ඉහළ ආදායමක් ලැබුවත් බෙම්මුල්ල දුම්රිය ස්ථානයේ මගී පහසුකම් අන්තිමයි | දිනමිණ

ඉහළ ආදායමක් ලැබුවත් බෙම්මුල්ල දුම්රිය ස්ථානයේ මගී පහසුකම් අන්තිමයි

බෙම්මුල්ල දුම්රිය ස්ථානයේ ගොඩනැගිලිවල වේදිකා වහල කැඩී බිඳී සිදුරු සෑදී තිබෙන අයුරු.

විශාල මගී සංඛ්‍යාවක් දිනපතා යන එන බෙම්මුල්ල දුම්රිය ස්ථානයේ දෛනික ආදායම රුපියල් 25,000 ක් හා මාසික වාර ප්‍රවේශපත්‍ර ආදායම රුපියල් අටලක්ෂයක් වුවත් දහසකුත් එකක් අඩුපාඩු මධ්‍යයේ මගී ජනතාව දුෂ්කරතා රැසකට මුහුණපා සිටින බව දුම්රිය මගීහු පෙන්වා දෙති.

දුම්රිය ස්ථානයේ වහලය ප්‍රතිසංස්කරණය නොවීම, වේදිකා මගී වැසිකිළියේ ජල සැපයුම ඇනහිටීම, පිරිසිදු පානීය ජල පහසුකම් නොමැතිවීම, කල් ඉකුත්ව ගිය අනාරක්ෂිත ජල ටැංකිය, රාත්‍රී කාලයට දුම්රිය වේදිකාවේ කෙළවර විදුලි ආලෝකය නොමැතිවීම, අනාරක්ෂිත ගස් පිහිටා තිබීම, දුම්රිය ස්ථානය වටා ආරක්ෂිත වැටක් නොමැතිවීම නිසාම නව ගුවන් මගී පාලම භාවිතා නොවීම. එම අඩුපාඩු හා දුෂ්කරතා අතර ප්‍රධාන තැනක් ගන්නා බව මගීහු පවසති.

බෙම්මුල්ල දුම්රිය ස්ථානයේ ගැටලු අඩුපාඩු ප්‍රශ්න ගැන දුම්රිය මගීන් කීප දෙනෙක් කියා සිටියේ මෙසේය.

බෙම්මුල්ල කේ. පී. වසන්තා ලාලනී මහත්මිය - බෙම්මුල්ල පැරණිම දුම්රිය ස්ථානයක් වුණාට කිසිම රජයක් මේ දක්වා අවධානය යොමු නොකර තිබීම නිසාම අඩුපාඩු බොහෝමයක් තිබෙනවා.

දෛනික ආදායම රුපියල් 25000 ක් වෙනව. මාසික වාර ප්‍රවේශපත්‍ර ආදායම රුපියල් අටලක්ෂයක් වෙනව. කාර්යාල දුම්රිය සියල්ලම වගේ මෙම දුම්රිය ස්ථානයේ නතර කරනවා. දිනපතා විශාල මගී සංඛ්‍යාවක් දුම්රිය ස්ථානයට ඒකරාශී වෙනවා. දුම්රිය ස්ථානයේ ගොඩනැගිල්ලේ වහලය ප්‍රතිසංස්කරණයකට යොමුවෙලා නැහැ. වහලයේ ඇස්බැස්ටෝ ෂීට් තැන් තැන්වල සිදුරු වෙලා. ගොඩනැගිල්ලේ ගම්පහ දිසාවට වෙන්න වහලයේ ෂීට් කැඩිලා. වැසි දිනවලට එම ස්ථානවලින් තෙමෙනවා. මගීන්ට කරදරයක්නෙ.

වේදිකාවෙ මගී වැසිකිළියක් තියෙනවා. මගියකුගේ අවශ්‍යතාවක දී ජල සැපයුම ඇනහිටිනවා. එවැනි අවස්ථාවලදී මගියා බලවත් අපහසුතාවට පත්වෙනවා. පානීය පිරිසුදු ජලය නෑ. කල් ඉකුත් වී ගිය අනාරක්ෂිත ජල ටැංකියක් තියෙනවා. මගියකුට තිබහකට වතුර ටිකක් බොන්න, පිරිසුැදු පානීය ජල පහසුකම් අවශ්‍යයි. ජල නල පද්ධතිය ක්‍රමවත් විය යුතුයි.

