භාවනාවක ප්‍රීතිය | දිනමිණ

භාවනාවක ප්‍රීතිය

චම්පිකා දීපානි රණසිංහ

තිබ්බතියානු බොදු හිමි නමක් වූ මැතිව් රිකාඩ් ට දැන් වයස අවුරුදු හැත්තෑ එකකි. සියවසට අඩු තවත් දශක තුනක් පමණි. එහෙත් ලොව ප්‍රීතිමත්ම පුද්ගලයා මේ හැත්තෑ හැවිරිදි පුද්ගලයා ය. උපතින් ප්‍රංශ ජාතිකයකු වූ මැතිව් රිකාඩ් භික්ෂූන් වහන්සේගේ මොළයට දොළොස් වසරක් පුරා සංවේදක 256ක් සම්බන්ධ කර කළ අධ්‍යයන මඟින් හෙළි වී ඇත්තේ පුදුමාකාර ලෙස සැහැල්ලු මනසක් ඔහුට හිමි බවය.

භාවනානුයෝගී මේ භික්ෂූන් වහන්සේගේ මොළයෙන් නිකුත් වන ගැමා තරංග ප්‍රමාණය ඉතා ඉහළ බව ස්කෑන් පරීක්ෂණ මඟින් සනාථ වී ඇත. ගැමා කිරණ අවධානය, මතකය, අධ්‍යයන කටයුතු, කල්පනාව හා සම්බන්ධය.

ස්කෑන් මඟින් මොළයේ වම් කොටසේ අමතර ක්‍රියාකාරිත්වයක් ද දකුණු කොටසට වඩා පෙන්නුම් කෙරිණි. එයින් ඔහුගේ සතුට දරා ගැනීමේ ධාරිතාව අසාමාන්‍ය ලෙස වැඩි බවද හෙළිවිය. මෙය ස්නායු විද්‍යා සාහිත්‍යයට අලුත් දෙයකි.

රිකාඩ් භික්ෂූන් වහන්සේ පවසන පරිදි කම්මැළි නොවී, ඒකාකාරී නොවී දිනපතා දවස පුරා භාවනා කිරීමෙන් උන්වහන්සේ ලොව ප්‍රීතිමත් පුද්ගලයා බවට පත්වී තිබේ. රිකාඩ් හිමි නමට අනුව කෙනකුට ප්‍රීතිමත්ම පුද්ගලයකු වීම අසීරු නැත.

උන්වහන්සේ පවසන අන්දමට තමන් ගැන සිතන තුරු තමන්ට යහපත ළඟා කරන ක්‍රම ගැන සිතන තුරු ආතතියට, වෙහෙසට, නොසතුටට පත්වීම වළක්වාලිය නොහැකිය. තමන්ගේ සතුට වෙනුවෙන් වගේම අනුන්ගේ සතුට ගැන ද සිතීමෙන් සිත වඩාත් සුවබර වේ. යහපත් මානසිකත්වයෙන් සිටින විට ගතද සුවපත් වේ.

මැරතන් ධාවකයකු සැතපුම් 26.2ක ධාවනයක යෙදීමට පුහුණුව ලබන්නේ දිගුකාලීන පුහුණුවකින් පසුවය. ප්‍රීතිමත් මනසකට හිමිකම් කීමට කැමැති නම් භාවනාවෙන් ලබාදෙන පුහුණුව ඉතා වැදගත්ය. පුහුණුවක් ලබා ක්‍රීඩාවක නිරත වීම සහ පුහුණුවක් නොලබා ක්‍රීඩාවක නිරතවීම අතර විශාල වෙනසක් පවතී. මොළයට වුවත් මෙය පොදුය. හැඟීම් සමතුලිත වීමට අවධානය, දරාගැනීමේ හැකියාව, දයාව වැනි කුසලතා වැඩිදියුණුවීමට භාවනාව පුරුදු පුහුණු කිරීම අත්‍යවශ්‍යය.

දවසට මිනිත්තු 10 – 15 ක් සුබවාදී සිතිවිලිවල නිමග්න වීම රිකාඩ් හිමිනමට අනුව ඉතා වැදගත්ය. දිනපතා මෙසේ මනස පුහුණු වීමෙන් නිරායාසයෙන්ම කෙනකු සතුටට හිමිකරුවකු බවට පත්වේ.

ප්‍රංශ දාර්ශනිකයකු වූ ජීන් ෆ්‍රැන්කොයිස් රිවල්ගේත් තිබ්බතියානු බෞද්ධ උපාසිකාවක වූ යානේ ලේ තෞමෙලින්ගේත් පුතුවූ මැතිව් රිකාඩ් උපාධිය ලැබුවේ අණුක ජාන විද්‍යාව සම්බන්ධවය. පසුව ඔහු විද්‍යා වෘත්තියට සමුවී තිබ්බතියානු බුදු දහම තෝරා ගත්තේය.

මැතිව් රිකාඩ් භාරත දේශයට පැමිණ තිබ්බතියානු බුදුදහම අධ්‍යනය කිරීමට මුල පිරීය. අවසානයේ බුදු දහම ප්‍රචාරය කරන හිමිනමක බවට පත්විය. ලොව ප්‍රීතිමත්ම පුද්ගලයා සොයා විද්‍යාඥයන් ලොව පීරද්දී ඔවුන්ට හමුවූ ඇදහිය නොහැකි තරම් ප්‍රීතියකින් දිවිගෙවන්නා වූයේ මැතිව් රිකාඩ් හිමිනමය. ඔහුගේ “ද මන්ක් ඇන්ඩ් ද ෆිලෝසෆර්” කෘතිය යුරෝපයේ හොඳින් අලෙවි වූ කෘතියකි. එය භාෂා 21කට පරිවර්තනය කෙරිණි. මැතිව් රිකාඩ් භික්ෂූන් වහන්සේ ප්‍රංශයේ දලයි ලාමා තුමාගේ නියෝජිතයා ය.

අන්තර්ජාලයෙනි.

නව අදහස දක්වන්න