චෙල්සි ක්ලින්ටන් පොතක් ලියයි නඩුත් වැටෙයි | දිනමිණ

චෙල්සි ක්ලින්ටන් පොතක් ලියයි නඩුත් වැටෙයි

අමරිකානු දේශපාලන කරළියේ වැජඹුණු ප්‍රකටම ජනපති යුවළක් වන බිල් හා හිලරි ක්ලින්ටන් යුවළ එකී ධුරවලින් ඉවත් වීමෙන් පසුව වුවද ලෝක මාධ්‍යජාලවලින් වසන් වූයේ නැත. අසම්මත පෙම් පළහිලව්, නඩුහබ, අසාර්ථක ජනපතිවරණ අපේක්ෂකත්ව සටන් ව්‍යාපාර, මතභේදාත්මක විද්‍යුත් තැපැල් පණිවුඩ, රහසිගත රාජ්‍ය තොරතුරු අනාවරණය කිරීම් වැනි ආන්දෝලනාත්මක සිදුවීම් සමුදායක වග උත්තරකරුවන් දෙපළක් ලෙස ක්ලින්ටන් යුවළ ඉතිහාසගතව හමාරය. නමුත් ඊට සාපේක්ෂව ඔවුන් දෙපළගේ එකම දියණිය වන ‘චෙල්සි‘ මේ වන තෙක් එබඳු ආන්දෝලනවලින් ඈත්ව සිටීමට පරෙස්සම් වූවාය. නමුත් ක්ලින්ටන් පවුලට දෛවයෙන් උරුම වූ අපවාදවලට ගොදුරු වීමේ ප්‍රවණතාවෙන් සදහටම මිදී සිටීමට ඇයටත් හැකි වූයේ නැත. හාපුරා කියා පොතක් ලියා ප්‍රකාශයට පත්කළ චෙල්සි ඇගේ කුලුදුල් පොත වෙනුවෙන් මේ දිනවලදී නඩුහබයක පැටලී සිටින්නේ ඒ සත්‍යතාව කියා පාමිනුයි.

සිය මව මෙන්ම කවදත් ස්ත්‍රීවාදිනියක් වූ චෙල්සි ක්ලින්ටන් හාපුරා කියා ප්‍රකාශයට පත්කළේද ඇගේ එකී කාන්තා මුලික ප්‍රතිපත්තීන්ට ඔබින කෘතියකි. ‘She Persisted’ (ඇය අප්‍රතිහතව නැඟී සිටියාය) යන මැයෙන්, ඉකුත් ජුනි මාසයේදී එළි දැක්වුණු මෙම ළමා කෘතියට ඉතිහාසය වෙනස් කළ ධෛර්යසම්පන්න ඇමරිකානු කාන්තාවන් දහතුන්දෙනකුගේ ජීවන පුවත් ඇතුලත්ය. ප්‍රකාශයට පත්වීමත් සමඟ උණු කැවුම් මෙන් අලෙවි වූ මෙම කෘතිය මාසයක් වැනි කෙටි කාලයක් තුළදී ‘නිව්යෝක් ටයිම්ස්‘ හොඳම අලෙවි වාර්තා ලැයිස්තුවේ අංක එකට පැමිණීමට තරම් වාසනාවන්තව තිබිණි. එපමණක්ද නොව එම අංක එකේ ජනප්‍රියත්වය මේ දක්වා සති දාහතක් අඛණ්ඩව පවත්වාගෙන යාමටත් සමත්වූ ‘She Persisted’ කෘතියට නොසිතු ලෙස නඩු වැටුණේ ඒ අතරවාරයේදි යි. කතෘ හිමිකම් මුල්කර ගනිමින් ඉකුත් ජුලි මාසයේදී ක්ලින්ටන් දියණිය සමඟ නඩු කියන්නට ඉදිරිපත් වූයේ ‘ක්‍රිස්ටෆර් ජෙන්ස් කිම්බර්ලි‘ නමැති තවත් ඇමරිකානු ලේඛකයෙකි.

