මුල්‍ය අපරාධ අධිකරණ ඒකකය පමා වී පැමිණි හොඳ තීරණයක් | දිනමිණ

මුල්‍ය අපරාධ අධිකරණ ඒකකය පමා වී පැමිණි හොඳ තීරණයක්

නීතිඥ සුනිල් වටගල

මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් විශේෂ අධිකරණ ඒකකයක් පිහිටුවීම පිළිබඳව කතා බහ ඇතිව තිබුණේ මීට බොහෝ කලකට පෙරය. එය නැවත කරලියට පැමිණෙනුයේ පසුගියදා එවැනි අධිකරණ ඒකකයක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදීමේ පුවතත් සමඟය.

ඒකාබද්ධ විපක්ෂය එකී පුවතේ එල්ලී සිටිනුයේ මේ විශේෂ අධිකරණ ඒකකය පිහිටුවන්නේ රාජපක්ෂවරුන් දංගෙඩියට යැවීමට බව පවසමිනි. රාජපක්ෂවරුන්ගේ පැරණි අක්‍රමිකතා දූෂණ සාධාරණීකරණය කරන පිරිසද මෙම ඒකකයට විරුද්ධත්වය ප්‍රකාශ කරති.

ඊට අමතරව මෙවැනි ඒකකයක් ඇති කිරීම ව්‍යවස්ථා විරෝධී බවද ඔවුහු පවසති. එහෙත්, මෙය විශේෂ අධිකරණයක් නොවේ. වෙනම විශේෂ අධිකරණ පිහිටුවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නොහැකි බව සත්‍යයක් වුවද මහාධිකරණයේ ඒකක පිහිටුවීමට ව්‍යවස්ථාවෙන් බාධා නැත. විශේෂිත ඒකකය හරහා ඕනෑම මූල්‍ය අපරාධයක් සම්බන්ධව ඕනෑම අයකුට විරුද්ධව නඩු ඇසීමේ හැකියාව තිබිය යුතුය.

මීට පෙර මෙවැනි අධිකරණ ඒකකයක් පිහිටුවන්නැයි අප ඉල්ලීම් කළ විට විජේදාස රාජපක්ෂ මහතා කීවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට බැරි බවය. ව්‍යවස්ථා වෙනසක් නොමැතිව මේ වන විටද මෙවැනි ඒකක කිහිපයක් මහාධිකරණයේ ක්‍රියාත්මකව පවතී.

විශේෂ පොලිස් කොට්ඨාස හැදීමට පොලීසියට හැකියාව ඇති බවද පොලිස් ආඥාපනතේ සඳහන්ව ඇත. මහාධිකරණය, අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය සෑදෙන ආකාරය පිළිබඳවද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිකොට තිබේ.

“අධිකරණය” යන්න ව්‍යවස්ථාවේ සටහන්ව තිබුණද කොළඹ අලුත්කඩේ මහාධිකරණ අටක් තිබේ. එම වචනාර්ථයට අනුව නම් කොළඹ අලුත් කඩේ තිබිය හැක්කේ එක් අධිකරණයක් පමණි. එය සාමාන්‍යයෙන් අපට හැඟීයන අදහස වුවද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ දැක්වීමට අනුව අවශ්‍යතාව මත අධිකරණ ඒකක ඇති කළ හැකිය.

වැලිකඩ බන්ධනාගාරයේ සිටින සිරකරුවන්ට ආරක්ෂාව සැපයීම පහසු කරවීම සඳහා බන්ධනාගාරයේ වෙනම මහාධිකරණ ඒකකයක් පිහිටු වූයේ බන්ධනාගාරගත වූවන්ගේ නඩු ඇසීමටය. ඊට ව්‍යවස්ථාව හරස් වූයේ නැත.

කොළඹින් පිටත දී දික්කසාද, සිවිල්, බෙදුම්, ඉඩම් නඩු අසන්නේ එකම අධිකරණයකය. එහෙත් කොළඹ අලුත්කඩේ උසාවියේ දික්කසාද නඩු ඇසීමට පමණක් වෙනම අධිකරණ ඒකකයක් තිබේ. ඊට හේතුව කොළඹට පැමිණෙන දික්කසාද නඩු ප්‍රමාණාත්මකව වැඩිවීමයි. එමෙන්ම දරුකමට හදාගැනීමේ නඩු ඇසීමටත් ඉඩම් නඩු ඇසීමටත් වෙනම අධිකරණ තිබේ. සිවිල් නඩුද වර්ගීකරණය කර තිබේ.

සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ ඇති නඩු අසන්නේ දිස්ත්‍රික් උසාවියකය. මේ අනුව විවිධ නඩු වර්ගීකරණය කර වෙනම ඒකක පිහිටුවා නඩු ඇසීමේ හැකියාව තිබේ. නඩු කටයුතු කඩිනම් කිරීමට මෙවැනි විශේෂ අධිකරණ ඒකක ප්‍රයෝජනයට ගත හැකිය.

“සේයා සදෙව්මි” ඝාතන නඩුව කඩිනමින් ඇසිය යුතු බවට තීරණය කොට වෙනම ඒකකයක් හරහා එම නඩුව දිනපතා විභාගයට ගෙන කඩිනමින් තීන්දුව ලබාදුන්නේය. යාපනයේ විද්‍යා ඝාතන නඩුවද කඩිනම්කොට ඇත්තේ මෙවැනිම ක්‍රියාදාමයක් හරහා ය.

