බණ්ඩාරනායක මැතිඳුන්ගේ සමකාලිනයකුගේ මතකයක් | දිනමිණ

බණ්ඩාරනායක මැතිඳුන්ගේ සමකාලිනයකුගේ මතකයක්

හොරගොල්ල වලව්ව පේනමානයේ වෙසෙමින් සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක මැතිඳුන් සමීපව ඇසුරු කළ ඒත් තවමත් ජීවතුන් අතර සිටින වයස්ගතම පුද්ගලයා ඔහු විය හැකිය.

කළගෙඩිහේන මංගලතිරිය පාරට මායිම්වූ පොල්වත්තක් මැද ඔහුගේ නිවස පිහිටා ඇත. ඉදිරිපස විවෘත ආලින්දයේ දැවයෙන් නිමකළ කෞතුක අගයකින් යුතු පුටු කීපයක් හා හාන්සි පුටුවකි. සාලය කෙළවර චතුරශ්‍රකාර මැද මිදුලකි. හතරවටේම ඇති කොරිඩෝව හා බැඳුණු කාමර පෙළකි. එදා ගම්මට්ටමේ ප්‍රභූ කොටස්වල නිවෙසක් බව සිතුණි. බණ්ඩාරනායක මැතිඳුන්ගේ සමකාලිනයකු වූ ගෙහිමි සෝමරත්න කුරුප්පු රෝද පුටුවකින් කොරිඩෝව දිගේ පැමිණියේය.

ඔහුට මම ආ කාරණය කීවෙමි. ඔහුගේ වියපත් මුහුණ පැහැපත් වී ඇස් දීප්තියෙන් බැබළුණි. 97 හැවිරිදි සෝමරත්න කුරුප්පු මහතා කඩින් කඩ විරාම තබමින් එහෙත් පැහැදිලිව වදන් හසුරුවමින් කී තොරතුරු ඔහුගේ බසින්ම මෙහි බහාලමි.

“බණ්ඩාරනායක මහත්තයව මම මුලින්ම දැක්කෙ 1915 මාර්තු 3 වැනිදා කළගෙඩිහේන හන්දියෙදි. ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටියෙන් ඇඩ්වකේට් උපාධිය අරන් එතුමා ලංකාවට ආවෙ එදා. මෝටර් රථ පෙරහරකින් හොරගොල්ල වලව්වට එද්දි කළගෙඩිහේන හන්දියෙ ලොකු පිළිගැනීමක් තිබුණා. එතකොට මගෙ වයස අවුරුදු 5යි. තාත්තගෙ අතේ එල්ලිලා මම බණ්ඩාරනායක මහත්තය ලවුඩ්ස්පීකරයෙන් කතා කරන හැටි බලාගෙන හිටිය. සුදු යකඩ කූර අග හයි‍කරල තිබුණු හතරැස් මයික්‍රොෆෝනය වමතින් අල්ලාගෙන දකුණු අතේ දබරැගිල්ල ලෙළවමින් වරින් වර සුදු දත් දෙපල පේන්න හිනාවෙමින් කතා කරපු විලාසය මට දැනුත් මැවිලා පේනවා.”

‘බණ්ඩාරනායක මහත්තය‍ා එදා කතා කළේ ඉංග්‍රීසියෙන්. ඉංග්‍රීසියෙන් කතාකරන්න සිදුවීම ගැන සමාවෙන්න. බොහෝ කාලයක් රටෙන් ඈත්වෙලා හිටිය නිසා හොඳින් සිංහල කතා කරන්න මට හුරුකමක් නෑ. පස්සේ ඒ අඩුපාඩුව හදාගන්නම්. සිංහලෙන් දක්ෂ ලෙස කතාකරන්න බැරිවුණාට මට තියෙන්නේ සිංහල හදවතක් කියලා එතුමා එවෙලේ කිව්වලු. සෙනග ගොඩක් හිටපු රැස්වීමක් ජීවිතේ පළමු වතාවට මම දැක්කේ එදා. බණ්ඩාරනායක මහත්තයා වීරයෙක් හැටියට මගේ හිතේ සටහන් වුණා. පා‍සැල් යන කා‍ලයෙත් හැකි හැම වි‍ටෙකම මම එතුමාගේ රැස්වීම්වලට ගිහින් කතාවලට සවන් දුන්නා.සීනියර් පාස්වෙලා පාසලෙන් අස්වුණාට පස්සේ මම කළගෙඩිහේන තරුණ සංගමය පිහිට‍ුවලා එතුමාට ආරාධනා කළා කතාකරන්න.එතුමා ඇවිත් වටිනා කතාවක් කළා. එදා ඉඳලා තමයි එතුමගෙයි මගෙයි සම්බන්ධය ඇතිවුණේ. බණ්ඩාරනායක මහත්තයා මාත් එක්ක කොයිතරම් ළඟින් හිටියද කියනවා නම් 1951 සැප්තැම්බර් 02 වැනිදා කොළඹ නගර සභාවේදී ශ්‍රී ලංකා නිදහස පක්ෂය ආරම්භ කරන කොට මටත් ආරධනා කළා. කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. ශ්‍රී නිශ්ශංක මහත්තයගෙ යෝජනාවක් අනුව තමයි පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනුවෙන් නම් තිබ්බේ.

