තේ කර්මාන්තයට 150 යි | දිනමිණ

තේ කර්මාන්තයට 150 යි

 ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ 150 වන සංවත්සරය නිමිත්තෙන් දේශීයව මෙන්ම විදේශීයව ද උත්සව ගණනාවක් පැවැත්විණ.

න්තයේ නියුතු කම්කරුවන් මෙන්ම, කුඩා තේ වතු අංශයේ ක්‍රියාකාරින්ගේ දායකත්වය ද මේ සැමරුම් උත්සවයන්හිදී නිසි ඇගැයීමකට ලක් නොවූ බවට විවේචන එල්ල වේ.

අපේ තේ කර්මාන්තයේ කුඩා තේ වතු හිමියනගේ දායකත්වය ලෙහෙසියෙන් අමතක කළ හැකි ද

අපේ තේ කර්මාන්තයේ කුඩා තේ වතු හිමියනගේ දායකත්වය ලෙහෙසියෙන් අමතක කළ හැකි දෙයක් නොවේ.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති, ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ දේශබන්දු විජේරත්න දේවගෙදර මහතා පවසන අන්දමට කුඩා තේ ඉඩම් හිමියනගේ සංඛ්‍යාව 2016 දී 3,93,420කි. ඔවුහු ‍හෙක්ටයාර 121,967ක් වූ බිම් ප්‍රමාණයක තේ වගා කරති. ඔවුන්ගේ 2016 වසරේ නිෂ්පාදනය තේ කිලෝ දස ලක්ෂ 218068 කි. දළ වශයෙන් ලක්ෂ 25ක් පමණ දෙනා කුඩා තේ ඉඩම් මඟින් යැපෙති. සමස්ත තේ නිෂ්පාදනයෙන් සියයට 74.5 ක් 2016 දී හිමිවූයේ කුඩා තේ ඉඩම් අංශයටය. 2016 තේ අපනයන ආදායම ඇ. ‍ඩොලර් දස ලක්ෂ 1269කි. එනම් රුපියල් දසලක්ෂ 184771කි.

කුඩා තේ ඉඩම් සංවර්ධන අධිකාරිය 1977 පෙබරවාරි මස 01 වනදා ස්ථාපිත කරන ලද්දේ ඒ වන විට වැඩෙමින් පැවති කුඩා තේ ඉඩම් අංශයේ දියුණුව සඳහා ය.

කුඩා තේ වතු අංශයේ නිෂ්පාදනය වැඩිකිරීම, වාණිජ අවස්ථා සංවර්ධනය, එම ක්ෂේත්‍රයේ නියැළි ජනතාව‍ගේ සුබසාධනය සැලසීම එම අධිකාරියේ යටතට පැවැරී ඇති සේවාවන්ය.

ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම හා රැකියා අවස්ථා සුලබ කිරීම රාජ්‍ය ප්‍රතිපත්ති අතර මූලික කරුණු දෙකකි. ග්‍රාමීය ආර්ථිකය නැංවීමේදී කුඩා තේ වතු අංශය මෙන්ම කුඩා රබර් ඉඩම් අංශය ද ඉතා වැදගත් වේ.

කුඩා ‍තේ ඉඩම් අංශය පිළිබඳ කරන ලද සමීක්ෂණ රාශියකි. එයින් හෙළිවූ පොදු කරුණක් නම් කුඩා තේ ඉඩම් හිමියන් සහ ඔවුනගේ පවුල් සාමාජිකයන් තම වගාවන්හි දලු නෙළීමේ දී ශ්‍රමිකයන් ලෙස කටයුතු කරන බවයි. මෙයට ගම්බද රැකියා පැනය විසඳීමේ මඟක් ද වේ.

