කකුල කැඩී වැටුණත් බොක්සිං ශූරතාව වලිසුන්දරට | දිනමිණ

කකුල කැඩී වැටුණත් බොක්සිං ශූරතාව වලිසුන්දරට

වසර 1997 අග භාගයේ දී පැවැත්වීමට නියමිතව තිබූ 72 වැනි ජාතික බොක්සිං ශුරතාවලිය ප්‍රමාද වී පවත්වන ලද්දේ 1998 වසරේ ජනවාරි මස 6, 7 සහ 8 තෙදින තුළ දී කොටහේනේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරයේදීය. එය මෙහෙයවන ලද්දේ ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය විසිනි. එකළ එහි සභාපති වූයේ නියෝජ්‍ය පොලිස්පති ධර්මසිරි වීරකෝන් මහතාය. මා සංගමයේ ලේකම් ලෙසත් විනිශ්චය කරුවන්ගේ සංගමයේ ලේකම් ලෙසත් කටයුතු කළෙමි. විවිධ පාසල්වලින්ද ක්‍රීඩකයෝ ඊට ඉදිරිපත්ව සිටියහ. ඔවුන් අතර මහනුවර විද්‍යාර්ථ විදුහලේ නිලන්ත වලිසුන්දර, මංජු වන්නිආරචිචි හා බන්දුල වික්‍රමසිංහත්, වේයන්ගොඩ මහ විදුහලේ ආර්.පී. වීරසිංහත් වූහ. ඔවුන් සියලූ දෙනාම මේ තරඟාවලියේ දී ජාතික ශූරතා දිනා ගත්හ.

අවසාන තරග පැවැත්වූ ජනවාරි 8 වන බ්‍රහස්පතින්දා ජූරී සභිකයන් ලෙස මා සමඟ ඔලිම්පික් හා ජාත්‍යන්තර තීරක වරයකු වූ ධර්මසිරි වීරකෝන් මහතා සහ ආසියානු තීරකවරයකු වූ කේ.වී. ධර්මදාස මහතා කටයුතු කළ අතර බටහිර වෛද්‍යවරු පස් දෙනෙකුත් එදින පැමිණ සිටියහ.

ෆෙදර් බර පන්තියේ තරගය

කිලෝ ග්‍රෑම් 57ට අඩු ෆෙදර් බර පන්තියේ අවසාන තරඟය වූයේ එම්.ආර්.මරික්කාර් හා මහනුවර විද්‍යාර්ථ විදුහලේ එන්.බී. වලිසුන්දර අතරය. ගුවන් හමුදාවට බැඳීමට පෙර මරික්කාර් තරග කළේ දෙමටගොඩ ශාන්ත මැතිව් විදුහල වෙනුවෙනි. ඊට පෙර දින පැවැති අර්ධ අවසාන තරඟයේ දී මරික්කාර්ට තරග කිරීමට නියමිතව තිබුණේ කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගමයේ (වයි.එම්.සී.ඒ.) කේ.පී.රොෂ්න්ට එරෙහිවය. එහෙත් එදින රොෂ්න් තරඟයට ඉදිරිපත් නොවීම නිසා මරික්කාර්ට Walk-Over ජයක් ලැබිණ. ප්‍රථම දිනයේ පැවැති අර්ධ පූර්ව අවසාන තරඟයේ දී වලිසුන්දර ගුවන් හමුදාවේ ටී.ජී.ඩී.එන්. තුෂාර පැරදවූ අතර දෙවැනි දින පැවැති අර්ධ අවසාන තරඟවල දී ඔහු යුද හමුදාවේ ඒ කණ්ඩායමේ ඒ. රණසිංහ පැරදවීය.

