ලියන්න... එය ඉවර කරන්න | දිනමිණ

ලියන්න... එය ඉවර කරන්න

නීල් ගේමන්

නූතන විකට කතා රචකයන් අතර ඉහළ ම විකුණුම් වාර්තා තැබූ නීල් ගේමන් (Neil Gaiman)සමඟ කළ සාකච්ඡාවක පරිවර්තනයකි මේ. ඔහුගේ විශේෂත්වය වන්නේ, පාඨකයන් ලොකු කුඩා බේදයකින් තොරව ඔහුගේ නිර්මාණ ආදරයෙන් වැළඳ ගැනීම ය. හෙතෙම ‘Dictionary of Literacy Biography’ මඟින් හොඳ ම රචකයන් දස දෙනා අතරට ද මෑතකදී නම් කෙරිණි.

ඔබ ලේඛනයට යොමු වුණේ ඇයි ?

මම හිතන්නෙ මට වෙන කිසිදු හැකියාවක් නෑ කියලයි. රචනය (ලිවීම)තරම් තවත් හොඳ දෙයක් මට ගැළපෙන්නේ නෑ කියා මට හිතෙනවා. අලුත් අංශයක් ගැන යොමු වීමට මට දැන් කාලය මදි.

ඔබ අගය කරන, එහෙමත් නැත්නම් ඔබ කැමැති වෙනත් නවකතා රචකයන් කවුද?

Peter Straub (පීටර් ස්ට්‍රාව්බ්), Jonathan Carrol (ජොනතන් කැරොල්), Diana Jones (ඩයනා ජෝන්ස්), Daniel Pinkwater(ඩැනියෙල් පින්ක්වෝටර්), Poppy Z.Brite (පොපි බ්‍රයිට්) වැනි අයට මං බොහොමත්ම කැමැතියි. හැම සතියකම මොවුන්ගේ රචනා කියවන්න මං කැමැති යි.

ඔබ සාර්ථක රචකයකු කියා කවදද ඔබට දැනුනේ?

ඔබ කොහොමද සාර්ථකත්වය යන්න අර්ථ දක්වන්නේ යන කරුණ මත එය රඳා පවතිනවා. මට මුලින්ම මම ලියපු රචනයකට චෙක්පතක් ලැබුණු අවස්ථාවේ සතුට සහ ‘නිව්යෝක් ටයිම්ස්’ සඟරාව මඟින් හොඳ ම විකුණුම් රචකයා ලෙස අංක එකට නම් කළ අවස්ථාවේ සතුට අතර වෙනසක් තියෙනවාද කියා මට හරියට විශ්වාසයක් නෑ. එහෙත්, මට ‍හොඳට මතකයි මං මගේ පවුලේ අය සමඟ ඒ සතුට භුක්ති විඳි ආකාරය. එය මගේ ජීවිතයේ, මට කිසිදා අමතක නොවන සිදුවීමක්.

ඔබ විකට කතා රචනයට අමතරව ප්‍රිය කරන වෙනත් අංශ මොනවාද?

මං ඊට අමතරව ගීත රචනයට, පුවත්පත් කලාවට, නැත්නම් ජන මාධ්‍ය ක්ෂේත්‍රයට, චිත්‍රපට හා වේදිකා නාට්‍ය තිර පිටපත් රචනයට යොමු වෙලා ඉන්නවා. ඒත්, මගේ වැඩි කැමැත්ත විකට කතා රචනා කිරීමටයි. මං හිතන්නෙ බොහෝ අය මා හඳුනන්නෙත් විකට කතා රචකයෙක් විදිහටයි. ඒ වගේම, පාඨකයන් මගෙන් බලාපොරොත්තු වෙන්නෙත් විකට කතා. ඒ නිසා මං අනෙකුත් අංශවලට වඩා ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. මගෙත් කැමැත්ත එය යි.

ඔබගේ වැඩ කරන දවස් ගෙවෙන්නේ කොහොමද?

මම නවකතාවක් ලියනවා නම්, සාමාන්‍යයෙන් උදෑසනම අවදි වෙනවා. එහෙම ආරම්භ කරන ලිවීම, එක දිගටම ලියාගෙන යනවා. එය නවතින්නෙ සවස 6 වගේ වෙලාවකදියි.

මම ලිවීම කරන්නේ මගේ අතින්මයි. ඒ වෙලාවට මං මගේ පරිගණකයෙන් ඈත්වෙලා ඉන්නෙ. මම සාමාන්‍යයෙන් නවකතාවක් ලියන්නේ නැත්නම්, මට එහෙම විශේෂයෙන් කියලා දවසේ සැලැස්මක් නෑ. බොහෝ වෙලාවට ඊ මේල් පරීක්ෂා කිරීම, බ්ලොග් එක යාවත්කාලීන කිරීම වගේ ම, එදිනෙදා අවශ්‍යතා සඳහා නගරයට යාම තමා සිදු කරන්නෙ. මං බොහොම සාමාන්‍ය විදිහට, සරල විදිහට, සැහැල්ලුවෙන් මගේ දවස ගත කරනවා. අනවශ්‍ය පීඩන ඔළුවට බරක් කර ගන්නෙ නෑ. ඔළුවට දාගන්නෙත් නෑ. සතුටින් ජීවිතය ගෙවනවා.

ඔබ මේ ක්ෂේත්‍රයට පැමිණෙන නවක රචකයන්ට ලබාදෙන උපදේශය කුමක්ද?

ලියන්න.එය ඉවර කරන්න . එය ප්‍රකාශයට පත් කරන්න. විශේෂම දෙය තමා වෙන කෙනෙක් කරන්න කලින්, මොනවා හරි අලුත් දෙයක් කරන්න. ඒ කියන්නෙ වෙන කෙනෙක් කරනකම් බලාගෙන ඉන්න එපා. ඔබ අංක එක වෙන්න. අනෙක් අය අභිබව යන්න.

ඔබ ඉදිරියටත් විකට කතාමද රචනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ?

පාඨකයන් මගෙන් බලාපොරොත්තු වෙන්නෙ ඒ දෙය නම්, මං ඉදිරියටත් විකට කතාම ලියනවා. මට ලැබෙන ප්‍රතිචාරත් එක්ක ,බොහෝ අය විකට කතාවලට කැමැතියි කියලා මං දන්නවා. එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න, නොයෙකුත් හැල හැප්පීම් සමඟ ගෙවන ජීවිතයේ මේ ඒකාකාරී බවට මගේ විකට කතාවලින් මිනිසුන්ගේ සිතට සහනයක්, සැනසීමක් ලැබෙනවා නම්, එය මට ඉතා වැදගත්. ඒ වගේ ම සතුටට කරුණක්. මේ නිසා,මේ විකට රචනා සමඟ බොහෝ රසික පිරිසක් මා වටා ඉන්නවා . එය මට ඉදිරි රචනාවලට විශාල රුකුලක් වගේ ම ශක්තියක් ලබා දෙනවා.

අන්තර්ජාලය ඇසුරිනි
යශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න