කූට ගුවන් නියමුවාට මංගල යෝගයක් | දිනමිණ

කූට ගුවන් නියමුවාට මංගල යෝගයක්

13 වැනි කොටස

රොසාලි මම පෑන් ඇම් ගුවන් නියමුවෙක් නෙවෙයි. ඒ වගේම මගේ වයස අවුරුදු විසිඅටකුත් නෙවෙයි. මට තාම අවුරුදු දහනවයයි. මගේ නම ෆ්‍රෑන්ක් විලියම්ස් නෙවෙයි, ෆ්‍රෑන්ක් ඇබග්නේල්. මම හොරෙක්, තක්කඩියෙක් රට පුරා පොලීසියෙන් යන චෙක් වංචාකාරයෙක්.

අදට ද ඇබග්නේල් රොසාලිව හඳුන්වන්නේ තමාට මුණ ගැසුණු සුන්දරම තරුණියක් ලෙසය. ඇමරිකන් එයාර් ලයින්ස් ගුවන් සේවිකාවක වූ ඇය කෙටි වන්නට කැපූ රීදීවන් කෙස් වැටියක් තිබූ විසිහතර වියැති සුකොමළ තරුණියකි. එසේම ඇය ආගමට බෙහෙවින් ළැදි කතෝලික තරුණියකද විය. සැම ඉරුදිනකම දේවමෙහෙයට සහභාගිවීම පුරුද්දක් කරගත් රොසාලි කිසිවිටෙක ඇබග්නේල්ට තමන් සමඟ එක්වන ලෙසට බල කළේ නැත. නමට ක‍තෝලිකයකු වූ ඇබග්නෙල්ට මෙය එක්තරා පුදුමයක්ද විය. දිනක් දේවමෙහය අවසන්ව රොසාලිව දේවස්ථානයෙන් කැඳවාගෙන යාමට පැමිණි ඇබග්නේල් කෙළින්ම මේ ගැන ඇගෙන් විමසුවේ කුතුහලය නිසාමය.

“රොසාලි ඇයි ඔයා කවදාවත් මට පල්ලි යන්න එන්න කියන්නෙ නැත්තේ ? මම වගේ පව්කාරයෙක් ගැන ඔයා මීට වඩා තදින් ඉඳිවි කියලයි මම හිතුවේ. “

“ඔයා පව්කාරයෙක් කියලා මම නම් හිතන්නේ නැහැ ෆ්‍රෑන්ක්. ඇරත් මට ඔයාගේ එහෙම ලොකු වැරැද්දක් පෙනෙන්නෙත් නැහැ.“ ඇය පැවසුවේ සිනාසෙමිනි. “ඔයාට මම දන්න තරමින් නරක පුරුදුත් නැහැ. ඔයාගේ ඔය විදියට මම කැමතියි.“

පොළව පළාගෙන යෑමට ඇත්නම් මැනවයි කියා ඇබග්නේල්ට සිතුණි. තමන්ට වඩා ගතිගුණවලින් හාත්පසින්ම වෙනස් රොසාලිගේ අවංක චරිතය, නුවණක්කාරභාවය, නිවුණු තැන්පත් ගති ස්වභාවය හා දයාබරිතබව ඇබග්නේල්ගේ සිත් ගත්තේය. ඇය වැන්නියක සිය බිරිය කර ගැනීමට අකමැති වන්නේ කවුද ? තමා ඇයට ආදරය කරන බව ඇබග්නේල් දිනක් කෙළින්ම ඇයට ප්‍රකාශ කළේය.

