ස්ථීර සාමයක් ගොඩනැඟිය හැක්කේ ජාතික සංහිඳියාව සාර්ථක කර ගැනීමෙන් පමණයි | දිනමිණ

ස්ථීර සාමයක් ගොඩනැඟිය හැක්කේ ජාතික සංහිඳියාව සාර්ථක කර ගැනීමෙන් පමණයි

ගම්පහ සංචාරක - නිමල් ජයසිංහ

ජාතික සංහිඳියාව සදහා රජය ගෙන යන වැඩපිළිවෙළ ඇතැමුන් අපහාසයට සහ උපහාසයට ලක් කළද රට තුළ ස්ථීරසාර සාමයක් ගොඩනැගිය හැක්කේ ජාතික සංහිඳියා පිළිවෙත සාර්ථක කර ගැනීම තුළින් පමණක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසිය‍.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව සඳහන් කෙළේ තිහාරිය අල් අසාර් මධ්‍ය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 250 ක් වැයකින් මහෝපාධ්‍ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිගේ අනුග්‍රහයෙන් ඉඳි කළ නව තෙමහල් පාසැල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

එහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.

අපේ ගෞරවනීය පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් පරිත්‍යාග කරනු ලැබූ උන්වහන්සේගේ උපදෙස් මගපෙන්වීම තුළ ඉදිකෙරුණු ලැබූ මේ පාසල් ගොඩනැඟිල්ල විවෘත කිරීමේ වැදගත් අවස්ථාවට සහභාගිවීමට ලැබීම පිළිබඳ මා ඉතාමත් සතුටු වෙනවා. දැනට වසරකට පමණ පෙර උන්වහන්සේ විසින් ඉදිකරන ලද ඌරාපොළ මහා විද්‍යාලයේ ගොඩනැඟිල්ලක් විවෘත කිරීමේ උත්සවයකට මම සහභාගි වුණා. අපි සියලු දෙනා දන්නවා ගෞරවනීය ආනන්ද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ මේ ප්‍රදේශය තුළ කරනු ලබන ඉමහත් ශාසනික සේවාව මෙන්ම සමාජමය සේවාවන් පිළිබඳව. පාසල්වලට අත්‍යාවශ්‍ය ගොඩනැඟිලි ලබා දීම වගේම වෙහෙර විහාරස්ථාන ඉදිකිරීමත් ප්‍රදේශයේ ජනතාවගේ දෛනික ජීවිතය වඩාත් ශක්තිමත් කිරීමට පහසුකම් ලබාදීමේදීි උන්වහන්සේ විසින් කරණු ලබන පරිත්‍යාග පිළිබඳ උන්වහන්සේට ගෞරව කරනවා වගේම, උන්වහන්සේට සහයෝගය දෙන සියලු දෙනාටමත් අපි පින් අනුමෝදන් කරනු ලබනවා. මේ රටේ නිදහස් අධ්‍යාපනය තුළ තිබෙන දියුණුව පිළිබඳ අපි සතුටු විය යුතුයි. ගෙවීගිය දශක කිහිපය තුළ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල අපි ඉතාමත් හොඳින් ලබාගෙන තිබෙන රටක්. ලෝකයේ වෙනත් රටවල්වලට ගිය විට අපට සලකන කරුණු ගණනාවක් තිබෙනවා. අපේ රට බෞද්ධ රටක් විදියට තිබෙන පිළිගැනීම ඉන් එකක්. අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ සහ නිදහස් සෞඛ්‍ය සේවාවේ තිබෙන ගුණාත්මකභාවය නිසා අපේ රටට කරනු ලබන සැලකීම තවත් කරුණක්. දකුණු ආසියාතික රටවල් ගත්විට, අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබෙන භෞතික හා ගුණාත්මකභාවය ගැන ඉතා උසස් පිළිගැනීමක් තිබෙනවා. අපේ රටට උගතුන්ගෙන් සහ බුද්ධිමතුන්ගෙන් අඩුවක් නැහැ. අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සෑම අංශයකින්ම උගතුන් බිහිවී සිටිනවා. ඒ තුළ විවිධ ක්ෂේත්‍රවල ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලාංකිකයින් විශිෂ්ට කාර්යභාරයක් ඉටුකරනු ලබනවා. ඉදිරියට අප් රට හොඳ රටක් කරන්න යහපත් රටක් කරන්න දියුණු රටක් කරන්න ප්‍රධාන වශයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම ඉතා වැදගත් වෙනවා. උගත්කම වර්ධනය වන්න වර්ධනය වන්න, දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න රට ලෝකයේ විශිෂ්ට ජාතියක් බවට පත්වෙනවා. රජය, රාජ්‍ය නොවන ආයතන ආගමික පූජකතුමන්ලා ඇතු'එ සෑම කෙනෙකුගේම වගකීමක් මෙන්ම යුතුකමක් ලෙස සලකන්නේ දරුවන් සඳහා හොඳ අධ්‍යාපනයක් දීමයි. ඒ තුළ හොඳ උගත්, බුද්ධිමත් ජාතියක් බිහිකිරීමයි. අපේ ගෞරවනිය ආනන්ද ස්වාමීන් වහන්සේ, උන්වහන්සේට ලැබෙන ආධාර හා පරිත්‍යාග අධ්‍යාපන ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීම සඳහා ජාතියේ යහපත සඳහා කරන්නාවූ දීර්ඝ කාලීන ආයෝජනය මේ රටට ඉතාමත් වැදගත්. ඒ සඳහා උන්වහන්සේගේ තිබෙන කැපවීම උන්වහන්සේගේ නායකත්වය සහ මගපෙන්වීම වෙනුවෙන් අපි ගෞරව කරනවා. උන්වහන්සේ මේ සමාජය වෙනුවෙන් රට වෙනුවෙන් ශාසනය වෙනුවෙන් මුලු මහත් සමාජයට මේ කරන්නාවූ විශිෂ්ට මෙහෙවර පිළිබඳව ගෞරව කරනවා. උන්වහන්සේගේ අනුශාසනාවේදී සඳහන් කළා මේ පාසල මුස්ලිම් පාසලක් විදියට තිබෙන අඩුපාඩු දැකලා මේ තෙමහල් ගොඩනැඟිල්ල ලබාදීමට තීරණය කර එම කටයුතු සිදු කරගෙන යන විට උන්වහන්සේට බොහෝ නින්දා අපහාස කළා කියා. මෙයයි අද සමාජය තුළ තිබෙන තත්ත්වය. මේ දේ අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලාට වගේම සමාජයේ සෑම කෙනෙකුටම පොදු වූ ධර්මතාවයක්. ඇතැම් අය තාක්ෂණ්‍ය යොදා ගන්නේ සමාජයේ විනාශය සඳහායි. චරිත ඝාතන සඳහා. නින්දා අපහාස සඳහා. අද ෆේස්බුක් එක වැඩි පිරිසක් යොදා ගන්නේ සමාජය විනාශ කිරීම සඳහායි. අසත්‍යටයි මූලිකත්වය ලැබිලා තියෙන්නේ.

