අර්වින්ගේ ශතකයෙන් සිම්බාබ්වේ පිල ඉනිම ගොඩ නගයි | දිනමිණ

අර්වින්ගේ ශතකයෙන් සිම්බාබ්වේ පිල ඉනිම ගොඩ නගයි

ක්‍රෙග් අර්වින්

රංගන හේරත් ලකුණු 106ට කඩුලු 4යි

 සිම්බාබ්වේ පිතිකරුවකු ශ්‍රී ලංකා භූමියේ දී වසර 19කට පසුව ටෙස්ට් ශතකයක් රැස් කිරීමේ වාර්තාවට හිමිකම් කියමින් ක්‍රෙග් අර්වින්ගේ විශිෂ්ට පිතිහරඹය මත ඉනිම ගොඩනැගූ සිම්බාබ්වේ පිල ඊයේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ දෙපිල අතර පළමු හා එකම ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවට පත්වෙද්දි කඩුලු 8ක් දැවී ලකුණු 344ක් රැස් කිරීමට සමත් විය. දිනය නිමාවනවිට අර්වින් නොදැවී ලකුණු 151ක් ලබා සිටි අතර ඩොනල්ඩ් ටිරිපානෝ නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 24කි.

ඊයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිලේ මුල්පෙළ පිතිකරුවන් ශ්‍රී ලංකා පිලේ ප්‍රබලතම පන්දු යැවීමේ තුරුම්පුව වන රංගන හේරත්ගේ පන්දු හමුවේ අසරණ වෙද්දී තනි අතින් ඉනිම ඇදගෙන ගිය ක්‍රෙග් අර්වින් දිනය නිමාවනවිට නොදැවී ලකුණු 151ක් රැස් කරමින් සිම්බාබ්වේ පිලේ ගෞරවය රැක ගත්තේය. ඔහු ඊයේ රැස් කළේ ඔහුගේ ටෙස්ට් තරග දිවියේ දෙවැනි ශතකයයි. එමෙන්ම එය සිම්බාබ්වේ පිතිකරුවකු ශ්‍රී ලංකාවේ දී රැස් කළ ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව ලෙසත් වාර්තාපොතට එක්විය. ඊට පෙර 1998 වසරේ එස්.එස්.සී.පිටියේ දී ඇන්ඩි ෆ්ලවර් නොදැවි ලකුණු 105ක් රැස් කරමින් එම වාර්තාවට හිමිකම් කීවේය. පන්දු 238කට මුහුණදුන් මේ මැදපෙළ පිතිකරුවා සිය ඉනිම හතරේ පහර 13කින් සහ හයේ පහරකින් වර්ණවත් කිරීමට සමත්විය.

සුරංග ලක්මාල් සහ ළහිරු කුමාර යැවූ සිම්බාබ්වේ ඉනිමේ පළමු ඕවර කිහිපයේදී ආරක්ෂකාරී පිතිහරඹයක නිරතවීමට හැමිල්ටන් මසකඩ්සා සහ රෙගිස් චකබ්වා සමත්වූවත් රංගන හේරත් අටවැනි ඕවරය යැවීමට පන්දුව අතට ගැනීමත් සමග සංචාරකයන්ගේ ඉනිමේ බිඳ වැටීම ආරම්භ විය. ඔහුගේ පළමු ඕවරයේ තුන්වැනි පන්දුවට චකබ්වාගේ කඩුල්ල බිඳ වැටෙද්දී සිම්බාබ්වේ පිල ලබා සිටියේ ලකුණු 23ක් පමණි. අනතුරුව මුලු ලකුණු සංඛ්‍යාව 38ක් වෙද්දී මසකඩ්සා ද ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට හේරත් සමත්විය.

පිතිකරුවන්ට වාසිදායක ප්‍රේමදාස තණතීරුවේ රංගන හේරත්ගේ කඩුලු දඩයම එසේ ඇරැඹෙද්දී අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි අර්වින් එක් අන්තයකින් කඩුල්ල ආරක්ෂා කරගනිමින් ඉනිම ගොඩනැගීමේ වගකීම අකුරටම ඉටු කළේ ළහිරු කුමාර යැවූ ඊළඟ ඕවරයේදී ඊයේ ටෙස්ට් වරම් ලැබූ ටරිසායි මුසකන්ඩා දැවීයාමෙන් දැඩි පසුබෑමකට ලක්වූ සිය කණ්ඩායමට සැනසුම් සුසුමක් හිමි කරදෙමිනි.

දිවා ආහාරයට පෙර සිම්බාබ්වේ පිලේ සිවුවැනි කඩුල්ල බිඳ දැමීමට ඩිල්රුවන් පෙරේරා සමත්වූයේ ෂෝන් විලියම්ස් ආපසු ක්‍රීඩාගාරයට හරවා යවමිනි. දිවා ආහාරය සඳහා තරගය නතරකරනවිට කඩුලු 4කට ලකුණු 96ක් ලබාසිටි සිම්බාබ්වේ පිලේ ඉනිම පිළිසකර කළ අර්වින් සහ සිකන්දර් රාසා පස්වැනි කඩුල්ලට ලකුණු 84ක සම්බන්ධතාවක් ගොඩනැගීම කැපී පෙනුණි. හේරත්ගේ තුන්වැනි ගොදුර ලෙස කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී සිකන්දර් රාසා දැවී ගියේ මුලු ලකුණු සංඛ්‍යාව 154දීය.

අනතුරුව පීටර් මුවර් සමග එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 41ක සම්බන්ධතාවක් ගොඩනැගූ අර්වින් පසුව මැල්කම් වොලර් සමග 7 වැනි කඩුල්ලට ලකුණු 65ක සම්බන්ධතාවක් ගොඩ නගමින් සිය ශතකය වාර්තා කළේය. වොලර්ගේ ඉනිම ලකුණු 36කට සීමා කළ හේරත් සිවුවැනි කඩුල්ලත් දවාගත්තේය.

නායක ග්‍රෙහැම් ක්‍රීමර්ට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 13ක් පමණි. අසේල ගුණරත්න යැවූ පන්දුවකට කඩුල්ල බිඳීයද්දී සිම්බාබ්වේ පිලේ ලකුණු පුවරුව සටහන් වුයේ කඩුලු 8කට ලකුණු 282ක් ලෙසිනි. දිනය නිමාවනතුරු ඉනිම ඇදගෙන ගිය අර්වින් සිම්බාබ්වේ පිල ලකුණු 300 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේ ඩොනල්ඩ් ටිරිපානෝ සමග එක්ව 9 වැනි කඩුල්ලට ලකුණු 62ක නොබිඳුණු සම්බන්ධතාවක් ද ගොඩනගමිනි. අර්වින් ඒ අතරතුර සිය ලකුණු සංඛ්‍යාව 150න් එපිටට දමාගත්තේය.

ඡායාරූප - සමන් මෙන්ඩිස් 

නව අදහස දක්වන්න