින අතර විභාග දෙපාර්තමේන්තුව මඟින් පළාත් සහ කලාප මට්ටමින් විභාග ශාලා සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන අධීක්ෂණය සඳහා අධීක්ෂණ කණ්ඩායම් දැනටමත් සූදානම් කොට ඇත.

යම් අපේක්ෂකයකු වෙනුවෙන් වංචනිකව වෙනත් අයෙකු පෙනී සිටින්නේ නම් විභාග ශාලාව තුළදීම පොලිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

නව අදහස දක්වන්න