ව්‍යවස්ථාව විසංවාදයට! | දිනමිණ

ව්‍යවස්ථාව විසංවාදයට!

 ඇතැම් ප්‍රශ්න විසැඳීම සඳහා කාලයට ඉඩ දිය යුතු යැයි කතාවක් තිබේ. එහි අර්ථය වන්නේ කාලයත් සමඟ ඇතැම් දරදඬු තීන්දු වෙනස් වී එකඟතාවකට පැමිණෙන බව ය. එහෙත් ඒ සඳහා ඉවසීමක් අවශ්‍ය වෙ. කැපකිරීමක් ද අවශ්‍ය වේ. හදිසියට කොරොස් කටේ අත දාගැනීමටත් නො හැකි වන්නේ යැයි කියන අදහස ද මෙහි දී වැදගත් වේ. කිසියම් ජාතික ගැටලුවක් නියමාකාරයෙන් විසඳාගැනීමට නම්; ඉවසීම අවශ්‍ය වේ. කැපවීම අවශ්‍ය වේ. කාලයක් බලා සිටීම ද අවශ්‍ය වේ. මේ න්‍යාය ව්‍යවස්ථාව සම්බන්ධයෙන්ද ගළපා ගත හැකි ය. එය වෙනස් කළ යුතුය යන්න යථාර්ථයක් වුව; ඊට එරෙහි බාධක සමූහයක් ද බලවත්ව පවතී. එය වෙනස් කළ හැක්කේ කාලයත් සමඟ යැයි අපට සිතේ.

අප ඉහතින් දක්වන අදහසට කදිම සාක්ෂියක් ලෙස මැදගොඩ අභයතිස්ස හිමියන් දැක්විය හැකි ය. රට ම දන්නා උගත් - විනයධර භික්ෂු නමක වන අභයතිස්ස හිමියෝ පළමුව ව්‍යවස්ථා සංශෝධනවලට, නව ව්‍යවස්ථා සම්පාදනයට මෙන් ම ආණ්ඩුව ඒ සඳහා ගෙන යන වැඩපිළිවෙළට ද තදින් විරුද්ධ වූහ. ඒ පමණක් නොව සිල් රෙදි සම්බන්ධ සිද්ධියේ දී වැරැදි කරුවන්ගේ දඩ මුදල පිඬු සිඟා වැඩීමෙන් ගෙවා දැමීමට ද උන්වහන්සේ පෙරමුණ ගත්හ. එහෙත් මීට දින දෙකකට පෙර දී උන්වහන්සේ කළ ප්‍රකාශයක සඳහන් වන්නේ රටේ ජනවාර්ගික විරසකය මුළුමනින් විසැඳිය හැකි එක ම නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව ය. මෙය යහපත් ප්‍රකාශයකි.

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයේ මුල ගත‍හොත් එය නිදහස ලබාගැනීමටත් පෙර සිට මෝරා වැඩුණු බව කිව හැකි ය. නිදහසින් පසු ද ඊට පෙරද රටේ ජනවර්ග අතර විවිධ ගැටුම් ඇති වුව ඒවාට නිසි විසැඳුම් ලැබුණේ නැත. නිදහසින් පසු සුළු ජන කොටස් සඳහා දේශපාලන හා ආර්ථික වශයෙන් සාධාරණය ඉටු කිරීම සඳහා ගනු ලැබූ බො‍හෝ ක්‍රියාමාර්ග අවාසනාවන්ත ලෙස අසාර්ථක විය. දේශපාලන කඹ ඇදීම්, අනවබෝධය උග්‍ර ජාතිවාදය හා උග්‍ර ආගම්වාදය මේ පසු පස තිබූ සාධක ලෙස සැලැකිය හැකි ය. සෑම ජාතියක් ම පසුවන්නේ තම ජාතිය ශ්‍රේෂ්ඨය යන මත‍යේ ය. එහි වරදක් නැත. වරද ඇත්තේ එම ශ්‍රේෂ්ඨත්වය අනෙක් ජාතීන් සම්බන්ධයෙන් ද එලෙසම පවතින්නේ ය යන්න නොපිළිගැනීම තුළය.

රටක ජනවාර්ගික ගැටලු විසඳාගැනීම සඳහා ද වෙනත් මානුෂීය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ද අවශ්‍ය නෛතික පසුබිම සකස් කළ හැක්කේ ව්‍යවස්ථාව ඔස්සේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටක මූලික නෛතික ලියැවිල්ල ලෙස හැඳින්විය හැකි ය. එය කාලයේ අවශ්‍යතා අනුව වෙනස් විය යුතුය. ලෝකයේ බොහෝ රටවල ව්‍යවස්ථාව වරින් - වර වෙනස් වෙයි. එහි අදහස වන්නේ එම රටේ ජනතාව ලෝක ප්‍රවණතා සමඟ ඉදිරියට යමින් තම දියුණුව ස්ථාපිත කරගන්නා බව ය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද අලුතින් නිර්මාණය කළ යුතුය යන යෝජනාව පවතින්නේ දීර්ඝ කාලයක සිට ය . එහෙත් ව්‍යවස්ථාව වෙනස් කර ගත නො හැකි විය. සංශෝධන පමණක් සිදුවී ඇත.

