බෝක්කු හා වැසි­කිළි ගෙවල් | දිනමිණ

බෝක්කු හා වැසි­කිළි ගෙවල්

බන්දුල පී දයා­රත්න

“මේක නම් අලුත්ම සොයා ගැනීමක් ටොම්සන් මහත්තයා. ” කියමින් උන්නැහේ පත්තරෙත් අරන් සාලයට දුව ගෙන ආවේය.

“ඇයි? මොකක්ද? කවුද හොයා ගෙන තියෙන්නෙ? මොකක්ද හොයා ගෙන තියෙන්නෙ? ”කියා ටොම්සන් මහත්තයා ගණනකට නැතිව ඇසුවේය.

“මොකක්ද කියන්නේ? දැන් මේ බලන්න ටොම්සන් මහත්තයා... අපි මේ ගෙවල් හදන්න ප්ලෑන් ඇඳ ගෙන, ඇස්තමේන්තු හදා ගෙන වද වෙවී ඉන්නවට වඩා කොච්චර හොඳද? ලොකු බෝක්කුවක් ගත්තා.. පදිංචි වුණා. එච්චරයි... කිසිම කරදරයක් නෑ...” කියා උන්නැහේ මහත් සන්තෝසයෙන් කීවේය.

“මොකද හදිසියෙම එහෙම හිතුණෙ උන්නැහේට...?” කියා ඇම්බන් මහත්තයා ඇසුවේය.

“නෑ... නෑ... මං නෙවෙයි මේ කියන්නේ පත්තර මහත්තයෙක් නේ... මේ බලන්ඩකෝ පින්තූරේ දාලා තියෙන හැටි.... මේ මනුස්සයා ජීවත් වෙන්නේ මේ බෝක්කුවේ... කාටවත් කරදරයකුත් නෑ... තමන්ගේ පාඩුවේ ඉන්න පුළුවන්... කොච්චර හොඳද?” කියා උන්නැහේ කීවේය.

“ඇයි උන්නැහේ දැක්කේ නැද්ද? ඊයේ පත්තරේ තිබුණා... වැසිකිළියක් ඇතුළේ පුංචි දරුවෙක් එක්ක ජීවත් වෙන පවුලක් ගැන... ඒකත් ඒ වගේ අලුත් සොයා ගැනීමක් තමයි.. මොකද ගෙවල් ඇතුළේ වැසිකිළි හදනවාට වඩා මේක වෙනස් නේ... වැසිකිළි ඇතුළේ ගෙයක් හදා ගැනීම.... ඇත්ත නම් උන්නැහේ අපි ජාතියක් හැටියට ලජ්ජා වෙන්න ඕනෑ... මං ඔය ප්‍රවෘත්ති දෙකම දැක්කා... පත්තර මහත්තුරු කාලයක් ගිහිල්ලා හරි මේ ප්‍රවෘත්ති දෙක වාර්තා කරපු එක හොඳයි.. අඩු ගණනේ මනුස්ස ජීවිතේ ඛෙදවාචකය ඇති හැටියෙන්ම දැක ගන්න... ඒත් මං කල්පනා කළේ මේ ගැන කියන්නේ කාටද කියලා...” කියා ටොම්සන් මහත්තයා කීවේය.

“කාට කියන්නද ටොම්සන් මහත්තයා... මේ වගේ මිනිස්සු ගෑනු ඉපදෙන එක නේ ප්‍රශ්නේ...” කියා ඇම්බන් මහත්තයා කීවේය.

“මට තේරුණේ නෑ ඒ කියාපු දේ...” කියා උන්නැහේ නොසන්සුන්ව කීවේය.

“නෑ.. මං කියන්නේ දැන් බලන්ඩ. සිදුහත් කුමාරයා ඉපදුණේ කොහොමද? පස් මහ බැලුම් බලලා... ඉපදෙන්න සුදුසු තැනක් හොයා ගෙන.. ඉතින් ඇයි මේ වගේ ආතක් පාතක් නැතිව උපදින්නේ...? ඒ කියන්නේ ඉන්න ගෙයක් දොරක් තියෙන, කන්න බොන්න තියෙන පවුලක් හොයලා උපදින්න බැරිද? ඒක නේ මේ ප්‍රශ්නේ...” කියා ඇම්බන් මහත්තයා කීවේය.

“ඒකත් හොඳ උත්තරයක් තමයි... හොඳයි අපි හිතමුකෝ ඉස්සරහට එහෙම වෙයි කියලා.. ඒ වුණත් මේ දැනට ඉපදිලා ඉන්න අයට මොකද කරන්නේ... අඩු ගානේ මනුස්සයෙක් වාගේ ජීවත් වෙන්න තැනක් තියෙන්න ඕනෑ නේද? ඒක ඒ මනුස්සයාගේ අයිතියක් නේ...” ටොම්සන් මහත්තයා ඇසුවේය.

