ඕනෑම කෙනෙකුට අධ්‍යාපනය ලැබීමට සුදුසු පසුබිමක් සැකසිය යුතුයි | දිනමිණ

ඕනෑම කෙනෙකුට අධ්‍යාපනය ලැබීමට සුදුසු පසුබිමක් සැකසිය යුතුයි

උපාලි කරුණාරත්න

* නවෝත්පාදන ආර්ථිකයකට උගතුන් අවශ්‍යයි
* ප්‍රමිතිය ඇත්නම් අධ්‍යාපන ආයතන ගැන ගැටලු මතුවන්නේ නැහැ
* අධ්‍යාපන අවස්ථා වයස අනුව තීරණය නොවිය යුතුයි

විරෝධතාවලට නිවැරැදිව මුහුණ දීමේ ජනපති ක්‍රියාකලාපයට අපේ ප්‍රසාදය
- ආචාර්ය සුසිත් මාක් ලාල් සිල්වා පියතුමා

වයස් බේදයකින් තොරව අධ්‍යාපනය සඳහා උනන්දුව හා කැපවීම දක්වන ඕනෑම කෙනෙකුට අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය පසුබිම සැකසිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ පෙරේදා (20) බොරැල්ල ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනයේ පැවැති 2017 උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වෙමිණි. මෙහි දී මනෝවිද්‍යා උපදේශනය, තොරතුරු තාක්ෂණය, ආගමික අධ්‍යාපනය පිළිබඳ උපාධි පිරිනැමූ අතර අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන්, රදගුරුවරුන්, පියතුමන්ලා හා ඇමැති ජෝන් අමරතුංග, ජෝෂප් මයිකල් පෙරේරා මහත්වරුන්, විද්වතුන්, උපාධි අපේක්ෂකයින් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගි වූහ.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා - අපේ රටේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපනය ලබාදෙන ආයතනයක් වශයෙන් ඇක්වයිනාස් විද්‍යාලට තිබෙන තිබෙන කීර්තිමත් ඉතිහාසය පිළිබඳ මා ඉතාමත් සතුටට පත්වෙනවා. ඒ වගේම 2017 වසරේ උපාධි ප්‍රදානෝත්සවයට ඔබ සියලු දෙනා සමඟ එක්වන්න ලැබීම පිළිබදවත් මම සන්තෝෂ වෙනවා.

මෙම උත්සව සභාවට ආරාධනා කිරීම පිළිබඳ උප උපකුලපතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට මගේ ස්තුතිය මම මුලින්ම පුද කරනවා. ඇක්වයිනාස් විද්‍යාලය ගෙවීගිය දශක කීහිපය තුළ අප කාගේත් ගෞරවයට හා ඇගයීමට ලක් වූ අධ්‍යාපනක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනය කිසිවකු කිසි විටෙක අධ්‍යාපන කඩයක් වශයෙන් හැඳින්වූයේ නැහැ.

එසේ වන්නට හේතුව ලාභය පදනම් කර නොගනිමින් ක්‍රියා කිරීමයි. සත්‍ය ලෙසම දරුවන්ගේ අධ්‍යාපනය සඳහා, නව පරපුරේ අධ්‍යාපනය සඳහා ක්‍රියාත්මක වන විශිෂ්ට උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස මෙම ආයතනය ක්‍රියා කරනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයන් තුළ තිබිය යුතු අධ්‍යාපන කළමනාකරනය වගේම නිසි පරිපාලනය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉතාමත් උසස් මට්ටමකින් ආරක්ෂා කරගනිමින් කටයුතු කරනවා. ගෙවීගිය කාලය පුරා මේ දක්වා සෑම විටම මෙම අධ්‍යාපන ආයතනයේ ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය පියවරෙන් පියවර උසස් කිරීමට මෙම කළමනාකාරිත්වය කටයුතු කර තිබෙනවා.ඒ නිසා මම විශ්වාස කරනවා මෙහි අතීතයේ අධ්‍යාපනය ලැබූ පරපුර වගේම අද දවසේ වගේම හෙට දවසේ බිහිවන තරුණ පරපුර සමාජයට විශිෂ්ට සේවයක් කරයි කියා. ඔවුන් ඉතාමත් දක්ෂ හැකියාවන්ගෙන් යුත් නිර්මාණශීලීභාවක් තිබෙන පිරිසක් බව මා විශ්වාස කරනවා.

