ආර්ථික වෙනස! | දිනමිණ

ආර්ථික වෙනස!

 ශ්‍රී ලංකාවේ ආර්ථිකය දීර්ඝ කාලයක් තිස්සේ එකතැන පල්වූයේ යැයි කීම නිවැරැදි ය. අපනයන ක්ෂේත්‍රයේ කඩා වැටීම, රුපියල බාල්දු වීම, විදේශ ණය හා පොලී ප්‍රමාණය රටට ඔරොත්තු නොදීම වැනි සාධක ඒ සඳහා බලපා තිබිණි. මේ තත්ත්වය හැඳින්වූයේ ආර්ථික මන්දනය හැටියට ය. මෙහිදී සැලකිල්ට ගත යුතු තවත් කාරණයක් වන්නේ පසුගිය කාලය තුළ දේශපාලකයන් ආර්ථික මවාපෑමක් සිදුකර ඇති බව ය. මහ බැංකුව එදා ඉදිරිපත් කළ ආර්ථික සංඛ්‍යා ලේඛන පවා බුද්ධිමතුන්ගේ විවේචනයට ලක් විය. මේ තත්ත්වය වෙනස් කිරීමට අදාළ වැදගත් දේවල් කිහිපයක් පසුගිය දින කිහිපය තුළ සිදුවිණි.

හෙට සිට ජී.එස්.පී.බදු සහනය අපට ලැබෙයි. මෙය අපගේ අපනයන ක්ෂේත්‍රයේ සැලැකිය යුතු වර්ධනයක් ඇතිකිරීමට හේතු සාධක වෙයි. ශ්‍රී ලංකාවට මේ සහනය අහිමි වූයේ 2010 දී ය. ඊට හේතුව වූයේ එවකට බලයේ සිටි රජය මානව හිමිකම් ඇතුළු එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති ගණනාවක් උල්ලංඝනය කරමින් රාජ්‍ය පාලනය ගෙන යෑම ය. සාමාන්‍ය වශයෙන් ශ්‍රී ලංකාව භාණ්ඩ හයදහස් ගණනක් යුරෝපා වෙළෙඳපොළට නිකුත් කරන අතර 66%ක් ම මුළුමනින් තීරු බදුවලින් ඉවත් කෙරේ. රටවල් විසි අටක වෙළෙඳ පොළ ගනුදෙනු යළිත් මේ සහනය නිසා ආරම්භ වනු ඇත.

ඊළඟට අපගේ අවධානය යොමු විය යුත්තේ චීන - ශ්‍රී ලංකා සබඳතා දෙසට ය. අගමැතිවරයාගේ චීන සංචාරය නිසා යුවාන් බිලියන හතක ආධාර මුදලක් ශ්‍රී ලංකාවට හිමි වී ඇත. මීට පෙර චීනය අපට ලබා දී ඇත්තේ අධික පොලියක් සහිත ණය මුදල් මිස ආධාර නොවේ. චීන ආර්ථික සමුළුවට ශ්‍රී ලංකාව සහභාගී කරවා ගැනීම පවා අතිශයින් ම වැදගත් ය. මෙයින් ශ්‍රී ලංකාවට වාසි සහගත කරුණු දෙකක් ඉටු වෙයි. පළමුවන්න ලෝකයේ දැවැන්ත ම ආර්ථිකය හිමි චීනය සමඟ ආර්ථික සම්බන්ධතා ගොඩනඟා ගැනීමට හැකිවීම ය. දෙවන්න එක යායක් - එක මාවතක් ලෝක ආර්ථික වැඩසටහන යටතේ තවත් රටවල් හැට ගණනක් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාව උදාවීම ය.

ජී.එස්.පී.ප්ලස් සහනය නිසා අපේ ආර්ථිකයේ විශාල පිබිදීමක් ඇති වන බව පැහැදිලි ය. මේ නිසා විදේශීය ආයෝජකයන් නැවත ශ්‍රී ලංකාව දෙසට හැරෙන්නටත් පුළුවන. ජී.එස්.පී. සහනය අඛණ්ඩව 2021 තෙක් ලබාදීමට ද යුරෝපා සංගමය තීරණය කර තිබේ. එහෙත් යුරෝපා සංගමයේ නිර්දේශය දෙස ද අප නැවත බැලිය යුතුය. එහි සඳහන් වන්නේ මානව හිමිකම් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන අඩුපාඩුවක් දකින්නට නැති වුව කැපී පෙනෙන ප්‍රගතියක් ද ශ්‍රී ලංකාව තුළ දකින්නට නැති බව ය. එහි අර්ථය වන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති විසිහත ගැන අප මීට වඩා අවධානයකින් කටයුතු කළ යුතු බව ය.