“රොසාලි මම ඔයාට ආදරෙයි.“

“මමත් එහෙමයි ෆ්‍රෑන්ක්.“ ඇය පැවසුවේ සන්සුන් ලෙසය. “ඇයි අපි මේ බව මගේ අම්මලාට කියන්නේ නැත්තේ ?“

ඇගේ මව්පියන් පදිංචිව සිටියේ ලොස් ඇන්ජලීස්වලින් දකුණට දුරබැහැර ප්‍රදේශයක් වූ ඩවුනින්වලය. රොසාලි සේම ඇගේ මව්පියන්ද කාරුණික හිතෛශිවන්ත යුවළකි. සිය දියණිය හා අනාගත බෑනණුවන් උණූසුම්ව පිළිගත් මව්පියන්ට එම සුබ ආරංචිය බලාපොරොත්තු ගොන්නක් ගෙන ආවේය. තමා ඇබග්නේල් හා විවහා වන බව රොසාලි සිය මව්පියන්ට කිව්ව ද, ඇබග්නේල් කිසිවිටෙක එවැන්නක් රොසාලිට කියා තිබුණේ නැත. නමුත් ඔවුන් හැසිරුණු ආකාරයෙන් පෙනුණේ සියල්ල තීන්දු වී අවසන් බවකි.

ඇබග්නේල් එම නිවසේ ගතකළ සති කිහිපය ගෙවී ගියේ උද්යෝගිමත් ලෙස විවාහය සඳහා සැලසුම් සකස් කරමිනි. ඇබග්නේල් වැන්නෙක් සිය බෑනණුවන් වීම ගැන රොසාලිගේ මව්පියන් සිටියේ සතුටින් උතුරා යමිනි. රොසාලිද එසේමය. නමුත් ඇබග්නේල් සිටියේ ගිනිගොඩක දැවෙමිනි. සිය පෙම්වතිය සිතා සිටින්නේ තමා දීප්තිමත් අනාගතයක් හිමි පෑන් ඇම්හි ගුවන් නියමුවෙක් බවයි. තමා නීතියෙන් පලායන හොරෙක්, වංචාකාරයෙක් බව ඇයට කියන්නේ කෙසේද? එපමණක් ද? තමා රොසාලිට වඩා වයස අවුරුදු පහකින් බාල ගැටවරයෙකි. එවන් තත්වයක තමා ඇය විවාහ කර ගන්නේ කෙසේද? කෙටි කලකින්ම තමා විවාහ වුයේ රටේ නමගිය හොරෙක් සමඟ බව දැනගත් විට රොසාලිට කුමක් සිතෙනු ඇති ද? මෙයාකාරයේ පිළිතුරු නැති ගැටලු වැලක් ඇබග්නේල්ගේ සිත තුළ පෙරළි කරමින් තිබිණි. තමා අවංකවම පෙම්කරන රොසාලිට එවන් ඉරණමක් අත්වීමට ඉඩ දිය නොහැකි බව ඇබග්නේල් අවසානයේදී තීරණය කළේය.

ඒ වන විට ඇබග්නේල් සතුව ඩොලර් අනුදහසක් පමණ මුදලින් තිබිණි. තමාගේම කියා කුඩා ව්‍යාපාරයක් පටන් ගැනීමට ඒ නම් හොඳට ම ප්‍රමාණවත්ය. ඇතැම්විට තමා රොසාලිට ඇත්තම කිව්වොත් ඇය ආදරයේ නාමයෙන් තමාට සමාව දෙනු ඇති බව ඇබග්නේල් විශ්වාස කළේය. නමුත් කිසිදා සිය වංචනික හෘද සාක්ෂියෙන් නම් තමාට ගැලවීමක් නැති බව ඇබග්නේල් හොඳාකාරවම දත්තේය. සුන්දර බලාපොරොත්තු පොදි බැඳගෙන ඇරඹු නිවාඩුව අවසානයේ ඇබග්නේල්ට ගෙනදුන්නේ හිසරදයකි. නින්ද ඔහුගෙන් පළා යත්දි රැවුලත් කැඳත් දෙකම බේරාගෙන වැටුණු වළෙන් ගොඩ ඒමට ඇබග්නේල් සිය මොළය වෙහෙසවන්නට පටන් ගත්තේය.

