බුත්තල යුදඟනාවේ විහාර සිතුවම් විනාශ මුඛයේ | දිනමිණ

බුත්තල යුදඟනාවේ විහාර සිතුවම් විනාශ මුඛයේ

18 වැනි සියවසේ අගභාගයට අයත්යැයි සැලකෙන ඓතිහාසික බුත්තල යුදඟනාව චෛත්‍යය ඉදිරිපිට ඇති විහාරගෙයි ඇදි සිතුවම් දිනෙන් දින විනාශ වෙමින් පවතින බව යුදඟනා විහාරයේ විහාරාධිකාරි හා භාරකාර ශාස්ත්‍රපති පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන හිමියෝ පවසති.

මැටි බිත්තිවලින් නිර්මාණය වී ඇති මේ පිළිම ගෙයි බුදු පිළිමයක් දෑසව් ප්‍රතිමා දේව ප්‍රතිමා දක්නට ඇති අතර විහාරගෙයි ඇතුළු පැත්තතේ හා පිටපැත්තේ මහනුවර යුගයට අයත් පැරැණි සිතුවම් දක්නට ලැබේ.

පිටත බිත්තියේ ඇති සිතුවම් සියල්ල පාහේ නිසි ආරක්ෂාවක් නොමැති වීම හේතුවෙන් අව්වට හා වැස්සට විනාශ වී ඇති අතර ඒවායේ ඡායාවන් පමණක් ඇතැම් තැන්වල දක්නට ලැබේ.

ඇතුලත බිත්ති සහ සිවිලිමේ ද විශාල සිතුවම් ප්‍රමාණයක් දක්නට ලැබුණ ද ඒවායින් බොහෝමයක්ද මේ වන විට මැකියෑමේ අවදානමකට ලක්ව තිබේ.

මහනුවර යුගයට අයත් පිළිම වහන්සේද කලකට පෙර නිදන් සොරුන්ගේ ග්‍රහණයට හසුව හාරා විනාශකර තිබූ අතර විහාරගෙයි වහලේ ඇති සිතුවම් සහිත සිවිලිම ද දිරාපත්වී තිබේ.

මහනුවර රාජධානියේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් යුදඟනා විහාරස්ථානයට පවරනලද යුදඟනා වෙහෙර සන්නස අනුව මේ පිළිමගෙය 18 වැනි සියවසට අයත් වේ.

මේ වන විට සිතුවම් සහිත පිළිම ගෙය දිනෙන් දින දිරාපත්වෙමින් තියෙනවා. අපි යෝජනා කරලා තියෙනවා තියෙන ගොඩනැඟිල්ලට ඉහළින් වහලයක් ඉදිකරන්න කඩිනමින් අවශ්‍යයි කියලා. මොකද වහින වැස්සට වහලය පහත් වෙන්න පුළුවන්. බිත්තිවල මැටි තෙතමනයට ගැලවෙනවා. ඒවායේ ඇඳලා තියෙන චිත්‍ර විශාල ප්‍රමාණයක් මේ වෙනකො විනාශ වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරින් කඩිනමින් අවධානය යොමුකිරීම කළ යුතුයි වහලය ඉදිකරන්න අපිට අවශ්‍ය ආකාරය ලබාදෙනවා නම් එය ඉදි කිරීම සිදුකළ හැකි වෙනවා යැයි විහාරාධිපති හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.

වැල්ලවාය විශේෂ
ජී. අයි. ආර්. ගරුසිංහ 

නව අදහස දක්වන්න