හතුරු යටතේ ශ්‍රී ලංකා පිලේ කුලුඳුල් හතුරා බංගලියෝ | දිනමිණ

හතුරු යටතේ ශ්‍රී ලංකා පිලේ කුලුඳුල් හතුරා බංගලියෝ

ප්‍රින්ස් ගුණසේකර

බංග්ලාදේශ ක්‍රිකට් පිලෙන් ඉවත්වී මේ මස අගදී ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරු ලෙස වැඩ භාර ගන්නා චන්දික හතුරුසිංහ මහතා ජනවාරි මාසයේ බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිට රාජකාරී කටයුතු ආරම්භ කිරීමේ සූදානමකින් පසුවෙයි. වසර 2014 සිට බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු වූ හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා පිල සමග එක්වන පළමු තරගාවලියේදී බංග්ලාදේශයේට එරෙහිවීම විශේෂත්වයකි.

බංග්ලාදේශය හා සිම්බාබ්වේ සමග ශ්‍රී ලංකාව සහභාගීවන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ ජනවාරියේ පැවැත්වෙන අතර 15වැනිදා ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගය හා 17වැනිදා ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරගය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ පැමිණීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රබෝධයක් ඇතිවනු ඇතැයි ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ විශ්වාසයවී තිබේ. පසුගිය කාලයේදී බංග්ලාදේශ ක්‍රිකට් පිල ලබාගත් පෙරැළිකාර ජයග්‍රහණ සියල්ලට චන්දික හතුරුසිංහ මහතාගේ සේවය වඩාත් දායකවූ අතර කොළඹ පැවැති ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකාව පරාජය කිරීමට ද බංග්ලාදේශය සමත් විය.

චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ටෙස්ට් පිලට ක්‍රීඩා කොට අත්දැකීම් ඇති අතර 1991දී නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගය ඔහුගේ පළමු ටෙස්ට් තරගය විය. එම පළමු තරගයේ දෙවැනි ඉනිමේදී ඔහු ලකුණු 81ක් ලබා ගැනීමට ද සමත් විය. ඔහු 1999දී ලාහෝර් ටෙස්ට් තරගයෙන් පසුව ශ්‍රී ලංකා පිලට සමුදුන් අතර ඒ වනවිට ඔහු ටෙස්ට් තරග 26කට හා එක්දින තරග 35කට ක්‍රීඩා කළේය.

හතුරුසිංහ මහතා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා විසින් බංගලාදේශ ක්‍රිකට් ආයතනය වෙත පසුගියදා නිල වශයෙන් දැනුම් දී තිබිණි. ඒ සමගම ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී තිලංග සුමතිපාල මහතා ඇතුලු ක්‍රිකට් පරිපාලනය සමග දීර්ඝ සාකච්ඡාවක් ද පැවැත්විය.

වසර 2019දී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු ලෙස ගිවිසුම්ගතව සිටියදී, පසුගිය ඔක්තෝබරයේදී පුහුණුකරු තනතුරෙන් ඉවත්වන බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට ලිපියක් භාරදීමට හතුරුසිංහ මහතා කටයුතු කර තිබිණි.

එතැන් සිට මාස 3ක් ගිය පසු හතුරුසිංහ සමග බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය අස්සන් කොට තිබූ සියලු ගිවිසුම් අවලංගුවීමට නියමිත විය. 

නව අදහස දක්වන්න