රොසාලි හා ඇගේ මව්පියන්ගේ විවාහ සැලසුම් සාකච්ඡාවන්ට ව්‍යාජ උනන්දුවක් ආරූඪ කර ගනිමින් සහභාගි වුවත් ඇබග්නේල් සිටියේ වරදකාරී හැඟීමෙන් පීඩිතවය. ඒ වන විට ඔහුට විවාහය සඳහා දින තීන්දුකිරීමට ලැබී තිබුණු කාලය තිබුණේ අවසන් වෙමිනි. දිනයක් යොදාගැනීමට පෙර සිය මව්පියන්ගේද අදහස් විමසිය යුතු බවත්, ඔවුන් දින දහයක යුරෝපා සංචාරයකට පිටත්ව ගොස් ඇති බවත් ඇබග්නේල් රොසාලිගේ මව්පියන්ට කියා තිබිණි. ඇබග්නේල්ගේ මව්පියන්ද මෙම සාකච්ඡාවලට දායක වනු දැකීම රොසාලිගේ මව්පියන්ගේ කැමැත්ත විය.

“ අපිට විශ්වාසයි, ඔයාගේ අම්මත් මේ විවාහය ගැන හුඟක් උනන්දු වෙනවා කියලා. ඒ නිසා එයාලා එනකන් ඉඳලා එයාලගේ අදහසුත් අහලා බලමු. එහෙම හොඳයි නේද පුතා ?“

“ඔව් අම්මා. එයාලා ඒකට හුඟක්ම කැමති වේවි.“ නමුත් සිය මව වැඩි උනන්දුවක් දක්වනු ඇත්තේ නිවසින් පළාගොස් තක්කඩිකම් කරමින් සිටින තම පුතුගේ බෙල්ලෙන් අල්ලාගැනීම ගැන බව ඇබග්නේල්ට නොසිතුණාම නොවේ. රොසාලිගේ මවගේ මෙබදු කියමන් හමුවේ අසරණ වූ ඇබග්නේල්ට දැනුණේ කිසිදා නැතිතරමේ අසහනයකි. ඇත්ත කියා සිත නිදහස්කර ගැනීමට උවමනා වුවද ඊට සුදුසු අවස්ථාවක් පාදා ගන්නේ කෙසේදැයි ඇබග්නේල් සිටියේ විපිළිසරව ය. අවසානයේදි ඒ දිනය උදාවිය.

දිනක් රොසාලි සමඟ ගිය පාපැදි සවාරියක අවසානයේ ඇබග්නේල් ඇය උද්‍යානයකට කැඳවාගෙන ගියේ ටිකක් නිදහසේ කතාබහා කිරීමේ අරමුණ පෙරදැරිවය. ළඟදී විවාහවීමට සිටින වෙනත් ඕනෑම තරුණියක මෙන් ඇයද සිටියේ අනාගතය පිළිබඳව සුබ සිහින දකිමිනි. එම සිහින නොනවත්වා තමා හමුවේ වචනයට පෙරළමින් සිටි සිය පෙම්වතිය දෙස බලා සිටියද ඇබග්නේල්ගේ සිත බොහෝ දුර ගොස් තිබිණි. ඇබග්නේල්ට සිතුණේ ඇත්ත කිව්වොත් ඇය තමාට සමාව දෙනු ඇත කියාය. ඇය උණුවන හිතක් ඇති අනුකම්පා සහගත තරුණියක බව ඇබග්නේල්ට මේ වන විට අවබෝධවී තිබිණි. ඇය තුළවූ බොහෝ යහපත් ගුණාංග අතරින් ඔහු වඩාත්ම ප්‍රිය කළේද මෙම කාරුණිකත්වයටය.

“රොසාලි“ ඇබග්නේල් ඇගේ මිණි කිංකිණි කතාව නැවැත් වුයේ සිය අත්ල ඇගේ දෙතොල් මත තබමිනි.

“රොසාලි මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. වෙන කාටත් වඩා ඔයා මාව තේරුම් ගනීවි කියලා මට විශ්වාසයි. මම ඔයාට මේ තරම් ආදරේ කළේ නැත්නම් මම කවදාවත් මේ ගැන ඔයාට කියන්නේ නැහැ.මම මේ කියන්න යන්නෙ මීට කලින් මම කාටවත් කියලා නැති දෙයක්“ තම කරන්නට යන බැරෑරුම් කර්තව්‍යය හමුවේ වුවද වෙතින් එතරම් සන්සුන් ස්වභාවයක් පළවීම ඇබග්නේල්ටම පුදුමයකි.