තේ ගොවියාගේ මන්දෝත්සාහීකම

තවත් සමීක්ෂණ මඟින් හෙළිවූ දෙයක් නම් කුඩා තේ ඉඩම් නිෂ්පාදනය ඉහළ නැංවීමට ඕනෑ තරම් ඉඩකඩ තිබුණ ද ඒ සඳහා උනන්දුවක් ව්‍යවසායකයා තුළ නොමැති වීමයි. එහෙයින් කුඩා තේ ඉඩම් හිමියා ඉදිරියට ගැනීමට ඔහුට විශාල තල්ලුවක් දීමට ද නිර්දේශ කර තිබුණි.

එසේම වසරක් පාසා කුඩා තේ ඉඩම් හිමියන්ගේ සංඛ්‍යාව ඉහළ ගියේය. ඉඩම් භාවිතා ද ඉහළ දැමීමේ අවශ්‍යතාව මතුවිය.

ඇතැම් වගාකරුවනට අක්කර ගණනක් ඉඩම් තිබුණ ද ‍තේ වගාව සඳහා යොදා ගෙන තිබුණේ සුළු ඉඩම් ප්‍රමාණයකි. මේ සියලු ගැටලුවලට පිළියම් සෙවීමට යම් අධිකාරියක අවශ්‍යතාව මතුවිය. එය ඉටු කළේ කුඩා තේ ඉඩම් සංවර්ධන අධිකාරිය පිහිටුවීම මඟිනි.

පසුගිය ගංවතුර හා නායයෑම් නිසා මාතර, ගාල්ල, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක අතරේ කුඩා තේ ඉඩම් රාශියකට ද හානි සිදුවිය. මේ හානිය පිළිබඳව කුඩා තේ වතු සංවර්ධන අධිකාරීය කළ ගණන් බැලීමට අනුව සහමුලින්ම හානියට පත් තේ ඉඩම් සංඛ්‍යාව හෙක්ටයාර 658.14කි. මේ ඉඩම් හිමියන්ගේ සංඛ්‍යාව 4053කි. ඔවුහු දිස්ත්‍රික්ක 07කට අයත්ය.

අර්ධ වශයෙන් හානි සිදුවූ කුඩා තේ ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 1823.1කි. අර්ධ හානි සිදුවූ ඉඩම් හිමියනගේ සංඛ්‍යාව 10020 කි.

මෙසේ හානි සිදුවන අවස්ථාව වන විට ඔවුහු අමු තේ දලු සඳහා උසස් ආදායමක් ලබා ගනිමින් සිටියහ. සභාපතිවරයා පවසන අන්දමට මේ වනවිට දකුණු පළාතේ අමු තේ දලු සඳහා රුපියල් 100 - 110 අතර ඉහළ මිලක් හිමිවේ. එහෙත් 2014 දී හිමිවූයේ අමු තේ දලු කිලෝවට රු. 67.54කි. 2015 දී රු. 58.80කි. 2016 සිට රු.68.53 සිට තේ දලු මිල ඉහළ යමින් තිබේ.

ආදායම් අහිමි වූ තේ ඉඩම් හිමියන්ගේ තත්ත්වය ඉහළ නැංවීම සඳහා අර්ධ හා සම්පූර්ණ හානි කුඩා තේ ඉඩම් යළි ප්‍රතිසංස්කරණය කර ගත යුතුව තිබේ. මේ සඳහා ආධාර ක්‍රම ක්‍රියාත්මක වන අතර පූර්ණ හානි ඉඩම් නැවත වගා කිරීමට රුපියල් දස ලක්ෂ 280.4ක් සහ අර්ධ හානි ඉඩම් නැවත වගාවට රුපියල් දස ලක්ෂ 111.66ක් වැයවෙතැයි ගණන් බලා තිබේ.

මැයි මස අග හානි සිදුවූ අවධියේ නැඟුණු ‍චෝදනාවක් වූයේ තේ පැළ හිඟයක් ඇතිවන බවයි. පෞද්ගලික අංශයේ තේ පැළ තවාන්වල තේ පැළ මිල ඉහළ යන බවට ද අනාවැකි පළ විය.