1956 මැතිවරණ සටන ආරම්භ වුණාම අපි ගමක් ගමක් ගානේ ගිහින් රැස්වීම් පැවැත්වූවා. දැන්වීම් පෝස්ටර් රට පුරා ඇලෙව්වා. බණ්ඩාරනායක මහත්තය සාමාන්‍ය ගමේ මිනිස්සුත් ඡන්දාපේක්ෂකයො හැටියට ඉදිරිපත් කළා. ඒ වෙනුවෙන් වියදම් කරන්න පිය‍ාගෙන් උරුම වූ ඉඩම් කීපයක් විකුණා දැම්මා. එයාගේ රොස්මිඩ් පෙදෙසෙ නිවෙසත් උකසට තියලා මුදලක් ගත්තා‍. විප්ලවකාරී සම සමාජ පක්ෂයේ නායක පිලිප් ගුණවර්ධන, විලියම් සිල්වා, භාෂා පෙරමුණ සහ තව රැඩිකල් කොටස් එකතුවෙලා මහජන එක්සත් පෙරමුණ නමින් තමයි තරග කළේ.

මැතිවරණය දවස් 03 පැවතුනා. තුන්වැනි දවසේ එළිවෙන පාන්දර වෙන කොට අන්තිම ප්‍රතිඵලයත් නිකුත් වුණා. ඒ වෙලාවේ බණ්ඩාරනායක මහත්තයත් එක්ක අපි හිටියේ හොරගොල්ල වලව්වේ‍.‍ තරග කරපු ආසන 60 න් 51 ක්ම දිනා ගැනීමට මහජන එක්සත් පෙරමුණට හැකිවුණා. ආසන 76 කට තරග කළ එක්සත් ජාතික පක්ෂයට ලැ‍බුනේ ආසන 8යි. ආසන 21 ක්ම තරග කරපු ලංකා සම සමාජ පක්ෂයට ආසන 14 ක් ලැබුණු නිසා ඇන්. ඇම්. පෙරේරා මහත්තයා විරුද්ධ පක්ෂ නායකයා වුණා. බණ්ඩාරනායක මහත්තයා අප්‍රේල් 12 වැනිදා අගමැති ධුරයේ දිවුරුම් දුන්නා. බණ්ඩාරනායක මහත්තයගේ කතා කරන විලාශයේ කට හ‍ඬේ පුදුම ආකර්ෂණයක් තිබුණේ. ආසියාවේ රිදී සීනුව කිව්වේ නිකං නෙමෙයිනේ.

උගත්කමත් සංවරයත් තියෙන මිනිස්සු කතා කරන භාෂා‍ෙවත් උගත්කමත්, සංවරයත් නැති මිනිස්සු කතා කරන භාෂ‍ාවෙත් වෙනසක් තියෙනවා.

එතුමාට වෙඩි තියපු වෙලාවෙත් කිව්වේ සිවුරු පොරවාගත් මෝ‍ඩ මිනිහෙක් මට වෙඩි කීපයක් තිබ්බා කියලයි. බලන්න කොයිතරම් පරෙස්සමින් වචන තෝරාගෙන තියෙනවද කියලා.

ඇසින් දැකීමයි නුවණින් දැකීමයි කියලා දැකීම් දෙකක් තියෙනවා‍. බණ්ඩාරනායක මහත්තයා නුවණින් දැකපු කෙනෙක්.

එතුමා නොමැරුවා නම් අද රට කොහොම හිටීද? එහෙනම් අපටත් සැනසිල්ලේ දෑස් පියාගන්න තිබුණයි කියමින් 97 හැවිරිදි සෝමරත්න කුරුප්පු මහතා මොහොතක් දෑස් පියාගෙන සමවතකට සමවැදුනාක් මෙන් නිසලව සිටියේය.

‘97 වැනි වියේ පසුවන කුරුප්පු මහතාට සියයට එකසිය විස්සක් ආයුබෝවේවා’යි කියමින් දෑත් එක්කොට ආචාර කර ඔහුගේ නිවෙසින් නික්ම ආවෙමි.

ජයවීර සුගතපාල අත්තනගල්ල විශේෂ

 

නව අදහස දක්වන්න