ඔබේ වේදනාව අපේ වේදනාවයි ! | දිනමිණ

ඔබේ වේදනාව අපේ වේදනාවයි !

අද මේ තීරය ආරම්භ කරන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ කියමනකින් ය. ඔහු ශ්‍රී ලංකාවේ විපත දැක එසේ කියා ඇත. ඒ සමඟම සහනාධාර තොගයක් හා වෛද්‍ය කණ්ඩායමක් ද ශ්‍රී ලංකාවට එවා ඇත. අගමැති මෝදි ශ්‍රී ලංකාව උදෙසා මේ ප්‍රතිචාරය දක්වන්නේ විපත සිදු වී ඉතා සුළු වේලාවක් ඇතුළත ය. ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා විදේශීය සම්බන්ධතාවල පවත්නා අවංකභාවය හා විනිවිදභාවය මෙයින් මොනවට පැහැදිලි වෙයි. අගමැති මෝදි මහතාගේ ප්‍රකාශය මේ මොහොතේ ආණ්ඩුව සමඟද පොදුවේ මහජනතාව සමඟ ද ගළපාගත හැකි ය.

ස්වාභාවික විපත් හැර යෑමේ හැකියාවක් දියුණු රටවලට පවා නැත. අමෙරිකාව දීර්ඝ කාලයක් සුළිසුළංවලට මුහුණ දුන්නේ ය. චීනය ගංවතුර උවදුරට මුහුණ දුන්නේ ය. ජපානය සුනාමිවලට මුහුණ දුන්නේ ය. ලතින් අමෙරිකානු රටවල් ගණනාවක ගිනිකඳු පිළිබඳ ගැටලු පවතී. ඉන්දියාව නියඟයට හා ගංවතුරට යන දෙකටම මුහුණ දෙයි. කළ හැක්කේ හානිය අවම වන ලෙස ආපදා කළමනාකරණය කිරීමය. ඒ සඳහා දියුණු ක්‍රමවේද පවතී. මේ පිළිබඳ වැටහීම රජයට එම ආයතනවල ට පමණක් නොව; පොදු ජනතාවට ද තිබිය යුතු ය. ආපදා කළමනාකරණය කර ගත හැකි හොඳම ක්‍රමය එය වේ.

නිරිතදිග මෝසම සක්‍රීයවීමත් සමඟ ඇදවැටුණු ධාරානිපාත වර්ෂාවෙන්, නායයෑම්, ගංගා පිටාර ගැලීම්, පස්කඳු කඩාවැටීම් හා තවත් විනාශ වාර්තා වී ඇත. මේ වන විට මිනිස් ජීවිත එකසිය ගණනක් රටට අහිමි වී ඇත. අතුරුදන් වූ පිරිස පිළිබඳ නිශ්චිත සංඛ්‍යා ලේඛන තවම ඉදිරිපත් කළ නොහැකිය. විශාල දේපොළ හානියක් සිදුවී ඇති බව ද බැලූ බැල්මට ම පෙනේ. ලක්ෂ කිහිපයක් අවතැන් වී ඇති අතර ඔව්හු කඳවුරුවල ජීවත්වෙති. මේ සියල්ල අභියෝජගයක් ලෙස පවතින අතර වර්ෂාව තව ම නතර වී නැත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ලෙස නිරිතදිග මෝසම ලබන සැප්තැම්බරය තෙක් පවතී.

පළමුව කිව යුත්තේ මේ අවස්ථාව ඉතා බුද්ධිමත් ලෙස කළමනාකරණය කර ගත යුතු බව ය. අවදානම් සහිත කලාපවලින් ජනතාව ඉවත් කිරීම, එම පිරිසට පහසුකම් සැපයීම හා ‍ෙපාදු පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම කෙටිකාලීන විසැඳුම් ලෙස ගත හැකි ය. දිගුකාලීන විසැඳුම් ඊට වඩා බරපතළය. ගංවතුරට හා නායයෑම්වලට ‍ ගොදුරු වූ පිරිසගේ දේපොළවලට වන්දි ගෙවීම, ඔවුන්ගේ ආර්ථිකය යළි ස්ථාපිත කිරීම ඒ අතර පවතී. මෙය තරමක් බරපතළ ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ලෙස ගත හැකි ය. දිස්ත්‍රික්ක ගණනාවක් විපතට මුහුණ දී ඇත. රත්නපුර, කළුතර, කෑගල්ල, ගාල්ල, මාතර, ගම්පහ, හම්බන්තොට යන දිස්ත්‍රික්ක ඒ අතර පවතී.