වෙළෙඳපොළ ගැන බොරු මත

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සතු කළුතර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන පැළ තවාන් දැන් අවශ්‍ය තරම් තේ පැළ නිකුත් කරන බව සභාපතිවරයා කියයි. ඉතා උසස් ගුණාත්මක භාවයෙන් යුතු තේ පැළයක් රුපියල් 25 බැගින් ලබා ගැනීමට තේ නැවත වගාකරුවනට පිළිවන.

ලෝක තේ වෙළෙඳ පොළේ ශ්‍රී ලංකාවට හිමි තත්ත්වය අහෝසි‍වෙමින් යන බවට පසුගිය කාලයේ විචාර පළවිය. වියට්නාමයේ තේ වගා කර්මාන්තය ශීඝ්‍රයෙන් දියුණුවීම නිසා ශ්‍රී ලංකාවට හිමි ස්ථානය වියට්නාමය විසින් අත්පත් කරගන්නා බවට ද අනාවැකි අසන්නට ලැබුණි. එහෙත් ශ්‍රී ලංකා යන නාමයට ඇති වාණිජ අගය අඩු නොවී පවතී. කොළඹ තේ වෙන්දේසියට ඉදිරිපත් වන තේ නිෂ්පාදනය කිලෝ දස ලක්ෂ 7ක් ඉක්මවා යන ප්‍රශස්ථ මට්ටමක පවතින්නේ ආපදාහානි නිසා කුඩා ඉඩම් හිමියන්ගේ නිෂ්පාදන අඩුවීමක් ද සමඟය.

කුඩා ‍තේ වශයෙන් සැලකෙන්නේ පර්චස් 10 සිට අක්කර 10 දක්වා වන ඉඩම්ය. කුඩා තේ වතු හිමියනගේ සමිති ජාලයක් ද ක්‍රියාත්මක වේ. 2014 දී 1383ක් වූ සමිති සංඛ්‍යාව 2015දී 1394 දක්වා ද , 2016 දී 1407 දක්වා ද වර්ධනය වී ඇත. එ‍හෙයින් කර්මාන්තයේ දියුණුව උදෙසා ඔවුනගේ සාමුහික හඬක් ද ක්‍රියාශීළීව තිබේ.

කුඩා තේ ඉඩම් හිමියන්ගේ සාමාජික සංඛ්‍යාව 2014 දී 266480ක් වුවද, මේ වනවිට එම සංඛ්‍යාව 288983 දක්වා ඉහළ ගොස් තිබේ.

තේ කර්මාන්තයේ දී තවත් වැදගත් අංශයක් වන්නේ තේ කර්මාන්ත ශාලා අංශයයි. කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති දේවගෙදර මහතා පවසන අන්දමට තේ කර්මාන්ත ශාලා නවීකරණය කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ක්‍රියා කරමින් සිටී. ජපානයේ කර්මාන්තශාලා සූර්ය බල ශක්තියෙන් ක්‍රියා කරවනු ලබයි. මේ අයුරින් ‍අපේ තේ කර්මාන්ත ශාලා අංශය දියුණු කළ යුතු බවද ඔහු කියයි. මේ සඳහා විදේශ ආධාර අපේක්ෂිතය.

ලංකාවේ තේ වගාව ගොඩනැඟුණේ කෝපි වගාවේ පිරිහීමත් සමඟය. 1880 පමණ වන විට කෝපි ගබඩා රාශියක් තේ කර්මාන්ත ශාලා බවට පරිවර්තනය කරන ලදුව තේ නිෂ්පාදනයට හවුල් විය. තේ වියැළීමේ යන්ත්‍ර 1877දී භාවිතයට ගැනීම ඇරඹිණ. පසුව එංගලන්තයේ මාර්ෂල් පුත්‍ර සමාගම සහ බර්මින්හැම් සහ බෙල්ෆර්ස්ට් සමාගම තේ කර්මාන්තය සඳහා අවශ්‍ය සෙසු යන්ත්‍රෝපකරණ නිපදවා ලංකාවට නැව්ගත කරන ලදී. තේ කාර්මික යුගය ඇරඹුණේ එලෙසිනි.