මුදල් විශුද්ධිකරණ පනත සම්මත වී ඇති බැවින් එම පනත යටතේ ගොනුකරන පැමිණිලි විභාග කිරීමට වෙනම ඒකකයක් බිහිකළ හැකිය. ඒ සඳහා ව්‍යවස්ථාවේ කිසිඳු වගන්තියක් උල්ලංඝනය කළ යුතු නැත. ව්‍යවස්ථාව උල්ලංඝනය වෙතැ’යි යමෙක් කියන්නේ නම් එය වැරදිකරුවන් නිවැරදිකරුවන් කිරීමේ අරමුණින් කියන්නකි. එවැන්නන්ට ආණ්ඩුව බියවිය යුතු නැත.

ස්ත්‍රී දූෂණ, මිනීමැරුම්, කම්කරු අයිතිවාසිකම් පිළිබඳ නඩු අසන්නේද මහාධිකරණයේය. මේ නිසා මහාධිකරණයේ නඩු රැසක් තිබේ. මහාධිකරණයේදී නඩුවක් කල් යන්නේ වසරක් වැනි දිගුකාලයකටය. ඊට හේතුව මහාධිකරණය සතුව නඩු රැසක් පැවතීමය. වසරකින් කල්ගිය නඩුව නැවත කැඳවීම් දිනකදී විනිසුරු හෝ නීතිඥ තැන අසනීප වුවහොත් නැවත වසරකින් පමණ කල් යයි. මේ නිසා මහාධිකරණ නඩු ඇසීම ප්‍රමාදවෙමින් තිබේ.

දැනට මහාධිකරණයේ පවතින නඩු නිදහසේ විභාගයට ඉඩහැර, පසුගිය රජය සමයේ සිදු වූ මූල්‍යමය අපරාධ සම්බන්ධ නඩු වෙනම අධිකරණ ඒකකයක විනිශ්චයකරුවකු යටතේ විභාග කිරීමට ඉඩ සැලැස්වීම ඉතා යහපත් අගය කළ යුතු කාර්යකි. රටේ ජනතාව මෙවැන්නක් බොහෝ කලක සිට ඉල්ලා සිටියහ.

රවී කරුණානායක මහතාට එරෙහිව කටයුතු කිරීම කඩිනම් වීම නිසා ආණ්ඩුවේ සමහරුන්ට රාජපක්ෂ යුගයේ හොරුන්ට කඩිනමින් දඬුවම් කිරීමේ හදිසි වුවමනාවක් හටගෙන තිබේ. ඊට සමගාමීව මෙම අධිකරණ ඒකකය පිහිටුවන්නේ නම් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීම අපහසුවනු ඇත. මේ ඒකකය පිහිටුවීම සාර්ථක වනු ඇත්තේ රටේ දූෂණ වංචා අවමකිරීමටත් බරපතළ දූෂණ වංචා කළ වුන්ට සැබෑ ලෙසම දඬුවම් කිරීමේ උවමනාවෙනුත් මෙම ඒකකය පිහිටුවන්නේ නම් පමණි.

ඉන්දියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව වැනි රටවල මෙවැනි විශේෂ අධිකරණ ඒකක පිහිටුවා තිබේ. අපට ඒවායින් ආදර්ශ ලබාගත හැකිය. එසේම මහාධිකරණයේ බලයට යටත්ව මෙම විශේෂ ඒකකයේ නඩු විභාග කළ හැකිය. නිශ්චිත කාලවකවානුවක් තීරණයකොට දිනපතා මෙම නඩු විභාග කළ හැකිය. එවිට කාර්යක්ෂමතාව රඳා පවත්වාගැනීමට හැකියාව ලැබේ.

පසුගිය ආණ්ඩුව කාලයේ ගුවනද, දෙරණද රාජපක්ෂලාගේ වී තිබුණි. රටේ ප්‍රධාන දේපළ රාජපක්ෂලාගේ විය. ඔවුන්ගේ මාසික වැටුපට වඩා ආදායම් ඔවුන් උපයා තිබේ. ඒ ගැන පැමිණිලිද ලැබී තිබේ. පසුගිය ආණ්ඩුවේ දූෂිතයනට දඬුවම් පමුණුවන බව පවසමින් බලය ලබාගත් යහපාලන ආණ්ඩුවට වසර දෙකක් ගතවීත් එකඳු දූෂිතයකුට හෝ අපරාධකාරයකුට අධිචෝදනා පත්‍රයක් ගොනු කරන්නට හැකිවී නැත.

දූෂණ චෝදනා පිළිබඳ කොතෙක් ප්‍රශ්න කළද නඩු පැවරීමක් නැත. අඩුම තරමින් රාජපක්ෂවරුන් වටේ සිටි පිරිසේ කිසිවකුටවත් අධි චෝදනා යටතේ නඩු පැවරීමක් කර නැත.

නීතිපති දෙපාර්තමේන්තුවට ලිපිගොනු 101ක් විමර්ශන කොට බාරදී තිබේ. ඉන් 87ක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන්ද 14 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද ලැබී ඇත.

නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු කටයුතුවලට අදාළ ලිපිගොනු මෙලෙස ගොඩගැසීමට එක් හේතුවක් වන්නේ නඩු ඇසීමේ ප්‍රමාදය බව බොහෝ දෙනා දන්නා කරුණකි.

නීතිපතිවරයාට වුව ඉලක්කයක් ඇතුව වැඩ කඩිනම් කිරීමට නම් අදාළ නඩු කටයුතු අධිකරණයේදී කඩිනම් විය යුතුය. මෙවැනි වි‍ශේෂිත අධිකරණ ඒකකයක් පිහිටුවීම හරහා එම ප්‍රමාදය වළක්වාගත හැකිය. මීට වසර දෙකහමාරකට පෙර ඇරඹිය යුතුව තිබූ මෙම වැඩ පිළිවෙළ දැන් හෝ ඇරඹීම ඉතා වැදගත් පියවරකි.

දුමින්ද සම්පත්

නව අදහස දක්වන්න