“රොසාලි මම පෑන් ඇම් ගුවන් නියමුවෙක් නෙවෙයි. ඒ වගේම මගේ වයස අවුරුදු විසිඅටකුත් නෙවෙයි. මට තාම අවුරුදු දහනවයයි. මගේ නම ෆ්‍රෑන්ක් විලියම්ස් නෙවෙයි, ෆ්‍රෑන්ක් ඇබග්නේල්. මම හොරෙක්, තක්කඩියෙක් රට පුරා පොලීසියෙන් හොයන චෙක් වංචාකාරයෙක්.“ ඇය ඇබග්නේල් දෙස බැලුවේ කම්පනය මුසු විමතියෙනි. එය අමු අමුවේ මහා දවාලේ පතිතවූ හෙණ පහරකි. එය විය නොහැක්කක් බව ඇය යළි යළිත් කීවාය.

“ඔයා ඔය කියන්නේ ඇත්ත නෙවෙයි මට සහතිකයි. මට ඔයා හම්බවුණේ ගුවන් තොටුපලේදි පෑන් ඇම් නිල ඇඳුමින් ඉන්නකොටනේ. ඔයා මට ඔයාගේ පෑන් ඇම් හැදුනුම්පත, නියමු බලපත්‍රය පවා පෙන්නලා තියෙනවා. මෙහෙම වෙන්නේ කොහොමද ෆ්‍රෑන්ක්? කරුණාකරලා මේ නරක විහිළුව නවත්වන්න.මට බය හිතෙනවා. ඔයාට මොනවාද මේ වෙලා තියෙන්නේ ?“ ඇගේ දෑස් බියට පත් මුව පොව්වෙකුගේ මෙන් විසල්ව තිබිණි. සිය සම්පූර්ණ ජිවිත කතාව ඇය හමුවේ දිගහරිද්දි එහි බිය, විස්මය, දුක,සන්තාපය වරින් වර ඇතිවී නැතිවි යනු ඇබග්නේල් බලා සිටියේ කියාගත නොහැකි වේදනාවකිනි. සියල්ල අවසානයේ ඇය ඉකිබිඳ හැඬුවාය. වැළහින්නක මෙන් වැලපුණාය. ඉන්පසු ඇබග්නේල්ගේම ලේන්සුව ගෙන කදුළු පිසදමා ගත් ඇය නැගී සිටියාය.

“අපි ගෙදර යමු ෆ්‍රෑන්ක්“ ඇය ඇරයුම් කළේ අසාමාන්‍ය ලෙස සන්සුන් ස්වභාවයකිනි. නමුත් ඇබග්නේල්ට සිතන්නට දෑ බොහෝ තිබිණි.

“ඔයා යන්න රොසාලි. මම තව ටිකකින් එන්නම්. හැබැයි එක දෙයක්. ඔයා මේ කිසි දෙයක් මම එනතුරු ඔයාගේ අම්මලාට කියන්නේ නැහැ කියාලා මට පොරොන්දු වෙන්න. එයාලා ඒ දේ මගෙන්ම දැන ගන්නවා දකින්නයි මට ඕනෑ. “ ඇබග්නේල් ඇගෙන් අයැද සිටියේය.

“මම පොරොන්දු වෙනවා ෆ්‍රෑන්ක්. එහෙනම් පස්සේ හමුවෙමු.“ එසේ කියමින් ඇය ඔහුට සමුදුන්නාය. එය ඇගේ අවසන් සමුගැනීම විය. ඇබග්නේල්ට යළි කිසි දා ඇය හමුවන්නට හැකි වුයේ නැත.