පනස්හය හැවිරිදි මොහු චෝදනා කරන්නේ චෙල්සි සිය කෘතිය ලියා ඇත්තේ තමාගේ අදහසක් සොරා ගැනීමෙන් බවයි. එපමණක්ද නොව තමා 2013 වසරේදී ප්‍රකාශයට පත්කළ ‘ A Heart Is the Part That Makes Boys And Girls Smart’ යන කෘතියේ එන කාන්තා චරිත තුනක් එයාකාරයෙන්ම චෙල්සි සිය පොතට ඇතුලත් කර ඇති බවටත් ඔහු අවලාද නඟයි. කිම්බර්ලිගේ කෘතියේ එන හෙලන් කෙලර්, හැරියට් ටබ්මන්, හා නෙලි බ්ලයි යන කාන්තාවන් තිදෙනා චෙල්සිගේ පොතේද ඇතුලත් ය. ඒ අතරින් මාධ්‍යවේදිනියක වන නෙලි බ්ලයිගේ කියමනක් ලෙස කිම්බර්ලිගේ පොතේ සඳහන් ‘මගේ හදවතින් පැන නොනැඟි එකඳු වදනක් හෝ මා කිසිදා ලියා නැත. ලියන්නේද නැත‘ යන ප්‍රකාශය එයාකාරයෙන්ම චෙල්සිගේ පොතටද ඇතුලත්ව තිබේ. නමුත් කිම්බර්ලිගේ චෝදනා එතැනින් අවසන් වන්නේ නැත. චෙල්සිට පමණක් නොව ඔහු ඇගේ පොත ප්‍රකාශයට පත්කළ පොත් ප්‍රකාශන ලොවේ දැවැන්තමයකු වන ‘පෙන්ගුයින් රැන්ඩම් හවුස්‘ ප්‍රකාශන සමාගමටද බරපතළ චෝදනාවක් එල්ල කර තිබේ. ඊට අනුව කිම්බර්ලි සිය පොත පිළිබඳ යෝජනාව ෆේස්බුක් පණිවුඩයක් හරහා මුලින්ම ඉදිරිපත්කර ඇත්තේ පෙන්ගුයින් සමාගමටයි. එම සමාගමේම සහෝදර සමාගමක් වන ‘පෙන්ගුයින් යන්ග් රිඩර්ස් යු.එස්‘ හි සභාපතිවරිය වන ජෙනිෆර් ලෝජි, තම පොත පිළිබඳවූ එම සංකල්පය කියවා එය චෙල්සිට ලබාදුන් බව ඔහුගේ තර්කයයි. ඇගේ ‘She Persisted’ කෘතිය නිර්මාණය වූයේ තමන් පෙන්ගුයින් සමාගමට ඉදිරිපත් කළ එම සංකල්පයෙන් බවට කිම්බර්ලි නඟන චෝදනාව ඒ අනුව බරපතළ වූවකි. මන්ද එය සත්‍යයක් නම් පෙන්ගුවින් සමාගම ක්ලින්ටන් හා එක්ව සිතාමතාම කතෘ හිමිකම් උල්ලංඝණය කොට ඇති නිසාය.