තාක්ෂණයේ දියුණුව මිනිසාගේ යහපත සඳහා නිර්මාණය වූවත් එය අයහපත සඳහා භාවිතා කරන, මිනිසුන් නොවන මිනිසුන් පිළිබඳව අපි එතරම් පුදුමයට පත්වීම අවශ්‍ය වන්නේ නැහැ. අපි අපේ යුතුකම් සහ වගකීම් ඉටු කළ යුතු වෙනවා. විදුහල්පතිතුමා මට දුන් කුඩා පත්‍රිකාවේ තිබුණා විද්‍යාලයේ තොරතුරු. පළාත් අධ්‍යාපන ඇමැති රංජිත් සෝමවංශ මහත්මයත් කිව්වා මට මතක හැටියට 2013 දී මුල්ගල තියලා එතනින් එහාට කිසිම වැඩක් හරියට කෙරිලා නැහැ. කම්බිත් දිරලාගිහින් කියලා. වැරදි වැඩක් මේ කරලා තියෙන්නේ. සල්ලි නැතිව මුල් ගල තියලා. මම ප්‍රතිපත්තියක් විදියට කිසිම තැනක මුල්ගල තියන්න යන්නේ නැහැ. මම යන්නේ විවෘත කරන ඒවට විතරයි. මේ මුල් ගල තිබ්බ පළාතේ හිටපු අධ්‍යාපන ඇමැතිවරයා මේ පාසල සහ මේ මවුපියෝ රවට්ටලා තියෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව. ඕනෑම ක්ෂේත්‍රයක ව්‍යාපෘතියක් පටන් ගන්න මුල්ගල තියනකොට රජයේ නිලධාරී මහත්වරුත් ප්‍රදේශයේ ජනතාවත් සොයා බලන්නට ඕනෑ මේ සඳහා මුදල් තියෙනවාද. මුදල් වෙන් කරලා නම් ඉදිකිරීම් කරන ආයතනය කවුද. එහි නිලධාරීන් පැමිණිලා ඉන්නවාද කියලා. ඉදිකිරීම් කරන්න බාරගෙන තිබෙන ආයතනය තමයි මුල් ගලක් තියෙනකොට එහි කටයුතු වලට මූලිකත්වය ගන්න ඕනෑ, මැති ඇමතිවරුන්ගේ සහ නිලධාරී මහත්වරුන්ගේ උපදෙස් මත. මෙතනත් වෙලා තියෙන්නේ මුල් ගලක් තියලා රවට්ටලා. මම ඒ පිළිබඳ දැක්කා. රංජිත් සෝමවංශ මහත්මයා මට මේ පිළිබඳව කිව්වා. මම එතුමාගෙනුත් ඇහුවා දැන් ඔබතුමාත් තනතුර බාර අරගෙන වසර එක් හමාරක් විතර වෙනවා, ඒ නිසා මේ වැඬේ ඉක්මනට කරන්න කියලා. මෙහිදී කතා කළ ශිෂ්‍ය නායිකාව සිය කතාවේදී පැහැදිලි කළා තාක්ෂණාගාරයක් පිළිබඳ. කවුරුවත් කලින් මුල්ගල තියලා අතරමග නැවැත්වූ ඒවට සල්ලි දෙන්න මට පු'එවන්කමක් නැහැ. ඒක දැන් පළාත් සභාවේ ඇමැතිතුමා කරනවා කියලා භාරගෙන තිබෙනවා. විදුහල්පතිතුමාගේත් කතා කළ දියණියගේත් ඉල්ලීමක් වුණා තාක්ෂණ විද්‍යාගාරයක්. ඇස්තමේන්තුවේ සඳහන් වෙලා තිබුණා මිලියන විස්සක්. මම අදම ඒ මිලියන 20 වෙන් කරනවා ඉදිකිරීම් කටයුතු වලට. මේක පළාත් සභාවට අයිති පාසලක්. නීත්‍යානුකූලව පළාත් සභාවෙන් එම කටයුතු කරයි. මම මුදල් දුන්නට මුල් ගල තියන්න මම එන්නේ නැහැ. මම එන්නම් විවෘත කරන්න. ගරු චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියත් පැවසුවා, ස්වාමීන් වහන්සේලාත් අනුශාසනා කළා රටේ ජාතික සංහිඳියාව සඳහා රජය ගෙන යන පු'එල් ජාතික වැඩපිළිවෙලේදී සෑම කෙනෙක්ම ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළ යුතු බව. ඒ සඳහා නායකත්වය ගෙන සිටින පිරිස්වලට ගල් මුල් ගැසීම නෙවෙයි කළ යුත්තේ. ඒ අයට යම් දවසක අඬන්න වෙයි. මේ රටේ නැවත යුද්ධයක් ඇති වෙලා අඬන දවසක් ඇති නොවීමටයි. නොයෙක් අය ඒ වැඩසටහනට උසුළු විසුළු කරනවා. අඩු තක්සේරුවකට ලක් කරනවා. නමුත් රටේ සිදුවන භෞතික සංවර්ධනය වගේම මේ රටේ ජාතික ආර්ථිකය ගොඩ නගමින් වාසනාවන්ත රටක් බවට අනාගතයේ පත්වෙන්නේ ජාතික සංහිඳියා පිළිවෙත් ශක්තිමක් වෙලා මේ රටේ නැවත යුද්ධයක් ඇති නොවෙන ආකාරයට සිංහල දමිළ මුස්ලිම් සියලු ජන කොටස් අතරේ සහෝදරත්වය විශ්වාසය සහ මිත්‍රත්වය ගොඩනැගුනු දවසක පමණයි. එය ඉතා පැහැදිලිව කියන්නට ඕනෑ. ඒ අසීරු අමාරු කාර්යයටයි අපි අත ගහලා තියෙන්නේ. මේ ප්‍රදේශයේ සිංහල සහ මුස්ලිම් ජනතාව අතර තිබෙන සහෝදරත්වය විශ්වාසය සහ මිත්‍රත්වය රටේ අනෙක් ප්‍රදේශ වලටත් හොඳ ආදර්ශයක්. මේ ආදරණීය දරුවන්ගේ අනාගතය සඳහා රජයක් විදියට අප විසින් කළ යුතු වගකීම නොපිරිහෙළා ඉටුකරන බවට සඳහන් කරමින් ඔබෙන් සමුගන්නවා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය (ජාතික සංහිඳියා ආයතනයේ සභාපතිනි)-

