C - දෙක S - එක ! | දිනමිණ

C - දෙක S - එක !

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ආචාර්ය මාග්‍රට් බෙන් මහත්මිය පැරගුවේ උපාධි උත්සවයක් අමතමින් 2013 ජුනි මාසයේදී මෙසේ කියා සිටියා ය. රටක දියුණු සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යෑමට නම්; සාධක තුනක් සම්පූර්ණ විය යුතු ය. එක; ජනගහනයට සාපේක්ෂ වෛද්‍යවරුන් සංඛ්‍යාවක් සිටීම ය. දෙක; ප්‍රමාණවත් පහසුකම් සහිත රෝහල් පද්ධතියක් පවත්වාගෙන යෑමය. තුන ව්‍යාප්ත වූ පවුල් සෞඛ්‍ය සේවයක් තිබීම ය. සෞඛ්‍ය සේවය දියුණු රටවල් සමඟ සසඳන විට ශ්‍රී ලංකාව මේ සාධක තුන අතින්ම දුප්පත් ය. එසේ නම්; සාර්ථක සෞඛ්‍ය සේවයක් පවතින්නේ යැයි සතුටු විය හැකි තර්කානුකූල සාධක අපට නැත.

රජය සෞඛ්‍ය සේවය පවත්වාගෙන යෑම සඳහා වාර්ෂිකව විශාල මුදලක් වැය කරයි. සියලු දෙනාට නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර හා වෙනත් පහසුකම් ලබාදෙන බැවින් මේ මුදල වැය කරන්නට සිදු වී ඇත. නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලබා දෙන රටවල් ගණන අඩු ය. දියුණු රටවල් පවා මහජනයාට සෞඛ්‍ය පහසුකම් ලබාදෙන්නේ රක්ෂණ ක්‍රමයක ආධාරයෙන් ය. එහෙත් ශ්‍රී ලංකාව නිදහස් සෞඛ්‍ය සේවයක් හා නිදහස් අධ්‍යාපන ක්‍රමයක් පවත්වාගෙන යයි. සෞඛ්‍ය අධ්‍යාපනය ද මුළුමනින් ම නොමිලේ පවත්වාගෙන යනු ලැබේ. එහෙත් 2013 සංඛ්‍යා ලේඛනවලට අනුව අපේ රටේ රාජ්‍ය සේවයට අනුයුක්ත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 18,221 කි. අපේ ජනගහනය කෝටි දෙකකටත් ටිකක් වැඩි ය.

රටට අවශ්‍ය වෛද්‍යවරුන් නැති බව ඉතා පැහැදිලි කාරණයකි. නිදසුනක් ගතහොත් රටේ පිළිකා රෝගීන්ගේ ගණන ශීඝ්‍රයෙන් ඉහළ යයි. එහෙත් පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් ඇත්තේ පනස්දෙනකු පමණි. මේ අය ද වරින් - වර විදේශ සංචාරවල නිරත වෙති. හෘද රෝග, දියවැඩියාව, වකුගඩු රෝග, ආමාශගත රෝග යනාදී බෝ නොවන රෝග දෙස බැලුව ද ඒවා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට පටන්ගෙන තිබේ. එහෙත් මෙකී රෝග සම්බන්ධයෙන් ප්‍රතිකාර කළ හැකි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ඉතා සීමිත ය. මීට වසර දහයකට පෙර රජරට පළාතේ වකුගඩු රෝගය පැතිරීම ජනගහනයෙන් 2.3%ක් ලෙස සටහන් වී තිබිණි. අද එය 15.2% දක්වා ඉහළ ගොස් ඇත. වෛද්‍යවරුන්ගේ හදිසි අවශ්‍යතාව ඉන් පැහැදිලි වෙයි.

රටේ පිළිගත් විශ්වවිද්‍යාලවලට අනුබද්ධ වෛද්‍ය පීඨ කිහිපයක් ක්‍රියාත්මක ය. මේවායේ අධ්‍යාපනය සඳහා වාර්ෂිකව තෝරාගත හැක්කේ සුළු පිරිසක් පමණි. රටේ පවත්නා සම්පත් හිඟය ඊට බලපා ඇතැ’යි කිව හැකි ය. මේ හැරෙන්නට සුළු පිරිසක් පිටරට වෛද්‍ය විද්‍යාලවල ඉගෙනුම ලබා එක්කෝ මෙරටට පැමිණෙති. නැතහොත් එම රටවල ම සේවය කරති. විදේශ රටවල සේවය කිරීම වාසිදායක බැවින් වැඩි පිරිස දියුණු රටවල් තෝරා ගනිති. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිකිරීමට ගනු ලැබූ සෑම උත්සාහයක් ම පාහේ ව්‍යවර්ථ වී ඇත. ඒ අනුව වෛද්‍ය හිඟය දිගට ම පවතිනු ඇත. මේ සඳහා කිසියම් පියවරක් නොගන්නේ නම්; අනාගත වෛද්‍ය හිඟය බරපතළ ජාතික අර්බුදයක් බවට පත්වීම නො වැළැක්විය හැකි ය.