රාත්‍රී කාලයට දුම්රිය වේදිකාවේ ගම්පහ දෙසට කෙළවර විදුලි ආලෝකය නැහැ. මෙය මගීන්ගේ ආරක්ෂාවටත්, දුම්රිය ස්ථානයේ ආරක්ෂාවටත් බලපා තිබෙනවා. ඒ වගේම දුම්රිය වේදිකාව ආසන්නයේම ගම්පහ දෙසට විශාල ගස් කීපයක් තියෙනවා. එක ගසක මුල පිළිස්සී භාගයක් කැඩී ගොස්. වැසි සුළං වෙලාවට මේ ගස් ඉදිරී වැටුණොත්, අත්තක් කැඩී වැටුණොත් විශාල මගී පිරිසකට අනතුරු වෙනවා. ඒ වගේම තමයි රේල් පාරට වැටුණොත් මාර්ගයත් අවහිර වෙනවා. මේ අනාරක්ෂිත ගස් නිසා ඉදිරියේ දී විශාල අනතුරු වන්න පුළුවන්. මේ දුෂ්කරතාවලට විසඳුම් අවශ්‍යයි.

දුම්රිය ස්ථානයට එන යන මගීන්ගේ වාහන (පාපැදි, මෝටර් සයිකල්, ත්‍රීවීල්) ආරක්ෂා කර දෙන සමිතියේ භාණ්ඩාගාරික කමලසිරි ගුණරත්න මහතා - මේ බෙම්මුල්ල දුම්රිය ස්ථානයට මගී ගුවන් පාලමක් තිබුණේ නැහැ. දුම්රියෙන් බැස මගීන් අනාරක්ෂිතව දුම්රිය මාර්ගය හරහා දෙපසට මාරුවීම නිසා පසුගිය කාලයේ අනතුරු ගණනාවක් වුණා. අපේ සමිතිය මේ අවදානම පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් කර මගී පාලමක් දැන් ඉදිකර තියෙනවා. මගී පාලමක් තිබුණට මගීන් ගුවන් පාලම පාවිච්චි කරන්නේ නැහැ.

හේතුව දුම්රිය ස්ථානය වටා ආරක්ෂිත වැටක් නැහැ. ආරක්ෂිත වැටක් නැති නිසා කලින් වගේම දුම්රිය මාර්ගය හරහා කොහෙන් හරි පැනලා යාමට බලනවා. එයට ප්‍රධාන හේතුව දුම්රිය ස්ථානය වටා නිසි ආරක්ෂිත වැටක් නොතිබීම. අතනින් මෙතනින් පැනලා යාමට බැරිවෙන විදියට දුම්රිය ස්ථානය වටා ආරක්ෂීත වැටක් ඉදිවිය යුතුයි.

තව ප්‍රශ්නයක් ති‍ෙයනව. දැන් ධාවනය වන දුම්රිය දිගයි. වේයන්ගොඩ දෙසට තිබෙන මගී වේදිකාව ඉදිරියට දික්කළ යුතුයි. බොහෝ අවස්ථාවල වේයන්ගොඩ දෙසට තිබෙන වේදිකාව ඉක්මවා ගොස් දුම්රිය නතර කෙරෙනවා. ඒ අවස්ථාවල දී මගීන්ට විශේෂයෙන් කාන්තාවන් මහත් දුෂ්කරතාවලට මුහුණ දෙනවා. එම වේදිකාව ඉදිරියට දික්කිරීමෙන් එම දුෂ්කරතාව මඟහරවා ගන්න පුළුවන්. මේ ගැන අදාළ බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතුයි.

මගී පාලම හැදුවත් රාත්‍රී කාලයට විදුලි ආලෝකය සපයා නොතිබීම නිසා මගී පාලම අන්ධකාරයේ. එය මගීන්ගේ ආරක්ෂාවට ප්‍රශ්නයක්. දුම්රිය ස්ථානයේ ආරක්ෂිත වැටවල් නැහැ. දුම්රිය විදුලි සංඥා දක්වාවත් ආරක්ෂිත වැටවල් තිබෙනවා නම් මාර්ගය හරහා මාරු නොවී මගී පාලම භාවිතා කරාවි. අප සමිතියේ ඉල්ලීම මත කුරුණෑගල ශීඝ්‍රගාමී දුම්රිය මෙම ස්ථානයේ නතර කළා.

මගී පාලම ඉදිකිරීමට ගෙනා රේල්පීලි, ලෑලි, අබලි ද්‍රව්‍ය තැන් තැන්වල දමලා. ඒව ඉවත් කරගෙන ගිහින් නැහැ. වේදිකාවේ සමහර ස්ථානවල පස් කඳු, තැනිතලා නැහැ. ක්‍රමවත් පරිසරයක් නිර්මාණය කළ යුතුයි. අපේ සමිතියේ ඉල්ලීමක් මත ප්‍රදේශයේ දානපතියෙක් අලංකාර බුදු මැදුරක් ඉදිකරල දුන්න. තවත් සමාජ සේවා අගයන පිරිසක් ආසන කීපයක් පරිත්‍යාග කළා. වේලාව දැන ගැනීමට ඔරලෝසුවක් අප සමිතිය මඟින් සවිකළා. මේ අඩුපාඩු අදාළ බලධාරීන්ගේ අවධානයට යොමුකිරීමට මාධ්‍ය ඉදිරිපත්වීම අගය කරනවා.

උඩුගම්පොළ සමූහ

නව අදහස දක්වන්න