ක්ලින්ටන්ගේ පොත එළිදැක්වීමට ප්‍රථමයෙන් සිටම ඒ ගැන සොයා බලා ඇති කිම්බර්ලි එය ප්‍රකාශයට පත් කිරීමෙන් වළකින ලෙසට ක්ලින්ටන්ට මෙන්ම පෙන්ගුවින් සමාගමටද දන්වා තිබේ. එම දැනුම්දිම්වලට එරෙහිව යමින් චෙල්සි සිය පොත ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඇයට එරෙහිව ඇමරිකන් ඩොලර් එක්ලක්ෂ පනස්දහසක වන්දියක් ඉල්ලමින් නඩු මඟට බැසීමට කිම්බර්ලි පියවර ගෙන තිබේ. වන්දියට අමතරව පොතේ ලාභයෙන් කොටසක්ද තමාට හිමිවිය යුතු බවට ඔහු අධිකරණය ඉදිරියේ තර්ක කොට තිබේ. කෙසේවුවත් චෙල්සි ඇතුලු ඇගේ නියෝජිත නීතිඥ කණ්ඩායම කිම්බර්ලිගේ චෝදනා අවාඥාවෙන් බැහැර කොට ඇත්තේ ඒවා පදනම් විරහිත වුවක් බව පවසමිනුයි. කිම්බර්ලිගේ පොතේ එන චරිත තුනක් චෙල්සිගේ පොතටද ඇතුලත් විම අලුත් දෙයක් නොව බවත්, ඕනෑතරම් ලේඛකයන් දශක ගණනාවක සිට මෙම චරිත දෙක පිළිබඳව ළමා කතා ප්‍රකාශයට පත්කොට ඇතිය, යන්නත් ඔවුන්ගේ තර්කයයි. මේ පදනමේ හිඳිමින්, තමාගේ පොතට එරෙහිව පනවා ඇති මෙම වන්දි නඩුව ඉවත් කරන ලෙසට චෙල්සි අධිකරණයෙන් ඉල්ලා සිටියේ පසුගිය සතියේදියි.

පොතට එරෙහිව නඩුවක් ක්‍රියාත්මක වත්දි වුවද එහි ප්‍රචාරණ කටයුතුවලට චෙල්සි එය බාධාවක් කර ගත්තේ නැත. ආන්දෝලනයට තුඩුදුන් ‘නෙලි බ්ලයිගේ‘ ප්‍රකාශය රැගත් පිටුද සහිත ඡායාරූප ට්විටර් සමාජ ජාලය ඔස්සේ නිකුත් කරමින් එහි ප්‍රවර්ධන කටයුතු ඇය අඛණ්ඩව කරගෙන ගියාය. එපමණක්ද නොව ‘She Persisted’ කෘතියේ ස්පාඤ්ඤ භාෂාවෙන් කළ පරිවර්තනයක්ද දැනටමත් එළි දක්වා අවසන්ය. කොටින්ම කිම්බර්ලි නඩු මඟට බැසීම ක්ලින්ටන් කෘතියේ ජනප්‍රියත්වය තවත් වැඩි කිරීමට මිස බාල කිරීමට හේතුවක් වූයේ නැත.

කෙසේ වුවද ඇතැම් විචාරකයින්ගේ අදහස වී ඇත්තේ නඩු හබය පිටුපස ඊනියා පළිගැනීමේ චේතනාවක් ක්‍රියාත්මක වන බවයි. කිම්බර්ලි මුල සිටම හිලරි ක්ලින්ටන්ගේ ජනපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මෙන්ම ක්ලින්ටන් පදනම කෙරෙහිද විවේචනාත්මකව ක්‍රියා කළ අයෙක් ලෙස ප්‍රකටය. ඔහුගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කරන්නකුට නිදර්ශක සහිතවම මේ බව තහවුරු වනු ඇත. ක්ලින්ටන් පදනමේ උප සභාපතිවරිය වන්නේ චෙල්සිය. මේ නිසා ක්ලින්ටන් උදවියට පහර ගැසීමේ අරමුණින් මෙබඳු පියවරකට කිම්බර්ලි අවතීර්ණ වූවාද යන්නට ඇත්තේ සැකයකි. එය සැබෑවක් වන්නේ නම් කිම්බර්ලි දැන් මුහුණ දී සිටින්නේ වදින්නට ගිය දේවාලය හිසේ කඩා වැටිමක් බඳු අත්දැකීමකට ය. මන්ද සතුරා අඩපණ කිරීමට එල්ල කළ ප්‍රහාරය ඔහුගේම වාසියට හැරි ඇති නිසාය.

රුක්ලන්ති පෙරේරා 

නව අදහස දක්වන්න