තත්ත්වය මෙසේ තිබියදී රජය ප්‍රකාශයට පත්කර ඇත්තේ මෙවර වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් කර ගැනීම සඳහා අවම සුදුසුකම සම්මාන දෙකයි වැඩ එකයි යන්න ය. මේ ක්‍රමවේදය තවදුරටත් පැහැදිලි කරතොත්; වෛද්‍ය පීඨයකට ඇතුළත්වීමට අපේක්ෂා කරන ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව ජීව විද්‍යාව පාඨමාලාව උසස් පෙළ සඳහා හැදෑරිය යුතු ය. එහි දී ජීව විද්‍යාවට මෙන්ම රසායන විද්‍යාවට ද සම්මාන ලබා ගත යුතු ය. විෂයයකින් සම්මානයක් ලබා ගැනීම යනු ලකුණු සියයෙන් හැටකට වැඩිය ලබා ගැනීම ය. සාමාන්‍ය සාමාර්ථයය යනු ලකුණු හතළිහට වැඩිය ලබාගැනීම ය. සරල නිදසුනක් ගතහොත් වෛද්‍ය පීඨවලට ඇතුළත්වීම සඳහා ජීව විද්‍යාව, රසායන විද්‍යාව යන විෂයයන්වලින් වැඩි සුදුසුකම් ද භෞතික විද්‍යාව හෝ ඊට සමගාමීව විෂයයක් සඳහා සාමාන්‍ය සුදුසුකම්ද එනම් සාමාර්ථය ද ලබාගත යුතු ය. එහි කිසිදු වරදක් නැත.

වෛද්‍යවරුන්ගේ සංගමය හා වෛද්‍ය සභාව ද මීට විරෝධතා දක්වන බවක් දැනට පෙනීගොස් තිබේ. රජයේ අරමුණ වන්නේ යහපත් හා දියුණු සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යෑම ය. ඒ සඳහා වැඩි වශයෙන් වෛද්‍යවරුන් බිහිකළ යුතු ය. ඒ හැරෙන්නට වෛද්‍ය විද්‍යාලවලට බඳවා ගැනීම සඳහා වූ අවම සුදුසුකමක්ද රජය ප්‍රකාශයට පත් කළ යුතු ය. ගිය වස‍රේ අප දන්නා හැටියට අවම සුදුසුකම ලෙස පැවැතියේ විෂයයන් තුනකින් ජීව විද්‍යා විෂය ධාරාව සමත්වීම පමණි. ඒ අනුව මෙවර ප්‍රමිතිය තව අදියරයකින් ඉහළ දමා ඇතැ’යි කියන්නට පුළුවන. මෙහිලා කල්පනාවට ගත යුතු කාරණය වන්නේ රජයට වෛද්‍යවරුන් වැඩි - වැඩියෙන් බිහිකිරීමට වුවමනාවක් ඇති බව ය. ඒ සඳහා පහසුකම් අඩුවීම කනගාටුවට කාරණයකි.

අපගේ දැනුමට හා විශ්වාසයට අනුව රජය 2006 දී මේ සුදුසුකම ඉදිරිපත් කර තිබේ. එදා කිසිවකු මීට විරුද්ධ වූ බවක් අපට මතක නැත. මේ ප්‍රමිතියට විරුද්ධවීමට වුවමනාවක් ද නැත. එහෙත් වෛද්‍යවරුන්ගේ සංගමය මේ ප්‍රමිතිය කෙරෙහි යම් කුකුසකින් බලන බවක් පෙනෙන්නට තිබේ.

අපගේ පිළිගැනීමට අනුව වෛද්‍ය සභාව මෙන්ම වෛද්‍යවරුන්ගේ සංගමය ද වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් දැඩි තීන්දුවල එල්බ සිටිති. ඊට හේතුව වෛද්‍ය වෘත්තියේ ගෞරවය, අභිමානය රැක ගැනීම විය හැකි ය. එවැන්නක් තිබීමේ වරදක් නැත. ලෝකයේ හොඳම වෘත්තියක් ලෙස වෛද්‍ය වෘත්තිය සැලැකිය හැකි ය. එය දේශපාලකයන් පවා වටහාගත යුතු සත්‍යයෙකි. එහෙත් වෛද්‍ය වෘත්තියට අදාළ කිසියම් නිර්ණායකයක් එන විට මහජනයා කලබලයට පත්වෙති. හේතුව කුමන හෝ තැනකින් වැඩ වර්ජනයක් මතුවිය හැකි බැවිනි.

රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට ඉඩක් නැත. සම සෞඛ්‍ය සේවාව පවත්වා ගැනීමට ඉඩක් නැත. සහකාර වෛද්‍ය සේවාව ඉදිරියට ගෙන යෑමට ඉඩක් නැත. වෛද්‍ය අධ්‍යාපනයට සම්බන්ධ තීන්දු - තීරණ ගැනීමට ද ඉඩක් නැත. කියුබාවේ, අමෙරිකාවේ, කැනඩාවේ හෝ ඕස්ට්‍රේලියාවේ මෙබඳු තත්ත්වයක් නැත. එහි වෘත්තිකයෝ තමන්ගේ සේවය හා වෘත්තීය භාවය ව්‍යාප්ත වීම යහපත් දෙයක් ලෙස සලකති. අපේ රටේ එබඳු තත්ත්වයක් නැත. ආණ්ඩුව වෛද්‍ය පීඨවලට බඳවා ගැනීම සඳහා ඉදිරිපත් කළ අවම සුදුසුකම ප්‍රශ්නයක් වන්නේ නම්; එය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතුව තිබේ. එසේ නොකර අසරණ රෝගීන් ප්‍රාණ ඇපයට ගන්නා වර්ජන ක්‍රියාත්මක වන්නේ නම්; මේ ක්ෂේත්‍රයේ ගැටලු කිසිදිනෙක විසඳාගත නො හැකිය.

නව අදහස දක්වන්න