වලිසුන්දරගේ දක්ෂතාව

වලිසුන්දර 1993 වසරේ සිට වසර ගණනාවක්ම ජාතික ශූරයෙක් වූ අතර 1993, 1994 සහ 1996 වසරවල ජාතික ශූරතා තරඟවල දී වඩාත් විද්‍යානුකූල ක්‍රීඩකයාට පිරිනැමෙන ‘‘මැනිං’’ කුසලාන දිනා ගත්තේය. එසේම 1995 වසරේ ඉන්දියාවේ මදුරසියේ පැවැති 7 වැනි සාෆ් තරඟාවලියේ දී එම බර පන්තියේ රි දී පදක්කම ලබා ගත්තේය. එසේම 1998 වසරේ ඔක්තෝම්බර් මස නේපාලයේ හත්මන්ඩු නුවර පැවැත්වීමට නියමිත 8 වැනි සාෆ් තරඟාවලියේ දී නිසැකයෙන්ම රන් පදක්කම දිනා ගනු ඇතැයි කවුරුත් බලාපොරොත්තු වූහ.

තරග සඳහා ක්‍රීඩකයන් කවයට

මේ තරඟය සඳහා නිවේදක විසින් ක්‍රීඩකයන් දෙදෙනා කවය මතට කැඳවනු ලැබීය. මරික්කාර් තරග කළේ රතු කොනෙනි. වලිසුන්දර පැමිණියේ නිල් කොනෙනි. මරික්කාර් වලිසුන්දරට වඩා උසින් වැඩි සිහින් සිරුරකින් යුත් වූ අයෙක් වීය. වලිසුන්දර හැඩිදැඩි ශක්තිමක් සිරුරකින් යුතු අයෙක් වීය. තරගය විනාඩි තුනේ වට තුනකින් යුක්ත වීය. තරඟයේ තීරකවරයා වූයේ තිස්ස චන්ද්‍රදාස මහතාය. ඔහු මීට පෙර යුද හමුදාව නියෝජනය කර ඇති හිටපු ජාතික ශූරයෙකි.

තරඟයේ ප්‍රථම වටය ඇරැඹිනි. වලිසුන්දරගේ පහරවල ප්‍රබලතාව දන්නා මරික්කාර් තරග කළේ ඈත සිට පරිස්සමෙනි. ඔහුගේ දිග අත් හා පාද ඔහුට උපකාරයක් වීය. අවසානයේ දී වලිසුන්දර නිසැකයෙන්ම ජය ගන්නා බව දත් ඔහු නොක් අවුට් (Knock - Out) නොවී සිටීමට තැත් දැරීය. කෙසේ වුවත් වලිසුන්දර ප්‍රතිවාදියාව හඹා යමින් ඔහුට පහර දුන්නේය. ඔහු තමාගේ ශක්තිමත් අත් නවා ගහන හුක් (Hook) පහරවල් හා ඉහළට ගහන අපර් කට් පහර කිහිපයක් ප්‍රතිවාදියාට වැදිනි. විනාඩි 3 අවසන් වී ප්‍රථම වටය නිමාවට පත්විය.

දෙවැනි වටයේ දී කකුල කැඩෙයි

විනාඩියේ විවේකයෙන් පසු දෙවන වටය ඇරැඹිනි. මරික්කාර්ට පහර දීමට වලිසුන්දර වේගයෙන් ඉදිරියට ගියේය. මරික්කාර් තම දිග පාද ප්‍රයෝජනයට ගනිමින් තීරකගේ පිටුපසට මුවා විය. එවිට වලිසුන්දර ඔහුට පහර දීමට තීරකගේ දකුණු පැත්තෙන් වේගයෙන් යද් දී තීරකගේ දකුණු පාදයේ යන්තමින් හැපී සමබරතාවය නොමැතිව බිම වැටුණේ ඔහුගේ වම් පාදය නුහුරුට ඇඹරී යාමෙනි. ඒ සමඟම ලීයක් කැඩෙන ‘‘පටාස්’’ වැනි හඬක් නැගිනි. සිදුවූයේ කුමක්දැයි වලිසුන්දරට අවබෝධයක් නොවීය. දැනුණේ වේදනාවක් පමණකි. ඔහුට නැගිට සිටීමට නොහැකි වීය.