අද දින අපේ පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් වහන්සේ මෙම පාසලට තෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කර දුන්නා. උන්වහන්සේ ශ්‍රී ලංකාවට සුනාමි උවදුර ආ දවසේ සිටම රටේ විවිධ ප්‍රදේශවලට ගොස් ආධාර උපකාර ලබාදෙනවා. පාසල් ගොඩනැගිලි අඩුපාඩු හදා දෙනවා. පළමු වතාවට බෞද්ධ හිමිනමක් මුස්ලිම් දරුවන් වෙනුවෙන් තෙමහල් පාසල් ගොඩනැඟිල්ලක් හදා දුන්නා. මීටත් වඩා සංහිඳියාවක් ඇත්ද? ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් රට පුරා ජාතික සංහිඳියාව ක්‍රියාත්මකයි. රජයට පමණක් මෙය කළ නොහැක. සැමගේ සහයෝගයද තිබිය යුතුය. අන්තවාදී පිරිසක් රටේ ත්‍රස්තවාදයක් ඇති කිරීමට උත්සාහ කරනවා. නමුත් තිහාරියේ මුස්ලිම් සිංහල බැඳීම තුළින් කවදාවත් මේ පළාතේ සිංහල මුස්ලිම් ගැටුමක් ඇති වන්නේ නැති බවද ඇය කීවාය.