මේ උවදුරත් සමඟ ජනතාව අවදිවී ඇතැ’යි සිතන්නට පුළුවන. එය හොඳ තත්ත්වයකි. කුමන භේද, බින්නතා පැවැතිය ද විපතකදී සාමූහිකව ක්‍රියා කරන ගතියක් අපේ සමාජය තුළ තිබේ. කරුණාව, අනුකම්පාව, සහෘදභාවය සමාජය පුරා පැතිර තිබීම හොඳ දෙයකි. රාජ්‍ය ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිල වශයෙන් සිය රාජකාරිය ඉතා සාර්ථකව ඉටු කරමින් සිටින බව පෙනෙයි. ත්‍රිවිධ හමුදාව හා පොලිසිය මේ විපතේදී අමතක නො වන විශිෂ්ට සේවයක් ඉටු කරමින් සිටිති. ස්වෙච්ඡා සංවිධාන හා ජනමාධ්‍ය ආයතන ද තම වගකීම මැනැවින් ඉටුකරන බව දැක ගත හැකිය. රටම අවදි වී ඇතැ’යි කිව හැක්කේ ඒ නිසා ය.

ජනාධිපතිවරයා මේ මොහොතේ රාජ්‍ය ආයතනවලටද, ඒවායෙහි උසස් නිලධාරීන්ට ද ලබාදුන් උපදේශනය ඉතා වැදගත් ය. උපදේශනයෙන් කියැ‍වුණේ චක්‍රලේඛවලට යට නොවී විපතට පත් ජනතාවට උපරිම සහන සැලැසීමට කටයුතු කළ යුතු බව ය. මෙබඳු උවදුරකදී චක්‍රලේඛ හා ආයතන සංග්‍රහ පසුපස යමින් නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට ගිය හොත්; බොහෝ දේවල් ප්‍රමාදවීමට පුළුවන. මේ ප්‍රමාදවිය යුතු අවස්ථාවක් නො වේ. රාජකාරිය ඇත්තේ වටිනා මිනිස් ජීවිත සමඟ ය. මේ අනුව බලන විට ජනාධිපතිවරයා ලබාදුන් උපදේශනය හරියට ම හරි ය. ඒ අනුව ක්‍රියා කිරීම නිලධාරීන්ගේ යුතුකම ය.

අගමැතිවරයා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට කියා සිටියේ ජනතාවගේ ජීවනෝපාය මාර්ග හා ආර්ථිකය ගැන සලකා බැලිය යුතු බව ය. එය ඉතා වැදගත් ඉලක්කයක් විය යුතු ය. ගංවතුරෙන් හා නාය යෑමෙන් උවදුරට පත් වූ බොහෝදෙනාගේ ආර්ථිකය මේ නිසා දුර්වල වී ඇති බව සත්‍යයෙකි. ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරික ස්ථාන හා ව්‍යාපාරික අවස්ථා අහිමි වී තිබෙන්නට පුළුවන. ස්වයං රැකියා ලාභීන්ගේ රැකියා අහිමි වී තිබෙන්නට පුළුවන. ගෘහස්ත කර්මාන්ත සියල්ල විනාශ වී ඇතැ’යි සිතන්නට පුළුවන. මේ අනුව පිරිසකගේ ජන ජිවිතය කඩා වැටී ඇත. මේවා පුනරුත්ථාපනය කළ යුතු ය. ඊට අවශ්‍ය උපායමාර්ග සොයාගත යුතු ය.

ජනතාවගේ හැසිරීම ගැන ද වචනයක් කිවයුතු ය. ජනතාවගෙන් විශාල පිරිසක් විපතට පත්වූ පිරිසට සහන සැලසීම සඳහා යුහුසුලු වෙති. ඒ අතර තවත් පිරිසක් ගංවතුර නැරඹීමට පාරට බැස සිටිති. කුඩා දරුවන් ද රැගෙන ගංවතුර නැරඹීමට යන අය ද දැක ගත හැකි ය. ආරක්ෂක අංශ මෙහි ඇති භයානක තත්ත්වය නිවේදනය කර තිබුණ ද, නරඹන්නන්ගේ අඩුවක් දකින්නට නැත. නායගිය ප්‍රදේශ නරඹන්නනට ගිය අය නිසා මාර්ග තදබදයක් නිර්මාණය වී ඇත. එය සහන කටයුතුවලට බාධාවකි. ගංවතුරේ විනෝදයට ඔරු පදින්නට ගිය දෙදෙනෙක් දියේ ගිලී මිය ගිය හ. මේ විපත ආස්වාදයක් බවට පත්කර ගැනීම හැම අතකින්ම වැරැදි ය.

උදාවී ඇත්තේ සංවේදී අවස්ථාවකි. අපේ ම සහෝදර පිරිසක් විපතට පත්වී සිටිති. ඔවුන්ගේ වේදනාව අපේ වේදනාව බවට පත්කර ගත යුතු ය. ඒ හැරෙන්නට එය ආස්වාදයක් කර ගැනීම වැරැදිය.

නව අදහස දක්වන්න