ක්‍රිකට් පිටියට නව මුහුණුවරක් දෙන දහයයි10 අද සාජා නුවරදී ඇරැඹෙයි | දිනමිණ

ක්‍රිකට් පිටියට නව මුහුණුවරක් දෙන දහයයි10 අද සාජා නුවරදී ඇරැඹෙයි

 ෆවුස් මොහොමඩ්

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඓතිහාසික වෙනසක් සිදු කරමින් දහයයි10 මුහුණුවර යටතේ ලීග් ක්‍රිකට් තරගාවලියක් අද (14) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවරදී ආරම්භ වෙයි. වසර 2003දී එංගලන්තයේ ප්‍රාන්ත කණ්ඩායම් දෙකක් අතර අත්හදා බැලීමක් ලෙස පැවැති විස්සයි20 ක්‍රිකට් තරගය පසුකාලීනව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පෙරළිකාර තරගාවලියක් බවට පත්වීමෙන් වසර 14කට පසුව ක්‍රිකට් පිටියට සේන්දු වන මේ දහයයි10 මුහුණුවරේ තරගාවලියේ සාර්ථකත්වය ඉදිරියේදී ලෝක ක්‍රිකට් පිටිය නව මාවතට හරවා දැමීමට සමත්වනු ඇත.

අද සිට ලබන 17 වැනිදා දක්වා පැවැත්වෙන මේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් ‘ටීම් ශ්‍රී ලංකා‘ කණ්ඩායම සමග ශ්‍රී ලංකා පිලේ හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ක්‍රීඩා කරන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් මරතා ඇරබියන්ස්, රංගන හේරත් නියෝජනය කරන ඉන්දියාවට අයත් පංජබ් ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග කේරල කිංග්ස්, බෙන්ගාල් ටයිගර්ස් සහ පාකිස්තානයේ පක්ටූන් කණ්ඩායම තරග වදිති.

දහයයි10 තරග මුහුණුවර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට හඳුන්වාදීමේ අරමුණින් පැවැත්වෙන මේ තරගාවලියේදී එක් කණ්ඩායමක් ඕවර 10කට ක්‍රීඩා කරන අතර ඒ සඳහා ලබා දෙන කාලය මිනිත්තු 45කි. ඒ අනුව සම්පූර්ණ තරගයක් නිමාවීමට ගතවන්නේ මිනිත්තු 90ක කාලයක් පමණි.

කාගෙත් අවධානය දිනාගනු ඇතැයි විචාරකයන් දැනටමත් අනාවැකි පළ කර ඇති මේ තරගාවලියේදී සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් මරතා ඇරබියන්ස් පිල හිටපු ඉන්දීය පිතිකරු විරෙන්දර් ශෙවාග් විසින් මෙහෙයවනු ලබන අතර පංජාබ් ලෙජන්ඩ්ස් පිල පාකිස්තාන ක්‍රීඩක සොයිබ් මලික් විසින් මෙහෙයවනු ලබයි. පක්ටූන් පිල ශහිඩ් අෆ්රිඩිගේ නායකත්වයෙන් තරග වදින අතර එංගලන්ත පිතිකරු ඔයින් මෝගන් කේරල කිංග්ස් පිලට නායකත්වය ලබා දෙයි. බෙන්ගාල් ටයිගර්ස් පිලේ නායකයා ලෙස පාකිස්තාන ක්‍රිකට් නායක සර්ෆ්‍රාස් අහමඩ් කටයුතු කරයි.

මීට අමතරව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයන් වන ඇලෙක්ස් හේල්ස් (එංගලන්තය), මොහොමඩ් සමි (ඉන්දියාව), මිස්බා උල් හක්. හසන් අලි, උමාර් ගුල්, ජුනෙයිඩ් ඛාන්, වහාබ් රියාස්, උමාර් අක්මාල්, කමරන් අක්මාල්, ඉමාඩ් වසීම්, මොහොමඩ් ආමීර් (පාකිස්තානය), ටමීම් ඉක්බාල්, ශකීබ් අල් හසන් (බංග්ලාදේශය), ඩැරන් සැමි, සුනිල් නරේන් (බටහිර ඉන්දීය කොදෙව්) තරගාවලියට එක්වී සිටිති.

තරගාවලියේ පළමු දිනය වන අද බෙන්ගාල් ටයිගර්ස් සහ කේරල කිංග්ස් අතර තරගයත්, මරතා ඇරබියන්ස් සහ පක්ටූන් කණ්ඩායම අතර තරගයත් පැවැත්වෙයි. ටීම් ශ්‍රී ලංකා පිල සහ මරතා ඇරබියන්ස් පිල අතර තරගයත්, බෙන්ගාර් ටයිගර්ස් සහ පන්ජාබ් ලෙජන්ඩ්ස් පිල අතර තරගයත් හෙට පැවැත්වෙයි පක්ටූන් පිල සමග . ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවැනි තරගයත් හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

කාණ්ඩ ගත කිරීම අනුව මූලික වටයේ අවසන් තරග අනිද්දා පැවැත්වෙයි. අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරගය ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිතය.

තරගාවලියට සහභාගි වන ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය

දිනේෂ් චන්දිමාල් (නායක), ඩිල්ෂාන් මුණවීර, රමිත් රඹුක්වැල්ල, ඇන්ජෙලෝ පෙරේරා, තික්ෂිල ද සිල්වා. විශ්ව ප්‍රනාන්දු, සචිත්‍ර සේනානායක, වනිඳු හසරංග, ශෙහාන් මධුසංඛ, ළහිරු මධුසංඛ, කසුන් මධුසංඛ, කිත්රුවන් විතානගේ, භානුක රාජපක්ෂ, අලංකාර අසංක, ශෙහාන් ජයසූරි

නව අදහස දක්වන්න