රටේ ජනතාව නව ජනාධිපතිවරයකු පත් කර ගත්තේ ද අලුත් ආණ්ඩුවක් පත්කර ගත්තේ ද ප්‍රධාන අරමුණු ගණනාවක් පෙරදැරි කරගෙන ය. ඒ අතර පවතින ප්‍රධාන අරමුණු දෙකක් ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුය. පළමු අරමුණ වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කොට සියලු ජාතීන්ට සාධාරණත්වය ඉටු කරන අතර ජාතික සමගිය හා සංහිඳියාව ගොඩනැඟීම ය. දෙවන අරමුණ වන්නේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කොට ව්‍යවස්ථා සභාවට වගකියන පාලන ක්‍රමයක් ඇති කිරීමය. මේ අරමුණු දෙක සම්බන්ධයෙන් මීට පෙරද ප්‍රයත්න ක්‍රියාත්මක වී ඇති අතර ඒ එකක්වත් සාර්ථක වූයේ නැත. ඒ අනුව බලන විට පෙනී යන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නිර්මාණය සම්බන්ධයෙන් තීරණාත්මක සන්ධිස්ථානයකට අප පැමිණ සිටින බව ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය ඊයේ ආරම්භ විය. එය තවත් දින කිහිපයක් පැවැත්වීමට නියමිත ය. මේ ව්‍යවස්ථාව ගැන මේ වන විටත් විවිධ මත පළ වී ඇත. එක මතයකට අනුව අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ නැත. තව මතයකට අනුව බුද්ධාගමට පළමුතැන ලැබෙන ලෙස ද මධ්‍යම ආණ්ඩුව ප්‍රබලයා වන ලෙස ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය විය යුතුය. තවත් මතයකට අනුව අලුත් ව්‍යවස්ථාවක් සම්මත වුවහොත් පාර්ලිමේන්තුව පවා විනාශකළ යුතුය. මෙබඳු විවිධ අදහස් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පවතී. මේ හැරෙන්නට නව ව්‍යවස්ථාවට එරෙහිව ස්ථාන කිහිපයකින් විරෝධතා හා පෙළපාළි පැන නැඟී ඇත. පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට බත්තරමුල්ල ප්‍රදේශයේ දී ද ව්‍යවස්ථාවට එරෙහි උද්ඝෝෂණයක් පැවැත්විණි.

ව්‍යවස්ථාවක් කියුව ද ආණ්ඩුව තවම නව කෙටුම්පතක් සම්පාදනය කර නැත. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ අතුරු වාර්තාවකි. එහි ඇත්තේ විවිධ දේශපාලන පක්ෂ, සංවිධාන, දේශපාලකයන් පමණක් නොව පුද්ගල චරිතද විශේෂයෙන් මේ ගැන දක්වන අදහස්වල සම්පිණ්ඩනයකි. ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සඳහා වෙන ම වැඩසටහනක් ක්‍රියාත්මක කළේ ය . ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා මහජන අදහස් ලබාගැනීම අතිශයෙන්ම වැදගත් ය. එය සිදුවී ඇත්තේ අපේ දේශපාලන ඉතිහාසයේ පළමුවන වතාවටය. එයින් පෙනී යන්නේ ව්‍යවස්ථා නිර්මාණයේ දී ආණ්ඩුව ඉතා නිවැරැදි ස්ථාවරයක සිටින බව ය.

ව්‍යවස්ථා විරෝධය පසු පස ඇත්තේ දේශපාලන අරෝවක් යැයි කියන්නට පුළුවන. බලයේ සිටින ආණ්ඩු පක්ෂය යමක් සිදු කරන විට විපක්ෂය ඊට විරුද්ධ වෙයි. විපක්ෂය බලයට පත්ව ආණ්ඩු පක්ෂය ලෙසින් යමක් සිදුකරන විට පැවැති ආණ්ඩු පක්ෂය ඊට විරුද්ධ වෙයි. මෙය විසම චක්‍රයක් ලෙස අඛණ්ඩව පවතී. සත්‍ය ලෙස ම දැන් කළ යුත්තේ කාලය කා දැමීම නොව; හැකි විගස නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ය. අතුරු ව්‍යවස්ථාවේ ඇති ‍බොහෝ යෝජනාවලට සුළු ජන පක්ෂ හා සුළු ජන කොටස් එකඟතාව පළ කර තිබේ. එය අප ලැබූ ජයග්‍රහණයක් සේ සැලැකිය හැකි ය. ‍මේ ස්වර්ණමය අවස්ථාවෙන් ප්‍රයෝජන ගත නො හැකි නම්; රට විශාල විනාශයක් කරා ඇදී යනු ඇත.

නව අදහස දක්වන්න