ටී.බී.ඡායා පාසල් බොක්සිං ශූරතාව මුලතිව් ක්‍රීඩකයෝ අතට ගනිති | දිනමිණ

ටී.බී.ඡායා පාසල් බොක්සිං ශූරතාව මුලතිව් ක්‍රීඩකයෝ අතට ගනිති

ෆවුස් මොහොමඩ්

පාසල් බොක්සිං වළල්ලේ ප්‍රමුඛතම තරගාවලියක් වන ටී.බී.ඡායා බොක්සිං තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට මුලතිව් විද්‍යානන්ද ජාතික පාසල් කණ්ඩායම සමත්විය. ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමයේ සංවිධායකත්වයෙන් මුලතිව් විද්‍යානන්ද ජාතික පාසල් ශාලාවේ පැවැති 48 වැනි ටී.බී.ඡායා බොක්සිං තරගාවලියේ කැපී පෙනෙන දස්කම් පෑ එම විදුහලේ ක්‍රීඩකයන් රන් පදක්කම් 4ක් දිනාගනිමින් මේ ශූරතාවට හිමිකම් කීවේය.

මෙරට පාසල් බොක්සිං වළල්ලේ විශිෂ්ටතම කණ්ඩායම් 44ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 200කට ආසන්න සංඛ්‍යාවක් තරග වැදුණු මේ තරගාවලියේ අනුශූරයන් බවට පත්වූයේ රන් පදක්කම් 3ක් දිනූ මාතර, කඹුරුපිටිය මහා විද්‍යාලයීය කණ්ඩායමය. රන් පදක්කමක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනාගත් හොරණ විද්‍යාරතන විද්‍යා පීඨය තුන්වැනි ස්ථානයට පත්විය.

මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මුලතිව් විද්‍යානන්ද ජාතික පාසල් කණ්ඩායමේ වී.සම්ෂාන් සම්මාන දිනූ අතර හොරණ විද්‍යාරතන විද්‍යා පීඨයේ කේ.ඩබ්.ඒ.මනෝජ් හොඳම පරාජිත ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේය.

අවුරුදු 13-14 වයස් කාණ්ඩයේ බරපන්ති 6ක්, අවුරුදු 15-16 වයස් කාණ්ඩයේ බර පන්ති 5ක් සහ අවුරුදු 17-18 වයස් කාණ්ඩයේ බර පන්ති 5ක් යටතේ තරග පැවැත්විණි. 

 

නව අදහස දක්වන්න