වතුර වළක සිටි කිඹුල් පැටවුන් වනජීවී භාරයට | දිනමිණ

වතුර වළක සිටි කිඹුල් පැටවුන් වනජීවී භාරයට

නිකවැරටිය කන්දේගෙදර ප්‍රදේශයේ ගම් වැසියන් බියවද්දමින් සැරිසැරූ කිඹුල් පවුලක් අල්ලා ගැනීමට නිකවැරටිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් සමත් වී තිබේ.

ප්‍රදේශවාසීන්ගේ ද සහයෝගයෙන් පසුගිය දිනක මෙම මෙහෙයුම සිදු කෙරුණු අතර කිඹුල් මව සමඟ පැටවුන් දහතුන් දෙනෙකු අල්ලා ගැනීමට හැකි වී තිබේ. කන්දේගෙදර ප්‍රදේශයේ පාලමක් යට දිය වළක මෙම කිඹුල් මව සහ පැටවුන් රැඳී සිටි අතර රාත්‍රී කාලයේ ගම්වැසියන් ගේ ඉඩම්වල සැරිසැරීම නිසා ඔවුන් බියට පත්ව වනජීවී කාර්යාලයට පැමිණිලි කර ඇත.

මේ පිළිබඳ අදහස් දක්වන වනජීවී කාර්යාලයේ ස්ථානභාර නිලධාරි වරයා මෙසේ කීය. කිඹුලන් සිටි පමණින් ඔවුන්ගෙන් මිනිසුන්ට කරදරයක් සිදු වන්නේ නෑ. කලාතුරකින් මිනිසුන්ට පහරදෙන කිඹුලන් හමු වුණත් කිඹුලා යනු පරිසරයට අත්‍යවශ්‍ය ජීවියෙක්. පරසර පද්ධතියේ පැවැත්මට සෑම සත්ත්වයකුම වැදගත්. මෑත කාලයේ ජනමාධ්‍ය තුළින් පවා වනසතුන් පිළිබඳව අනියත බියක් පැතිර යාම හේතුවෙන් එවැනි සතුන් ඉවත් කිරීමට සිදුව තිබෙනවා. මේ නිසා පරිසර පද්ධතියේ සමතුළිතතාව බිඳවැටී විශාල ගැටලු ඇතිවීමට ඉඩ තිබෙනවා. කෘෂිකර්මාන්තයටද අහිතකර ප්‍රතිඵල අත්විය හැකියි. කිඹුල් මව සහ පැටවුන් විල්පත්තුව අභයභූමියට මුදාහැරීමට නියමිතය.

වාරියපොළ සමූහ 

නව අදහස දක්වන්න