ජනපතිතුමාත්-අගමැතිතුමාත් මේ මොහොතේ කළ යුත්තේ ජනවාරි 8 ජනවරමට අනුව යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමයි | දිනමිණ

ජනපතිතුමාත්-අගමැතිතුමාත් මේ මොහොතේ කළ යුත්තේ ජනවාරි 8 ජනවරමට අනුව යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමයි

ජයසිරි මුණසිංහ

වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා

ජනපති - අගමැති දෙදෙනා මේ මොහොතේ සිදු කළ යුත්තේ 2015 ජනවාරි 08 ජනවරමට ගරු කරමින් තවදුරටත් යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම යැයි වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා මහතා ප්‍රකාශ කෙළේය.

රට තුළ උද්ගත වී ඇති වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ ඊයේ (18) දහවල් කොළඹ 10, ඩීන්ස් පාරේ සාමය හා සාමයික කේන්ද්‍රයේ පැවැති විශේෂ මාධ්‍ය හුමවට එක්වෙමින් චමීර පෙරේරා මහතා එසේ කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු මෙසේද සඳහන් කෙළේය.

මෙවර පුංචි ඡන්ද ප්‍රතිඵලයෙන් ආණ්ඩුවට රතු එළියක් දල්වා තිබෙනවා. රටේ ජනතාව ආණ්ඩුවට නිවැරදි ගමනක් , 2015 දී ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කරමින් යන්න කියා පණිවුඩයක් ලබා දී තිබෙනවා. මේ අවස්ථාවේ ආණ්ඩුවේ නායකයින් දෙදෙනා කළ යුත්තේ ඒ ජන වරමේ පණිවුඩය තේරුම් ගෙන කටයුතු කිරීමයි.

ඒ සඳහා අභීත තීරණයක් ගත යුතුයි. එසේ තීරණයක් නොගෙන කල් මැරීම නිසා සිදුවන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රධාන අපේ ප්‍රතිවාදීන් පිරිස නැවත බලවත් වීමයි. ඔවුන්ට උවමනා රටේ ආණ්ඩුව අස්ථාවර කිරීමයි. ඒ වාගේම දේශපාලන අස්ථාවරභාවයක් ඇතිකිරීමයි. ඒ ඔස්සේ නැවත ආණ්ඩු පිහිටුවීමේ රිමෝට් කන්ට්රෝල් “දුරස්ථ පාලකය” බවට පත්වීමට මහින්ද රාජපක්ෂ මහත්තයා උත්සාහ දරනවා. මේ උත්සාහය අපි මුළුමනින්ම පරාජයට පත් කළ යුතුයි.

ඔවුන් වෙනත් ආණ්ඩුවක් බිහිකිරීමට උදව් කරන ගමන්, එහි කිසිඳු තනතුරක් නොදරන බවත් කියනවා. මේවාගේ බොරු, වංචනික පිළිවෙතක් මහින්ද රාජපක්ෂ මහත්තයා අනුගමනය කරන්නේ. එක් අතකින් ආණ්ඩුවක් හදන්න උදව් කරන ගමන්, අනෙක් අතින් විපක්ෂයේ භූමිකාව කරන්නත් ඔවුන් සූදානම්.

මේ වංචාකාරී දේශපාලන භාවිතයෙන් මහින්ද රාජපක්ෂලා බලාපොරොත්තු වන්නේ ඔවුන් කළ හොරකම්, මිනීමැරුම්, පැහැරගෙනයෑම්, වංචාවලින් බේරී සිටීමටයි. ඒවා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ යට ගසා ගැනීමටයි. අපි මේ උවදුරු තේරුම් ගත යුතුයි. මහින්ද රාජපක්ෂ මහත්තයා පස්ස දොරින් ආණ්ඩුවට ඇතුල් වෙන්න හදනවා. අපි 2015 ජනවරම රැක ගනිමින් ඉදිරි දොරින් එළියට යන්න සූදානම්.

අපි කියන්නේ ජනපති - අගමැති දෙදෙනා ඉක්මනින් දේශපාලන තීන්දුවක් ගෙන සම්මුතිවාදී යහපාලන ආණ්ඩුව පිහිටුවිය යුතුයි. ඒවාගේම ගත වූ අවුරුදු තුනේ සිදු වූ වැරදි නිවැරදි කරගෙන සාර්ථක ගමනක් යා යුතුයි.

ආර්ථික හැසිරවීම රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඕනෑ ආකාරයට හෝ ඔහුගේ රාජකීය යාළුවන්ට පමණක් හෝ ඉඩදී සිදුකිරීම නොකළ යුතුයි.

ජීවන වියදම් ප්‍රශ්නය, ගොවි ජනතාවට පොහොර සහනාධාරය, පාසැල් නිල ඇඳුම් වැනි සහනාධාර වවුචර්පත්වලින් නොව, භාණ්ඩ ස්වරූපයෙන්ම යළි ලබා දිය යුතුයි.

රාජපක්ෂ පවුල පෙරට වඩා නපුරු ආකාරයෙන් ඉදිරියේ යළි අවස්ථාවක් ආ‍ෙවාත් කටයුතු කරනවා. ඒ නිසා එදා 2015 දී තම දිවි පරදුවට තබා වත්මන් රජය ගෙනඒමට කටයුතු කළ ජනවරමට නිසි ගරු කිරීම ආණ්ඩුව කළ යුතුයි කීය.

ආණ්ඩුවේ කම්කරු සම්මේලනයේ

සභාපති ඩී.එම්. ඩී. අබේරත්න මහතා

ජනාධිපති - අගමැති දුන් පොරොන්දු අනුව ජනමතයට ගරු කරමින් වැඩ කළේ නැහැ. නමුත්! ඒ ජන වරමට වඩා වැඩි ජනවරමක් 2018 දීවත් මහින්ද රාජපක්ෂ මහතාට ලබා ගන්න බැරිවී තිබෙනවා.

තවමත් 2015 ජනවරම අභිබවා යන්න කාටවත් බැරි වී තිබෙනවා. ඒ නිසා යළි මහින්ද රාජපක්ෂලා බලයට ගෙන ඒමේ වෑයම පරාජයට පත් කළ යුතුයි කීය.

එක්සත් වාමාංශික පෙරමුණේ මධ්‍යම කාරක සභික උදය කරුණාරත්න මහතාද මේ සාකච්ඡාවට එක්ව සිටියේය. 

 

නව අදහස දක්වන්න