‘මගේ පඹයො හදල පුච්චනවා මට විරුද්ධව උද්ඝෝෂණ කරනවා | දිනමිණ

‘මගේ පඹයො හදල පුච්චනවා මට විරුද්ධව උද්ඝෝෂණ කරනවා

අමිල ප්‍රභාත් වනසිංහ
විද්‍යාලිය පනස් පස්වැනි උපන්දින කේක් එක කපන අයුරු .

මේ දේවල් ඉවසන්න පුරුදු වුණේ නාච්චාදුව විදුහලෙන්’

දේශපාලනඥයකුගෙ කරට හැමදාම මල් මාලාම දමන්නේ නෑ.මේ දවස්වල මගේ පඹයො හදල පුච්චනවා.මට විරුද්ධව උද්ඝෝෂණ තියනවා.මාධ්‍ය තුළ මේ හැම දෙයක්ම දකින්නට ලැබෙනවා.අපට ඒ සඳහා ඉවසීම හා අනෙකුත් සියලු ගුණාංග ලැබුණේ මේ නාච්චාදුව විදුහලෙන් කියල මම බය නැතිව කියනවා.එදා පාසලේ දී ලැබුණ පුංචි පුංචි මතකයන් අද හොද පාඩම් කියා දෙන බව ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමැති පී.හැරිසන් මහතා සඳහන් කළේය.

අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් නාච්චාදුව සිංහල මහා විද්‍යාලයේ පනස් පස්වැනි සංවත්සරය පසුගියදා (23) එම විද්‍යාලයේදී පැවති අතර කිර්තිමත් ආදි ශිෂ්‍යයකුවන ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමතිවරයා එහිදී තවදුරටත් මෙසේද කියා සිටියේය.

මේ පාසලේ ළිඳ ළඟ තිබුණ කෙසෙල් ගසක කෙසෙල් කණකින් ගෙඩි කඩන් කෑවයි කියල මට අභූත චෝදනාවක් වැටුනා.චෝදනාව එල්ල කරපු අය තමයි කෙසෙල් ගෙඩි කඩන් කෑවේ.මාව ඒ වැඩේට පටලවලා ඔයා කෑවයි කියල මට දිගින් දිගට බනින්න පටන් ගත්තා.මට ආරියවංශ කියන යාලුවා බැනල ඉවර වෙලා කිව්වා ඔයාට නම් කවමදාකවත් දේශපාලනය කරන්න බෑ කියල.මොකද ඒ ගොල්ලන් බැන්නාම මමත් බැන්නා.ඒ තරමටම මගේ ඉවසීමක් තිබුනේ නෑ.ඒ පන්නරයෙන් එදා පටන් ගත්ත ගමන අද ඕනෑම දෙයක් දරාගන්නට පුළුවන් කමක් ලැබුණ බවද හෙතෙම පැවසීය.

මේ විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ඇමැතිවරයා හා ආදි ශිෂ්‍ය සංගමය, විදුහල්පති අනුර ඉලංසිංහ,නියෝජ්‍ය විදුහල්පති සෙනෙවිරත්න දිසානායක යන මහත්වරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලය මෙන්ම මවුපියන් හා ප්‍රදේශවාසීන් එක්ව මේ සංවත්සර උත්සවය සංවිධානය කර තිබුණි.

ගතවු වසර 55ක කාලය තුළ සේවය කළ ගුරුවරුන් 125 දෙනකුට පමණ මෙහි දී සම්මාන පිරි නැමු අතර රජයේ ඉහළ නිලතල හොබවන ආදි සිසුන් ද මෙහි දී උපහාරයට ලක් විය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු ඇමැතිවරයා මෙසේද කීය. ගුරුවරු කියන්නේ යමක් හම්බ කර ගත්ත අය නෙවෙයි.ඒ අය හම්බ කරල තිබෙන්නේ මේ රටේ දරුවන්.අද ගුරු වෘත්තියේ යෙදිල ඉන්න කට්ටියට ලොකු ප්‍රශ්නයක් තිබෙනවා.අද ළමයෙකුට ගහන්න බෑ.තදින් අවවාදයක් කරන්න බෑ.එසේ කළොත් මානව හිමිකම් කඩ වුණයි කියල පොලීසි යනවා.සමහර ගුරුවරු රිමාන්ඩ් කරනවා.මට අද වගේ මතකයි ටිකිරිඅප්පු කියන ගුරුතුමා අපට ගැහැව්වේ කොට බිත්ති කණ්ඩිය උඩ තියලා.හැබැයි අපේ අම්මලා තාත්තලා කවුරුවත් පොලීසි ගියේ නෑ.1976 විතර කොස්වත්ත කියල මහත්තයෙක් තමයි විදුහල්පති හැටියට හිටියේ.ඒ.සී.එස්.හමීඩ් මැතිතුමා නාච්චාදුවේ රැස්වීමකට ආවා.ඒ වෙලාවෙ මමත් පලයාකුලම ගමේ ඒකනායක කියල මගෙ යාලුවෙකුත් ඇතුළු කණ්ඩායමක් පාසලෙන් හොරෙන් පැනල රැස්වීමට ගියා.රැස්වීම ඉවර වෙලා ආව ගමන් ඔපිස් කාමරය ඉස්සැරැහැ ගිනි අව්වෙ දන ගස්සවල තිබුණා.හැබැයි අපිවත් මවුපියන්වත් එතුමත් එක්ක තරහ වුනේ නෑ.අපිට දුන්නේ දඩුවමක් විතරයි.එහෙම හදපු නිසා තමයි ආදි සිසුන් විදියට අද අපි මේ තැනක ඉන්නේ.අපි අදටත් ඒ ගුරුවරුන්ට පින් දෙනවා.