“ඔන්න... ඔන්න... අයිතිය ගැන නම් කතා කරන්න එපා... අයිතිය ගැන කතා කරන්න ගියොත් දැන් ඔය ඉන්න බෝක්කුවේ හරි වැසිකිළියේ හරි ජීවත් වෙන්නත් බැරි වෙයි... ”

ඔන්න එතකොටම කවුරුහරි දොරට තට්ටු කරන සද්දයක් ඇසුණේය.

“උන්නැහේ ගිහිල්ලා දොර ඇරලා බලන්ඩ කවුද කියලා... මේ අවේලාවේ...” කියා ඇම්බන් මහත්තයා කීවේය. උන්නැහේ ගොස් දොර ඇරියේය.

“අප්පේ මේ මන්ත්‍රීතුමානේ... කොහෙද මේ මහත්තයා යන්නේ රෑ බෝ වෙලා...” කියා ටොම්සන් මහත්තයා හුන් තැනින් නැඟිට මහත්තයාව පිළි ගත්තේය.

“අපි ඉතින් මේ දේශය පාලනය කරන්න එහා මෙහා යන ගමන්නේ... ටොම්සන් මහත්තයා හම්බ වෙන්න එන්න හුඟ කාලයක් හිත හිතා හිටියා... ඒ වුණාට වෙලාවක් නැති වුණා.. ඒත් මෙතනින් යන කොට දැන් මේ ඇහුණා ඇහුණා වාගේ.. මොකක්ද අයිතිවාසිකම් ගැන කතා කරනවා.. කාගේ හරි අයිතිවාසිකම් ගැන කතා කරන තැනක අපි ඉන්න එපායැ... දැන් කාගේ අයිතිවාසිකම්ද මේ කතා කරන්නේ ටොම්සන් මහත්තයා... මොකක්ද අපෙන් කෙරෙන්න ඕනැ උපකාරය...”

“ඒකත් හොඳයි... මහත්තයා... අපි මේ කතා කර කර හිටියේ මේ ඉන්න හිටින්න තැනක් නැතිව අතන මෙතන පේමන්ට්වල, පාරවල් අයිනේ.. ලයිට් කනු යට... ජීවත් වෙන අයට ඉන්න තැනක් හොයලා දෙන්න බැරිද? ”

“මොකද බැරි... අපි හෙට අනිද්දම ඒ ගොල්ලෝ කුදලා ගෙන යවනවා... අර යාචක නිවාසයට...ඊට පස්සේ තමයි කල්පනා කරන්නේ මොකද කරන්නේ කියලා.. දැන් බලන්ඩ.. මේ මිනිස්සු හරි ගඳයි නේ... ඉතින් මේක සෞඛ්‍ය ප්‍රශ්නයක් නේ... ටොම්සන් මහත්තයා ඒ ගැන කලබල වෙන්න එපා....”

“නෑ... එහෙම නෙවෙයි මහත්තයා... මං මේ කියන්නේ ඔය දේශය පාලනය කරන තැන නේ මේවට තීන්දු තීරණ ගන්නේ... ඉතින් අර පිටරට තියෙනවා වාගේ... යුවලක් විවාහ වෙච්චි ගමන්ම, ඒ අයට ජීවත් වෙන්න නිවසක් ලැබෙන විදිහට නීතියක් සම්මත කරන්න බැරිද? එහෙමත් නැතිනම් ඒ ඒ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ජීවත් වෙන විවාහක පවුලවලට ගෙයක් හදා ගන්න පුංචි ඉඩම් කෑල්ලක් රජයෙන් ලබා දීම අනිවාර්ය කරලා නීතියක් හදන්න බැරිද? ඉඩ කඩම් තියෙන අයට නෙවෙයි.. මේ බෝක්කුවල වැසිකිළිවල ජීවත් වෙන අසරණයන්ට ජීවත් වෙන්න... ලොකු දේවල් නෙවෙයි... පොඩි ගේ කෑල්ලක්... මේක ආත්මයක් ආත්මයක් පාසා පල දෙන පින්කමක් මහත්තයා...”

මහත්තයා හොක් හොක් ගා සිනහසුණේය.

“ටොම්සන් මහත්තයත් හරි අයිඩියා තමයි දාන්නේ... අපි කරන්නේ පස්සේ ආත්මවලදි පල දෙන පින්කම් නෙවෙයි.. මේ ආත්මෙම පල දෙන පින්කම්.... ඔය බෝක්කුවල හරි වැසිකිළිවල හරි ජීවත් වෙන එක නීති විරෝධී වැඩක් නේ... අන්න ඒක ගැන නම් හොයලා බලන්න සිද්ද වෙනවා... එහෙනං මං ආයේ වෙලාවක එන්නම්කෝ...”

මහත්තයා නිවසින් පිට වූ පසුව ටොම්සන් මහත්තයා ඉදිරිපස දොර වසා දැමුවේය. 

නව අදහස දක්වන්න