අධ්‍යාපනයේ තිබෙන වැදගත්කම ඔබ අප කවුරුත් පැහැදිලිව දන්නවා. නව තාක්ෂණයත් සමඟ දියුණු රටවල් පෙරට ගමන් කරනවා. ඔවුන් නවෝත්පාදන ආර්ථිකය තුළින් පෙරට ගමන් කරනවා. අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට නවෝත්පාදන ආර්ථිකය සඳහා උගතුන් වැඩි වැඩියෙන් අවශ්‍ය වෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි අධ්‍යාපනය, පවතින තවත් රාජ්‍ය ආයතනවල අධ්‍යාපනය වගේම රාජ්‍ය නොවන අංශ වලින් උගත් පිරිසක් රටට බිහි කිරීම අවශ්‍ය වනවා. රටේ අනාගතය සඳහා රජයකට වගේම රජයේ නොවන අංශ, ව්‍යාපාරික අංශවලින් කළයුතු කළ හැකි යුතුකම් තිබෙනවා. අධ්‍යාපන ආයතන තමන්ගේ වගකීම් සහ යුතුකම් ඉටු කිරීමේ දී ඉතාමත්ම වැදගත් වන්නේ උගතුන් බිහි කිරීමයි. උගතුන් පිරි සමාජයකින් රටක අනාගතය ශක්තිමත් කළ යුතුයි. අප ශ්‍රී ලාංකිකයින් ලෙස එක් පැත්තකින් නිදහස් අධ්‍යාපනයෙන්, තවත් පැත්තකින් ආගමික අධ්‍යාපන ආයතනය තුළින්, රාජ්‍ය නොවන අධ්‍යාපන ආයතන තුළින් දැනුම ලබාගෙන තිබෙනවා. ඒවා තුළින් බිහිවූ උගතුන් බුද්ධිමතුන් විද්වතුන් ජාත්‍යන්තරයද ජයග්‍රහණය කර තිබෙනවා. ඉදිරියටත් අප අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විශිෂ්ටයින්ගේ විය යුතුයි. ප්‍රමුඛයින්ගේ ප්‍රමුඛයින් විය යුතුයි. අපි ලාංකිකයින් ලෙස ඉතාම භාග්‍යවන්ත වූ ජාතියක් වශයෙන් හඳුන්වන්න පුළුවන්.

අධ්‍යාපනයේ තිබෙන තරගකාරීත්වය පිළිබඳ අප දන්නවා. අද වාණිජ සමාජය තුළ අධි තාක්ෂණික ලෝකය තුළ අධ්‍යාපනයට හිමිවන්නේ ප්‍රබල ස්ථානයක්. අධ්‍යාපනයේ තිබෙන තරගකාරීත්වය දරුවන් සහ නව පරපුර සඳහා විශේෂයි. එමෙන්ම අධ්‍යාපනය දරුවන්ට පමණක් සීමා වූ තරුණයින්ට පමණක් සීමා වූ එහෙම නැත්නම් නව පරපුරට පමණක් සීමා වූ දෙයක් නොවේ. වයස් සීමාවක් නොමැති සෑම කෙනෙකුටම, අධ්‍යාපනය සඳහා උනන්දුවක් කැපවීමක් තිබෙන ඕනෑම කෙනෙකුට අධ්‍යාපනය හැදෑරීමේ අවශ්‍ය පසුබිම අප සැකසිය යුතුයි.