තීරක වහාම තරඟය නතර කොට මරික්කාර් ඈත ස්වාධීන කෙළවරට යවා වෛද්‍යවරයා කැඳවීය. බොක්සිං වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති දොස්තර එෆ්. ඒ. රාජ කුලේන්ද්‍රන් මහතා වහාම කවය මතට ගොඩවී වලිසුන්දරව පරීක්‍ෂා කළේය. වම් පාදයේ දණහිසෙන් පහළ ඉදිරි අස්ථිය මැදින් කැඩි එල්ලෙමින් තිබුනි. ප්‍රථමාධාර දීම සඳහා දොස්තර ආධාර ඉල්ලූ අතර වෙනදාටත් පැමිණෙන වෛද්‍යවරුන් වන දොස්තර සුසන්ත ධර්මතිලක මහතාත්, ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර් දොස්තර අශෝක අමුණුගම මහතාත් වහාම කවයට ගොඩවී සහයෝගය ලබා දුන්හ. ළී පතුරු කිහිපයක් සොයා ගෙන කැඞී තිබුණු පාදය කෙලින් කර ලී පතුරු දිගට තබා බැන්ඬේජ්වලින් වෙලන ලදී.

තරගයේ ප්‍රතිඵලය

බොක්සිං තරඟයක දී තීරණයක් දිය යුතුමය. මෙය විශේෂිත අවස්ථාවකි. ඊට හේතුව වූයේ එය ජාතික ශූරතා තරඟයේ දී පවත්වන ලද අවසාන තරඟයක් වීමය. ආබාධිත වූ ක්‍රීඩකයාට මෙහි දී යළිත් තරග කිරීමට අවස්ථාවක් නොමැත. එසේම එය ප්‍රථම වටය නිමවූ අවස්ථාවක් වේ. එවැනි අවස්ථාවක දී සිදුවන්නේ ක්‍රීඩකයන් දෙදෙනා විසින් එතෙක් ලබා ඇති ලකුණු අනුව ජයග්‍රාහකයා කවරෙක් දැයි සොයා බලා ප්‍රතිඵලය ප්‍රරකාශ කිරීමයි. ඒ වන විට වලිසුන්දර මරික්කාර්ට වඩා ලකුණු ලබා සිටියේය. ඒ අනුව කකුල කැඩී බිම වැටී සිටි වලිසුන්දර ජයග්‍රාහකයා බවප්‍රකාශ වීය. මෙය තීරණය කලේ ජූරී සභාව විසිනි.

ආබාධිත ක්‍රීඩකයා රෝහලට

ගෘහස්ත ක්‍රීඩාගාරයට අයත් ගිලන් රථයේ තිබෙන ඇඳ බොක්සිං කවය අසලට ගෙනැවිත් ආබාධිත ක්‍රීඩකයා ඇඳ මත තබා ගිලන් රථයෙන් ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ගෙන යන ලදී. රෝගියාගේ ආරක්‍ෂාව සඳහා වෛද්‍ය සුසන්ත ධර්මතිලක මහතා ඔහුගේ රථයෙන් එහි ගියේය. ඔහු යන විට රෝහලේ වෛද්‍යවරු කැඩුණු පාදය කපා ඉවත් කිරීමට සිදුවේදැයි දෙගෙඩියාවෙන් සිට ඇත. එහෙත් වෛද්‍ය ධර්මතිලක මහතා ඊට තදින්ම විරුද්ධ වී ඇත. එම නිසා නොකපා ප්‍රතිකර්ම යෙදීමට තීරණය කළ බව වෛද්‍ය ධර්මතිලක මහතා මා සමඟ පැවසීය.

වලිසුන්දර යළි බොක්සිං කවයට

වලිසුන්දර 1999 වසරේ දී යළි ක්‍රීඩාවට අවතීර්ණය විය. ඔහු 1999 වසරේ ජූලී මාසයේ පැවැති ක්ලිෆර්ඩ් කුසලාන තරඟයේ දී දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස තේරි පත්විය. ඊට ටික කලකට පසු ඔහු එංගලන්තයට ගොස් වෘත්තිය බොක්සිං තරඟවල නිරත විය.

ඩොනල්ඩ් මුණසිංහ
විශ්‍රාමික විදුහල්පති
ලංකා ආධුනික බොක්සිං
සංගමයේ හිටපු ලේකම්

නව අදහස දක්වන්න