මහෝපාධ්‍ය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි

මම මේ වන විට පාසල් 10ක් ගොඩනඟා භාරදී ඇත. මේ පාසලට මුල්ගල තබන විට මට පිරිසක් නින්දා අපහාස කළා. නමුත් මට ඕනෑ වුණේ ජාති ආගම් භේදයෙන් තොරව සමස්ත පාසල් සිසුන් වෙනුවෙන් සේවයක් කිරීමයි. මාස 09ක් මෙම පාසල හැදුවා. නින්දා අපහාස කරපු අය සත්‍යය වැටහී දැන් ප්‍රශංසා කරනවා. මම ශිෂ්‍යත්ව ආධාර වලටද විශාල මුදලක් වෙන් කර කටයුතු කරනවා. දිනකට 5000ක් පමණ දරුවෝ මා හදපු ප ාසල්වල ඉගෙනුම ලබනවා. එය මට සතුටක්.

බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමැති රංජිත් සෝමවංශ මහතා

අපේ හාමුදුරුවෝ දෙමහල් ගොඩනැගිලි 4ක් අප පළාතට ලබා දුන්නා. මේ ඉදිවූයේ 10 වන ගොඩනැගිල්ලයි. බස්නාහිරර පළාතට අවශ්‍ය තාක්ෂණික විෂයට අදාළ ද්‍රවිඩ මාධ්‍ය ගුරුවරුද 250ක් බඳවා ගැනීමට අප කටයුතු කරනවා. විදුහල්පති ඒ.එම්.එම්. අස්මීර් දිඹුල්කුඹුරේ විමලධම්මාභිධාන නාහිමි, කැලණි සරසවියේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නායක හිමි ඇතුළු මහා සංඝරත්නය මුස්ලිම් ආගමික නායක විදේශීය ආරාධිතයින් එක්ව සිටියහ.

ඡායාරූප නිශංක ද සිල්වා 

නව අදහස දක්වන්න