වෙස්-කිලි සහ වස් | දිනමිණ

වෙස්-කිලි සහ වස්

වෙස් තට්ටුවක් හිස පැළඳගත් කාන්තා රුවක් පසුගිය දිනවල අන්තර්ජාලය පුරා ආන්දෝලනාත්මක කතිකාවක් ඇති කළේය. සංස්කෘතික අනන්‍යතාවක් සහිත නර්තන කලාවක් ඇති නිසා මේ වෙනස බොහෝ දෙනෙකුට විපරීත සිදුවීමකි. තවත් අයෙකුට එය කාන්තාවන්ට සහ පිරිමින්ට සම තැන ලබා දීම යන නූතන සංකල්පය ශක්තිමත් කරවන්නකි. මෙහි වැරදි නිවැරදිතා ගණනින් කෙසේ වෙතත් මේ හරහා ඉස්මතු වූ ඔද්දල් චරිත නම් අප්‍රමාණ ය.

'අපිට තිබ්බෙත් මෙච්චර ය. එය ඉවරෙට ම ඉවරය' යනාදී වශයෙන් දුක් අඳෝනා දෙන බොහෝ දෙනා බෙර පදයක්වත් අසා නැති අය වෙති. ජනප්‍රිය අන්තර්ජාල සංස්කෘතියට එකතු වීමේ අරමුණෙන් යම් සිදුවීමකට කොන්දේසි විරහිතව ම එරෙහි වීම සමාජ රැල්ලයි. මොවුන්ගේ ප්‍රධාන තර්කය ගැහැනිය වෙස් බැඳීමෙන් කිලි සහ වස් වදින බවයි. බෞද්ධ සංස්කෘතියක් කර පින්නාගෙන මේ සිදුවීමට කිලි සහ වස් එකතු කර ගැනීමෙන් ම මේ සංස්කෘතික හේවායින්ගේ බුද්ධි මහිමය ප්‍රකට වේ. කිලි සහ වස්වලට ඉඩක් බෞද්ධ සංස්කෘතිය තුළ නොමැත.

ස්ත්‍රීවාදිනියෝ සහ ඔවුන්ට එරෙහිවන්නෝ යන දෙපිරිසම මෙම සිදුවීමෙන් උපරිම වින්දනයක් ලබති. වෙස් තට්ටුව බැන්ද පමණින් පිරිමින් හා සම තැනක් ලැබූ බවට ඔජ වැඩීම ස්ත්‍රීත්වයටත් කරන අගෞරවයකි. උඩරට නර්තන සම්ප්‍රදාය තුළ විශේෂයෙන් කාන්තාවන් කොන් කිරීමකට ලක් කර නොමැත. ඔවුන්ට ම අනන්‍යය වූ වෙස් බැඳීමක් වන පාහිම්පත් පැළඳීම පිරිමින්ට වෙස් තට්ටුව පළඳවන සේම සිදු කරයි.

දෙපිරිසට ම සම තැන ලබා දීම නොපිළිගන්නා උදවියට කීමට බොහෝ කතන්දර ඇත. සොබාදහමෙන් කිසිවිට කාන්තාව සහ පිරිමියා මානසිකව සහ ශාරීරිකව සමතැනේ ලා නොමැත. ඒ නිසා ගැහැනිය සීමා නොපැන මේ අලුතින් පැළඳූ වෙස් තට්ටුව ගලවා තබා ගැහැනියගේ මොළය හැඳි මිටේ නිසා සුපුරුදු අං තට්ටුව හිස ලා ගැනීම මැනවි. නැටිල්ලත් පසෙක ලා කුස්සියේ බිත්ති හතරට සිර වී සිටීම වඩාත් මැනවි.

කෙළවරක් නොමැතිව රට පුරා සිදු කෙරෙන නර්තන තරඟ ද මේ සංස්කෘතික නව්‍යකරණයට හේතුවකි. නව්‍යකරණයකට වඩා විපර්‍යාසයකින් කෙළවර වන මේ තරඟ ආරම්භ කරන්නේ පාසල් අවධියේ සිට ය. සම්ප්‍රදාය බිඳුවක් නොකෙළෙසා කරන තරඟවලට ජයග්‍රහණ නැත. කුඩා කාලයේ පටන් සම්ප්‍රදායයන් බිඳ දමමින් කටයුතු කරන ප්‍රජාවක අවසන් ප්‍රතිඵලය මෙවැන්නක් වීම එක් අතකින් අරුමයක් නොවේ.

සමහර විශ්වවිද්‍යාලවල නවක වද සමයේදී ගැහැනු ළමයින්ට ඇඳීමට නිශ්චිත ඇඳුමක් ඇත. ඒ ඇඳුමට පිටින් නූල් පොටක් හෝ ඇඟ රැදුණොත් කර්ණ රසායන වාග් මාලාවක පහස ලැබීමට පුළුවන. උපහාසයට කරුණ නම් මේ වෙස් තට්ටු කතාන්දරය සම්බන්ධයෙන් ඉහත ශිෂ්‍යයන්ගේ මතයයි. රැඩිකල් බව අතේ තබාගෙන ඉපදුණු නිසාත් බොහෝ වෙලාවට සංස්කෘතිය සහ ආගමික සංකල්ප බැහැර කරන නිසාත් ගැහැනිය හිස මත රැඳි වෙස් තට්ටුව ඔවුනට හොඳ ය. නමුත් විශ්වවිද්‍යාල භූමිය තුළ කාන්තාවට වෙස් තට්ටු තියා හරිහමන් රෙදි කෑල්ලක් ඇඟ ලා ගැනීමට නොහැකි ය.

සියල්ලට ම හිමි පොදු ධර්මතාව වන වෙනස් වීම සම්ප්‍රදායටත් පොදු ය. නමුත් එය එසේ වූ පමණින් එය බලෙන් වෙනස් කිරීමේ අවශ්‍යතාවක් ද නොමැත.

තිසරණී විජයබණ්ඩාර
@Thizuu

නව අදහස දක්වන්න