ඈත්ව යන ඇගේ හුදකලා රුව දෙස ඇබග්නේල් බලා සිටියේ පශ්චාත්තාපය මුසු වේදනාවකිනි. මීට පෙර කිසිවිටෙක ඔහුට එවැනි අත්දැකීමක් ලැබ තිබුණේ නැත. ඇය ඇත්තටම තමා ගැන සිතුවේ කුමක්ද? ඇය ඇත්තටම තමාව සමාව දුන්නාද? ඇය එවැනි කිසිවක් ඔහුට කීවේ නැත. ඇය කිසිවක්ම කීවේ නැත. තමා යළි ඇගේ නිවසට ගියොත් කුමක් සිදුවනු ඇත්ද කියා ඇබග්නේල් තුළවූයේ තිගැස්මකි. තමාගේ වටිනා කියන කිසිවක් එහි නැති බව ඔහුට සිහිවිය. හැඟීම්වලින් පොළඹවනු ලැබ කරගත් මෝඩකම කෙතරම් අදූරදර්ශිද කියා ඔහුට සිතන්නට විය. අවසානයේදි ඇබග්නේල් තීරණය කළේ රහසින් ඇගේ නිවසට ගොස් අවට තත්වය පිරික්සා, ආරක්ෂාකාරී නම් පමණක් වින්දිත පාර්ශ්වය හමුවේ පෙනී සිටින්නටය. අතුරු මාර්ගයකින් ඇගේ නිවසට ළඟාවූ ඇබග්නේල් වත්තට ඇතුළුවීමට පෙර අසල බඩවැටියකට මුවාවී හාත්පස විමසන්නට විය. සිය ස්ථානෝචිත ප්‍රඥාව ගැන ජිවිතකාලයටම ස්තූතිවන්ත විය යුතු බියකරු දර්ශනයක් නිවස ඉදිරිපස තිබිණි.

ඒ නම් පොලිස් නිලරථ දෙකකි.පොලිස් නිල රථ දෙක දුටු ඇබග්නේල්ට දෙවියන් සිහි විය.එහි සිටි එක් පොලිස් නිලධාරියෙක් පාර දෙපස විමසිල්ලෙන් බලමින් සිටියේ කවුරු බලාපොරොත්තුවෙන්ද යන්න ඇබග්නේල්ට සැකයක් නොවීය. ඔහුට හීන් දාඩිය දැම්මේය. තමා පණ මෙන් ආලය කළ රොසාලි තමාට ද්‍රෝහිවී ඇති බව වැටහෙන විට ඔහු ප්‍රමාදවී සිටියේ නැත. පාපැදිය එතැනම අතහැර දැමූ ඇබග්නේල් කුලී කැබ් රථයකින් ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපළටද එතැනින් ලාස් වේගාස් නොහොත් “සූදු කෙළින්නන්ගේ රජදහනට“ ද පියාසර කළේය.

විස්තර කළ නොහැකි අමුතුම හැඟීමක් ඔහුගේ සිත වෙළාගෙන පැවතිණි. එය සතුටක්ද, දුකක්ද, වරදකාරී හැඟීමක්ද යන්න නිශ්චිතව කීමට ඔහුට වැටහුණේ නැත. ලාස් වේගාස්හිදී එම හැඟීම කුමක්ද කියා ඔහුට අවබෝධ විය. ඒ නම් රොසාලිගෙන් වෙන්වීමට ලැබීම ගැන උපන් සතුට මුසු සැනසුම බව දැනෙන විට ඇබග්නේල්ට තමා ගැනම දැනුණේ පුදුමයකි. කලක් ඇය සිය බිරිය කරගැනීමට ලැබීම හැර අන් සැපතක් නැති බව සිතූ සිතෙන්ම එවැන්නක් සිතිය හැකිද ?

කෙතරම් කෙල්ලන් සොයා ගියද ආදරය හා විවාහය වැනි ස්ථිර බැඳීම්වලට තවමත් තමාට කල් වැඩි බව ඇබග්නේල් තීන්දු කළේ එදා ය.

ෆ්‍රෑන්ක් ඇබග්නේල් විසින් රචිත Catch Me If You Can කෘතිය සහ අන්තර්ජාල තොරතුරු ඇසුරෙනි

සිංහල කළේ
රුක්ලන්ති පෙරේරා

හෙට : සූදුකාර නුවරදී පෑදුණු ඉල්ලම

නව අදහස දක්වන්න