අපේ රටේ මෑත භාගයේ රාජ්‍ය නොවන අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සම්බන්ධයෙන් අදහස මත විවේචන දෝෂාරෝපණ නොයෙක් ආකාරයෙන් ඇතිවූ බව හැම කෙනෙක්ම දන්නවා. වාද විවාදවලට ලක් වී ඇති මෑත භාගය තුළ උද්ඝෝෂණ විරෝධතා ඇතිවූ සයිටම් ආයතනය පිළිබඳ ගැටලුවේ දී එය විසඳීම සඳහා ගත හැකි ගත යුතු පියවර රාශියක් අප ක්‍රියාත්මක කළා. එහෙත් ඒ විසඳුම් පිළිනොගන්නා සිසුන් සහ දේශපාලන සංවිධාන තවත් පැත්තකින් මේ සඳහා උනන්දුවක් දක්වන පිරිස් සමාජය තුළ දක්වන විවිධ ආකල්ප සහ මතවාදයන් අප දන්නවා. ලබන සතියේ අප බලාපොරොත්තු වනවා සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය වශයෙන් දිය හැකි දිය යුතු අවසන් විසඳුම ලබා දීම පිළිබඳ ප්‍රකාශයට පත් කරන්නට. එහි දී ප්‍රධාන වශයෙන් මේ සඳහා උද්ඝෝෂණ කළ සිසුන් සහ විරෝධතා ආකල්ප දැක්වූ බොහෝ අයට අප විසින් මේ වන විට සකස් කර ඇති විසඳුම ප්‍රමාණවත් වෙයි කියා අප විශ්වාස කරනවා. ලබන සතිය වන විට රජය විසින් ඉදිරිපත් කරන අපගේ තීන්දුව පිළිබඳ මම අද උදේ ඒ සඳහා පත් කළ ප්‍රධාන කමිටුව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කළා.

පෞද්ගලික අධ්‍යාපන ආයතන සම්බන්ධයෙන් බොහෝ විට ප්‍රශ්න ඇති වන්නේ අධ්‍යාපනයේ තිබිය යුතු ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය පිළිබඳ ඇතිවන ගැටලු නිසයි. අධ්‍යාපනය රාජ්‍ය වේවා රාජ්‍ය නොවන වේවා ඒ සෑම ආයතනයකම ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය නිසි ආකාරයෙන් තිබේ නම් මෙවැනි ගැටලු මතුවන්නේ නැහැ. ඒ වගේම ගුණාත්මක භාවය හා ප්‍රමිතිය තිබෙන ආයතනය දවසින් දවස ශක්තිමත්ව ඉදිරියට ගමන් කරන බවත් මා මේ අවස්ථාවේ දී ප්‍රකාශ කරනවා. රටක් ලෙස අප ඉදිරියට යාමට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉතා අත්‍යවශ්‍යයි. එහි දී ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනය දක්වන සහයෝගය මේ අවස්ථාවේ අගය කළ යුතුයි. මම ඇක්වයිනාස් විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් මගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරනවා.

ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනයේ උප කුලපති ආචාර්ය සුසිත් මාක් ලාල් සිල්වා පියතුමා-

ඇක්වයිනාස් අධ්‍යාපන ආයතනය මේ වනවිට සියලු අභියෝගයන් මැඩ ගනිමින් ඉදිරියට ගමන් කරමින් තිබෙනවා. දේශපාලනයෙන් හිස උදුම්මාගත් ඇතැම් පිරිස් ක්‍රියාත්මක කරන විරෝධතාවලට ඇතැමුන් මුල්තැන දෙන මෙවන් අවදියක ඒවාට නිවැරදිව මුහුණ දෙමින් ක්‍රියා කරන ජනාධිපතිතුමා පිළිබඳ අප සංතෝෂයට පත්වනවා.

ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන යහපාලනය හේතුකොට ගෙන ගමට නගරයට රටට නිවැරදි මාර්ගයක් ඇතිවිය යුතුයි. අප ආයතනය ලාභ නොලබන අධ්‍යාපන ආයතනයකි. ජනාධිපතිතුමා මෙම උත්සව අවස්ථාවට පැමිණීම අපට මහත් සංතෝෂයක්. ඒ නිසා පහසුකම් අඩු, අධ්‍යාපනයට ලැදි ගම්බද දරුවන් පස් දෙනෙකුට ලබන වසරේ සිට ඔබතුමාගේ අභිමතයට අනුව ශිෂ්‍යත්ව අප ලබා දෙනවා. ඔවුන්ට උපාධි හෝ ඩිප්ලෝමා පාඨමාලා මේ ආයතනයෙන් හැදෑරිය හැකියි. මෙ සිදු කරන්නෙ ජනාධිපතිතුමාට ගෞරවයක් වශයෙන්.

ඡායාරූප- සුදත් මලවීර

නව අදහස දක්වන්න