දවසක් හදිසියේම සාහිත්‍ය කමිටුවේ රැස්වීමක් තිබුණා.ඒ වෙනකොට නිකමටවත් කවියක් සිංදුවක් නෙවෙයි කතාවක් කරගන්න තත්ත්වයක අපි හිටියේ නෑ.බලෙන් මම ස්ටේජ් එකට නන්ගවලා සිංදුවක් කියන්න කිව්වා.සිංදුව හරියට කිව්වෙත් නෑ.කියන්න සිංදුව මතක තිබුනෙත් නෑ.පද දෙක තුනක් කියල දුවගෙන ආව.නමුත් දැන් අපට ඊට වැඩිය යමක් කරන්න පුළුවන් වෙලා තිබෙනවා.ඒ මේ පාසලෙන් ලබපු පන්නරය නිසයි.පුංචි කාලෙ අපේ සිහින තිබෙනවා.ගොඩක් අය ගුරුවරු,වෛද්‍යවරු,ඉංජිනේරුවන් වන්න.දේශපාලනඥයෙකු වන්නට මගේ නම් හිතකවත් තිබුනේ නෑ.නමුත් ඉරනම අනුව ඒවා විසදුනා.

මම සතුටු වෙනවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු නොවෙයි ගමේ තරුණයකු හැටියට රටේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරන්නට හැකියාව ලැබිල තිබෙනවා.මම හැමදාම දකික්නේ මගේ මිත්‍රයා වන දුමින්ද දිසානායක මහතාට පාර්ලිමේන්තු යනව කියන එක සිහිනයක් නෙවෙයි.මොකද එතුමාගෙ පියා බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමා ඒ පසුබිම වාතාවරණය ගොඩ නඟා තිබුණා.චන්ද්‍රාණි බංඩාර මැතිනියට පාර්ලිමේන්තුවට යනවයි කියන එකත් එච්චර ලොකු දෙයක් නෙවෙයි.එතුමියගේ පියා ඇමතිවරයෙක්. ඒ පසුබිම වාතාවරණය හදල තිබුණා.මේ අපි වගේ කෙනෙකුට ඒ ගමන ලේසි පහසු කාර්යයක් නෙවෙයි.මම සතුටු වෙනවා මගේ මවුපියන් ගමේ ඉදල මට ඒ ස්ථානයට යාමට ලැබීම ගැන ඉතාමත් සතුටු වෙනවා.ඒ කාර්යභාරයට මට ශක්කියක් වුණ මේ ගුරුවරුන්ට මවුපියන්ට හා අනෙක් සියලු දෙනාට මම ස්තුති වන්ත වෙනවා.

දේශපාලනඥයකු විදියට හැමදාම මල් මාලාම දමන්නේ නෑ.මේ දවස්වල මගේ පබයො හදල පුච්චනවා.මට විරුද්ධව උද්ඝෝෂණ තියනවා.අපට ඒ සඳහා ඉවසීම හා අනෙකුත් සියලු ගුණාංග ලැබුණේ මේ නාච්චාදුව විදුහලෙන් කියල මම බය නැතිව කියනවා.එදා පාසලේ දී ලැබුණ පුංචි පුංචි මතකයන් අද අපට හොද පාඩමක් වෙලා තිබෙනවා.

මට මතක් වෙනවා 1994 මම පළමු වතාවට පාර්ලිමේන්තුවට ගියායින් පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධායයේ තරුණ සමුළුවක් අමතන්න අපේ පක්ෂයේ නායකයන් පක්ෂයේ නියෝජිතයකු හැටියට මාව යැව්වා.මට එහෙ ගිහින් සුද්දන් ඉස්සැරැහැ කතාවක් කරනවා තියා හිටගෙන ඉන්නවත් බයයි.ස්ටේජ් එකට නගිනකොටත් මගේ කකුල් දෙක වෙවුලනවා.ඒ වෙනකොට පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් තුමත් දැනට රෝගාතුරව සිටින මහින්ද විජේසේකර මැතිතුමත් රෑ එළි වෙනකම් මගේ කතාව හදල විතරක් නෙවෙයි ඒ ගොල්ලො ඉදිරියේ කතාව කරලත් පෙන්නුවා.එහෙම පුහුණු කරල යවපුවාම මට හිතුනා මම හීනයක්ද දකින්නේ කියලා.අපිට පුළුවන්කම ලැබුනා ලෝකෙ රටවල් 50 අතරට ගිහින් අපේ රටටත් යමක් කරන්න ඒ අවස්ථාවේ අපට හැකියාව ලැබුණේ මේ පාසලෙන් අයන්න ආයන්න කියපු නිසයි කියල මම කිසිම දවසක අමතක කරල නැතැයිද ඇමැතිවරයා පැවසීය.

නාච්චාදුව සිංහල මහා විද්‍යාලයේ පනස් පස්වැනි සංවත්සරයට සමගාමීව මහාසංඝරත්නය උදෙසා හිල් දානමය පින්කමක්ද සිදු කළහ.පාසල ආරම්භයේ සිට ඉගැන්විම් කටයුතුවල නිරිතවු ගුරුමහත්ම මහත්මින් සඳහා උපහාර පිරිනැමිම හා කිර්තිමත් ආදි ශිෂ්‍යන් සඳහා උපහාර පිරිනැමිමද මෙහිදි සිදුවිය.එසේම ආශිර්වාද පහන් පුජාවක් හා ගී රස වින්දන වැඩසටහනක්ද පැවැත්විය.

රාජ්‍ය නිලධාරින් රැසක්ද ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා මවුපියන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගිවි සිටියහ.

නව අදහස දක්වන්න