යහපාලන ආණ්ඩුව සිය රාජ්‍ය පාලනය ආරම්භ කළේ ආර්ථිකය පිළිබඳ බලාපොරොත්තු රැසක් ජනතාව අතර තබමින් ය. ශීඝ්‍ර ආර්ථික වර්ධනයක්, රැකියා දස ලක්ෂයක්, සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක්, ණය නැති රටක්, කාර්මික ප්‍රබෝධයක් වැනි තේමා පාඨ එම බලාපොරොත්තු අතර තිබිණි. මේවා ඉටුකර ගැනීම සඳහා ශක්තිමත් ආර්ථික පසුබිමක් සකසාගත යුතු ය. එක අතෙකින් විදේශීය ආයෝජකයන් පැමිණ නව කර්මාන්ත ආරම්භ කළ යුතුය. තව අතෙකින් රාජ්‍ය ආදායම් ඉහළ යා යුතු ය. අන්තර්ජාතික සබඳතා පුළුල් වී අපේ ආර්ථිකය ලෝක ආර්ථිකය සමඟ සම්බන්ධ විය යුතුය. මේවා එකවර සිදු නොවුවත් පියවරෙන් පියවර ඒවා ඉටුවන බවක් පෙනෙන්නට තිබේ.

2016 මහ බැංකු වාර්තාව නිකුත් වී වැඩි දවසක් ගෙවී ගොස් නැත. එහි සඳහන් වන අන්දමට රාජ්‍ය ආදායම් ලැබීම් අතින් ද, අයවැය පරතරය අඩුකර ගැනීම සම්බන්ධයෙන් ද වත්මන් ආණ්ඩුව සාර්ථක ආර්ථික ජයග්‍රහණ ලබාගෙන තිබේ. එහෙත් ආර්ථිකයට අදාළ තවත් ක්ෂේත්‍ර විසි අටක දකින්නට ඇත්තේ අසතුටුදායක තත්ත්වයක් බව වාර්තාව පෙන්වා දෙයි. එයින් එක් ක්ෂේත්‍රයක් වන්නේ අපනයන ආදායම ය. 2014 දී අපනයන ආදායම ඩො.බි.11.1ක් වූ අතර එය 2016 දී ඩො.බි. 10.3 දක්වා පහළ බැස ඇත. ජී.එස්.පී.ප්ලස් සහනය විධිමත් අයුරින් භාවිත කරන්නේ නම්; අපනයන ආදායම් ඉහළ නංවා ගැනීමේ හොඳම සාධකය එහි පවතී.

ශ්‍රී ලංකාවේ විරැකියාව පිළිබඳ තත්ත්වය ද ඒ හැටි හොඳ නැති බව මහ බැංකු වාර්තාව පෙන්වා දී ඇත. නව රැකියා දස ලක්ෂයක් යැයි කියූවද ඊට අදාළ නව කර්මාන්ත තවම ආරම්භ වී නැත. 2014 දී රැකියා වියුක්තිය 4.3%ක් වූ අතර 2016 දී එය 4.4% දක්වා ඉහළ ගොස් ඇත. 2014 ආර්ථික වෘද්ධිය 5%ක් වූ අතර 2016 ආර්ථික වෘද්ධිය 4.4% දක්වා පහළ බැස ඇත. ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන රාජ්‍යයක් 7%ක වාර්ෂික වර්ධන වේගයක් පවත්වාගත යුතු බව කියැවේ. ඉහත සාධකවලින් පෙනී යන්නේ එවැන්නක් නැති බව ය. අප තවම යෙදී සිටින්නේ පසුබිම සකස් කිරීමක ය. මීට වඩා කඩිනම් හා වේගවත් ආර්ථික වැඩපිළිවෙළක අවශ්‍යතාව තිබේ.

යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා සැලැසුම් නිසා ශ්‍රී ලංකාවට අන්තර්ජාතික සහයෝගය ලැබෙන බව සත්‍යයෙකි. එම සහයෝගය නැතිව ආර්ථික වර්ධනයක් ඇතිකරගත නොහැකි බව ද සත්‍යයෙකි. එහෙත් යහපාලනය තුළම නැවත සලකා බැලිය යුතු සාධක තිබේ. නිදසුනක් ගතහොත් 2016 වසරේ වැඩ වර්ජන හා උද්ඝෝෂණ නිසා අහිමි වූ වැඩ කරන පැය ගණන ලක්ෂය ඉක්මවා සිටී. මෙය හොඳ තත්ත්වයක් නොවේ. ඉන් හැඟී යන්නේ රටට කාර්මික සාමයක් අවශ්‍ය බව ය. කාර්මික සාමය ඇති කිරීම පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා දේශපාලන සාමයක්ද අවශ්‍ය වේ. කාණ්ඩ ගැසී බෙදී වෙන් වී ඇති සමාජය, ආර්ථිකය කේන්ද්‍ර කොට එක මතයකට ගෙන ඒම වැදගත් ය.

ආර්ථික සිහින යථාර්ථයක් බවට පත්කර ගැනීම පහසු නැත. ඒ සඳහා බොහෝ කැපවීම් කළ යුතුය.

නව අදහස දක්වන්න