අභිවෘද්ධියට ගෙන ඇති පියවර

මේ වනවිට ශ්‍රී ලංකා තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සාමාජික කර්මාන්ත ශාලා සංඛ්‍යාව 200 ඉක්මවා තිබේ. විවිධ තරාතිරම් රාශියක සේවක සේවිකාවෝ තේ නිෂ්පාදනයට හවුල් වෙති. මුලින්ම වාෂ්ප බලයෙන් ක්‍රියා කළ ද මේ වනවිට සියලු යාන්ත්‍රික ක්‍රියා විදුලි බලයෙන් හැසිරවේ. එහෙයින් තේ කර්මාන්තයේ ප්‍රගමනයට එම අංශයෙන් සිදුවූ සේවය ද, දායකත්වයද පැසසුම් කටයුතුය.

කුඩා තේ වතු හිමියන්ගේ දලු මිල දී ගැනීමේ දී විශාල වගකීමක් දරනු ලබන්නේ තේ කර්මාන්ත ශාලා අංශයයි.

කුඩා තේ වතු හිමියන්ගේ තත්ත්වය නඟාසිටුවීම සඳහා යොදා ඇති වැඩපිළිවෙළ පිළිබඳ අධිකාරියේ සියලු ශාඛා කාර්යාලවලින් තොරතුරු ලබාගත හැකිය. ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ බණ්ඩාරවෙල මෙම ශාඛා කාර්යාල පිහිටුවා ඇත.

මෙම කාර්යාල දියුණු කිරීම සඳහා රුපියල් ලක්ෂ 80ක් වැය කිරීමට ද නියමිතය. එසේම නැවත වගා සඳහා සිය හානි වගා ගලවා දමන වගාකරුවනට ස්වයං රැකියා මාර්ග ඇති කිරීම මඟින් ඔවුන්ගේ ආදායම නංවාලීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද නියමිතය.

ව්‍යාපෘති නිලධාරි සේවයක් ද ක්‍රියාත්මකය. එමඟින් ද කුඩා ‍තේ වතු ක්ෂේත්‍රයේ නියුතුවූවන්ට හා කුඩා තේ වතු අංශයට ඇතුල්වීමට බලාපොරොත්තුවන ව්‍යවසායකයනට අවශ්‍ය උපදෙස් ලබාගත හැකිය.

කුඩා තේ වතු අංශය සංවර්ධනය කිරීම සඳහා ආණ්ඩුව වි‍දේශ ආධාර සහිත ව්‍යාපෘතින් කීපයකටම සම්බන්ධව ක්‍රියා කරයි. තිස්පනේ, මහනුවර, බණ්ඩාරවෙල, ගාල්ල, මාතර සහ රත්නපුර ව්‍යාපෘති මධ්‍යස්ථාන 6ක් පිහිටුවා ඇත. එමඟින් ද කුඩා තේ වතු අංශයට අවශ්‍ය සේවා ලබාගත හැකි බව සභාපතිවරයා පවසයි.

නායගිය ඉඩම් සඳහා විකල්ප ඉඩම් සපයා දීමට ආණ්ඩුව ක්‍රියා කරයි. එසේම රජයේ ඉඩම් පිළිබඳව නව ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ද, එමඟින් ජනතාව මුහුණදෙන ඉඩම් හිඟය ට පිළියම් යෙදීමට ද අපේක්ෂිතය. මේ අනුව කුඩා තේ ඉඩම් හිමියන්ගේ සංඛ්‍යාව තව තවත් ඉහළ යෑමේ ප්‍රවණතාවක් පවතී.

කරුණාරත්න අමරතුංග

 

නව අදහස දක්වන්න